ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂි වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ඉරිදා රාත්‍රියේ සිට සඳුදා දහවල් වනතුරු යාල වනොද්‍යානයේ අතරමං වුවාය. යාල තුන්වැනි කලාපයේ පිහිටි සියඹලාව හෙවත් කැබිලිත්ත දෙවොල වැඳ පුදා ගැනීමට ගොස් එද්දීය. කතරගම දෙවියන් වෙනුවෙන් වෙන් වූ මේ දෙවොලට යන ගමන ලේසි පාසු නැත. රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්‍යානේ පිහිටා තිබේ. ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි. දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය. කැබිලිත්තට යෑමට මාර්ග තුනකි. යාල ජාතික වනෝද්‍යානයෙන් පැමිණ අංක 2 කලාපය ඔස්සේ මැණික් ගඟ හා කුඹුක්කන් ඔය තරණය කර කුමන ජාතික වනෝද්‍යානය ඔස්සේ ද එහි යා හැකියි. මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි. තවත් මාර්ගයක් වනුයේ කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාමයි. අනෙක් මාර්ග යාල අංක තුනට අයත් ගල්ගේ මාර්ගයෙන් හා කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි. මෙම කැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය වැඳ පුදාගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. එම ගමනට යන අය මස් මාංශයෙන් තොරව මාසයක් පමණ පේවීම අනිවාර්ය වේ. මෙම ගමනට ෆෝවීල්, ජීප් රථ අඩුම තරමේ දෙකක් යා යුතුය. එම රථ මඬේ එරිමේදී ඇදිය හැකි පරිදි මෙම ජීප් රථ තිබිය යුතුය. මෙවැනි ජීප් රියක කුලිය රුපියල් තිස් පන්දාහක් පමණ වෙයි. ගමන සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ද ලබා ගත යුතුයි. ගමනට වනිජීවී නිලධාරියකු රැගෙන යාම ද අනිවාර්ය නීතියකි. මෙයට අමතරව මෙම දේවාලය වැඳ පුදා ගැනීමට යනවිට නොඉඳුල් කැවිලි, පළතුරු රැගෙන යා යුතු අතර යන සෑම පිරිසක්ම දෙවියන් හට පැණි බත් පුදා කිරි ද ඉතිර විය යුතුයි. මෙම ගමනට යන අය විවිධ වචන භාවිතයේදී කට පරිස්සම් කර ගත යුතුය. විශේෂයෙන් මෙම වන්දනා ගමනට අතීතයේදී කාන්තාවන් කැටුව ගියේ නැත. වර්තමානයේ චාරිත‍්‍ර උඩු යටිකුරු කරමින් ඇතැම් පිරිස් කාන්තාවන්ද රැගෙන යන අයුරු දක්නට ලැබේ. මෙම ගමනේදී ඉතා දුෂ්කර මාර්ග රැසක් පසුකර යායුතුය. තලාකොළආර, කටුපිලආර වැනි ජල මාර්ග කිඹුලන්ගෙන් ගහනය. යන මාර්ග කීපයක් තිබුණද යන සෑම අයකුම කැලේ දේවාලය අඩවියට පිවිසීමෙන් පසු කුඹුක්කන් ඔයට බැස යායුතුය. රැගෙන යන පලතුරු ඇතුළු පුද පූජා ගංවැල්ලේ ළිං හරා එම ජලයෙන් සෝදා, පූජාවට තැබිය යුතුවේ. මෙම ප‍්‍රදේශයට ආවේනික වූ දේව නීති රැසක් පවතින අතර යන බෙහෝ පිරිසක් එම නීති කඩමින් පුද පූජා තැබීම මත විවිධ උපද්‍රවවලට ලක් වූ බවට බොහෝ කතා ඇත. දෙවියන්ට තබන මුරුතැන් පූජාවට ගන්නා පොල් ගෙඩිය පවා ලීයකින් සාදවා ගත් හිරමනයකින් ගා ගත යුතුය. එයට යකඩ මුහු  නොකළ යුතුවේ. මෙම දේවාලය පිළිබඳ අදහස් දැක්වූ රුහුණ කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපුධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතා මෙසේ කියයි. මේ කැබිලිත්ත දේවලය කතරගම දෙවියන් භාවනා යෝගීව සිටීමට තිබෙන ස්ථානයක්. මේ වනවිට විවිධ අය බුරුතු පිටින් මේ ස්ථානයට යෑම දෙවියන්ට මහත් වූ හිරිහැරයක්. භක්තිවන්ත අයත් විනෝදකාමී අයත් මෙම භූමියට යෑම නිසා මේ උතුම් භූමිය අපවිත‍්‍රවෙමින් පවතිනවා. අතීතයේදී අප රට ආ කුමන්ත්‍රණය කළ විදේශිකයන් කතරගම දේවලායේ වස්තුව පැහැර ගන්න මාන බැලූවා. අපේ මුතුන් මිත්තන් විදේශීය අක‍්‍රමණයෙන් දේවාලයේ වස්තුව බේරා කැබිලිත්තේ රාළ නමැති කපු මහත්තයාට දෙවියන්ගේ වස්තුව භාර කළා. ඔය අද තියෙන සියඹලා ගහේ තමයි ඒ වස්තුව හංගලා පූජාව කළේ. පස්සේ එම වස්තුව නැවත දේවාලයට රැගෙන ආවා. කැබිලිත්තේ රාළ  ඕලන්දකරයන් සමග තනියම ලොකු සටනක් කර මිය ගියා. එම කැබිලිත්තේ රාළ තමයි. කතරගම දෙවියන්ගේ  අණින් සියඹලා දේවාලය රැක ගත්තේ‘‘ මෙම භූමියේ ඇත්තේ දේවාලයක් ලෙස කුඩා අඩි 7ක් පමණ වන සියඹලා ගසකි. සියඹලා ගස වටා ඇත්තේ මහා රූස්ස ගස් රැසකි. අඩි 12ක් පමණ රවුමක් මැද මෙම සියඹලාව පිහිටා ඇති අතර නිතර බිම අතු ගෑ අයුරින් පවිත‍්‍රව පවතී. කිසිදු කොළයක් මෙම භූමියට පතිත නොවන අතර කොතෙකුත් වන සතුන් ගැවසුන ද පුදුම නිහඬතාවයකින් පරිසරය සකස්ව පවතී. මෙම ශුද්ධ භූමිය වටා බෝරුක් හා ගල්කණු දැකිය හැකි අතර වන්දනාකරුවෝ මෙම ස්ථාන වෙතද පැමිණ පුද පූජා පවත්වනු ලබයි. 1818 ඌවේ කැරල්ල මෙහෙය වූ කැරලිනායකයන් කතරගම දේවාලයට යාමට නොහැකි ව සෑම ප‍්‍රහාරයකටම ප‍්‍රථම කැබිලිත්ත දේවාලයට පැමිණ කඳසුරිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් බව ඌව ඉතිහාසය ලියූ පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් පවා සඳහන් කර ඇත. අතීතයේ ගොවි ජනයා සිය අස්වැන්නේ ප‍්‍රථම කොටස දෙවියන්ට පූජා කිරීමට මෙම කැලයට පැමිණි අතර වසර 30ක් පුරා අප රටේ පැවැති යුද්ධය හේතුවෙන් කිසිවකුටත් මෙම ස්ථානය වෙත පැමිණීමට නොහැකි විය. වනජීවී අවසරයකින් තොරව කොටියගල ඇතිමලේ ප‍්‍රදේශ ඔස්සේද ඇතමුන් පැමිණෙන අතර වන්දනාමානයට එන මුවාවෙන් ඇතමුන් මෙම භූමියේ පැරැණි නටඹුන් හෑරීමට ද ගස් කැපීමට ද යොමු වී ඇත. දිනපතා පැමිණෙන පිරිස් පරිසරයට මුදාහරින කැළි කසළ ද මෙම සුන්දර මේ බිමට හානියක් ඇතැම් පිරිස් නොදැනුවත් කම මත කාන්තාවන්ද කැටුව යන අතර මෙම දේවාලය (කැලේ දෙවියන්ගේ අඩවිය)ට ගිය බොහෝ පිරිසකට අවැඩ සිදුවූ බව කියැවේ. භක්තියෙන් යන බැතිමතුන්ට සෙතක් ද භක්තියෙන් තොරව යන අයට හිරිහැර  දුක් කරදර  ඇතිවන බව එහි ගිය බොහෝ දෙනෙක් පවසති. කන්ද කුමරු භාවනා යෝගීව සිටියේ යැයි කියන සියඹලා ගස කැලයට ඇතුළු වීමට පෙර කොල අත්තක් එල්ලා දෙවියන්ගෙන් අවසර ගන්නා බැතිමන් පිරිසක් ගමනේ දුෂ්කර බව මැණික් ගඟෙන් එගොඩ වන බැතිමතුන් පිරිසක් දේවාලයට යන මාර්ගයෙ නිතරම මේ අයුරින් පිරිසිදුය සියඹලා දේවාලය ආසන්නයේ ඇති චෛත්‍යයක නටඹුන්