IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


කෞතුකාගාරය කැඩූ හැටි

කොළඹ ජාතික කෞතුකාගාරය කඩා එහි තිබූ සියවස් ගණනක් පැරැණි කඩුකස්තාන, රජවරුන් පරිහරණය කළ භාණ්ඩ සහ රන් කහවනු ඇතුළු මිල කළ නොහැකි පෞරාණික කෞතුක භාණ්ඩ තොගයක් සොරා ගත් පුද්ගලයන් සොයා රහස් පොලිසිය විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ කරනු ලැබුවත් මෙතෙක් ඒ මහා ජාතික අපරාධය කළ පිරිස ගැන වැදගත් යැයි කිව හැකි හෝඩුවාවක් ලැබී නැත. ඉකුත් 16 වැනිදා කෞතුකාගාරය වැසීමට පෙර සිට සොරුන් එහි රහසිගතව සැඟවී සිට පසුව උඩු මහලේ වීදුරු කුටි හයක අගුල් ගලවා එහි තිබූ කෞතුක භාණ්ඩ සොරාගෙන ඇති බව රහස් පොලිසිය හෙළිකරගෙන ඇත. උඩු මහලේ සඳලූතලයට ඇතුළු වීමට ඇති දොර කඩා එහි කාමරයකට දමා තිබූ ඇතිරිලි (කර්ටන්) ඉරා ඒවායේ ආධාරයෙන් බිමට බැස සොරුන් පළා ගොස් ඇති බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය, ජගත් බාලසූරිය මහතා පවසයි. සොරුන් උඩු මහලේ සිට බිමට බැසීමට යොදා ගත් ඇතිරිල්ල හා කෞතුකාගාරයේ වැටී තිබූ හිස්වැස්මක් කොම්පඤ්ඤවීදිය පොලිසියේ කැන්ඩි නමැති නිල සුනඛයා ඉව කිරීමෙන් පසුව එම ඉව ඔස්සේ කෞතුකාගාරයේ ආරක්ෂක භටයන් ලැගුම් ගන්නා මුර කුටියක් වෙත ගොස් නතර වූ අතර, එතැනින් එහාට ගොස් නැත. පොලිස් නිල සුනඛයා යොදා කරන ලද එම පරීක්ෂණයේ දී සහ මෙම කෞතුක භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනවලින් පෙනී ගිය කරුණු අනුව කෞතුකාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක භටයන් හය දෙනාගෙන් රහස් පොලිසිය වෙන වෙනම දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරනු ලැබීය. දින ගණනක් මෙම ප‍්‍රශ්න කරනු ලැබුවත් මෙම කෞතුක භාණ්ඩ සොරකම සම්බන්ධවූවන් ගැන කිසිදු ආකාරයක හෝඩුවාවක් ඔවුන්ගෙන් හෙළිකර ගැනීමට නොහැකි වී ඇත. සොරකම සිදුවූ ඉකුත් 16 වැනිදා රාත‍්‍රියේ කෞතුකාගාරයේ ආරක්ෂක රාජකාරිවල ආරක්ෂක භටයන් තිදෙනකු යෙදී සිට ඇති අතර, තවත් තිදෙනකු රාජකාරි කටයුතු නිම වී කෞතුකාගාරයේම පිහිටි ස්ථානයක ලැගුම් ගෙන සිට ඇති අතර, රහස් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්නකර ඇත්තේ ඒ හය දෙනාගෙනි. මෙතරම් කෞතුක වටිනාකමක් ඇති භාණ්ඩ තැන්පත් කර ඇති ස්ථානය හොඳින් දන්නා අය මෙන්ම එහි ආරක්ෂාවට යොදා ඇති ආකාරය ගැන මනා වැටහීමක් ඇති අයගේ සම්බන්ධයක් නොමැතිව මෙවැනි සොරකමක් ආරක්ෂක භටයන්ගේ ද නෙත නොගැටී කිසිසේත්ම කළ නොහැකි බව රහස් පොලිසියේ අදහස වී තිබේ. ජාතික කෞතුකාගාරයට යොදා තිබූ ආරක්ෂාව බරපතල හිඩැසක් තිබෙන බව මෙතරම් වටිනා කෞතුක වටිනාකමක් ඇති භාණ්ඩ සොරාගෙන නිරුපද්‍රිතව පලා යෑම මගින් පෙන්නුම් කරන බව පවසා සිටියේ රහස් පොලිස් නිලධාරියෙකි. මේ වගේ තැනක බයක් සැකක් නැතිව ඇවිත් මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ රැසක් සොරා ගැනීම ඇතුලේ අයගේ උදව්වක් උපකාරයක් නොමැතිව කිසිම කෙනෙක් එන්නේ නැහැ. මේ ජාතික අපරාධය කළේ බොහොම හොඳට සැලසුම් කරලා සූක්ෂම ආකාරයට කර තිබෙනවා. එහෙම නැතිව කුඩු ගහන්න, වාහනයක පැති කණ්ණාඩියක් ගලවාගෙන යන වැලේ එල්ලා ඇති ඇඳුම් පැහැරගෙන හෝ ජංගම දුරකතනයක් සොරාගෙන යන සොරුන් කළ වැඩක් නොවන බව කාටත් බොහොම පැහැදිලිවම තේරුම් යන කරුණක් යැයි පැවසුවේද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි. සොරා ගත් කෞතුක භාණ්ඩ වෑන් රථ දෙකක පටවාගෙන පලා ගිය බවට ලැබී ඇති හෝඩුවාවක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. එහෙත් ඒ වාහනවල අංක හෝ ඒ වාහන ගැන මොනයම් හෝ කිසිදු හෝඩුවාවක් පොලිසියට ලැබී නැත. පොලිස් ඇඟිලි සලකුණු අංශයේ විශේෂඥයන් කණ්ඩායමක් කෞතුකාගාරය සියුම් පරීක්ෂාවට ලක් කර සැකකටයුතු ඇඟිලි සලකුණු සටහන් ගණනාවක් මතුකර ගෙන ඒවා ඡායාරූපගත කරගෙන ඇත. මෙම සැකකටයුතු ඇඟිලි සලකුණු සටහන් අපරාධ තොරතුරු කොට්ඨාසයට (සී.ආර්.ඞී.) ලබාදී එහි ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු හා සංසන්දනය කර බැලීමේ කටයුතු දැන් සිදු කරගෙන යන බව දැනගැනීමට තිබේ. බීඩි කොට රැසක් කෞතුකාගාරයේ උඩු මහලේ තිබී සොයා ගෙන ඇති අතර, මේවා සොරුන් විසින් පානය කිරීමෙන් විසිකර දැමූ ඒවා විය හැකි බවට රහස් පොලිසියට සැක මතු වී ඇතැයි ද කියති. කෙසේ වෙතත් මෙම බීඩි කොට සියල්ල ඞී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රහස් පොලිසිය පියවර ගෙන ඇත. ආරක්ෂක මුර කුටියක් අසල වැටී තිබූ බීඩි කොට කිහිපයක් ද සොයා ගත් රහස් පොලිසිය ඒවා ද ඞී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. ජාතික කෞතුකාගාරයේ සවිකර තිබූ සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධතිය පසුගිය දිනවල පැවැති අකුණු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අධ්‍යක්‍ෂවරියගේ අවසරය මත අක‍්‍රීයකර තබා ඇති බව රහස් පොලිසිය ඒ හා සම්බන්ධව කරන ලද පරීක්ෂණවලින් කරුණු හෙළි වී ඇත. දෝෂ සහිත එම කැමරා පද්ධතිය පසුගිය 19 වැනිදා අලූත්වැඩියා කිරීමට නියමිතව තිබියදී ඊට දින දෙකකට කලින් කෞතුකාගාරයට ඇතුළු වූ සොරුන් එහි තිබූ මිල කළ නොහැකි තරම් කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇති බව රහස් පොලිසිය අනාවරණය කර තිබේ. ජාතික කෞතුකාගාරය සොරුන් බිඳීමේ සිද්ධිය සම්බන්ධව මෙතෙක් කරන ලද පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන තොරතුරු වාර්තාවක් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක රොෂාන් මස්ඉඹුල මහතා පසුගියදා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රස්මි සිංගප්පුලි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි. කෙසේ නමුත් මේ පැහැරගෙන ගොස් ඇත්තේ සියවස් ගණනාවක් පැරණි අපේ ජාතික උරුමයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජාතියේ උරුමයන් තැන්පත් කර ඇති තැනකට යොදා තිබූ ආරක්ෂාව ගැන බලධාරීන් එතරම් සැලකිල්ලක් දක්වා නොමැති බව නම් කොයි කාටත් පැහැදිලිය. මීට වසර 20කට පමණ ඉහත දී ඉහළ කෞතුක වටිනාකමක් ඇති බුදු පිළිමයක් කෞතුකාගාරයේ තිබී අතුරුදන් වී ඇත. මිල කළ නොහැකි ඒ බුදු පිළිමයට සිදුවූ දෙයක් ගැන අද දක්වාත් කිසිම කෙනෙක් නොදනී. වසර 20කට පෙර බුදු පිළිමය අතුරුදන් වූ සමයේ නිසි හා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදවීමට බලධාරීන් කටයුතු කළේ නම් මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ මෙතරම් ලෙහෙසියෙන් සොරා ගෙන යාමට පහසු නොවන බව කිවයුතුව ඇත. බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඞී.එස්. ගුණවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ දකුණු කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සංජීව ධර්මරත්න සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්. රණවීර යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල පේ‍්‍රමදාස සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් අත්තනායක යන මහත්වරුන් ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සහ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි. ජාතික කෞතුකාගාරයෙන් සොරාගෙන ගොස් ඇති මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ මෙසේය 1.   13 සහ 15 වැනි සියවස්වලට අයත් රන් කාසි 93ක් 2.   13 සහ 15 වැනි සියවස්වලට අයත් රිදී කාසි 50ක් 3.   ක‍්‍රි.ව. 08 වැනි සියවසට අයත් විවිධ ලෝහ වර්ගයේ කාසි 9ක් 4.   ක‍්‍රි.ව. 08 වැනි සියවසට අයත් රන් කහවනු 28ක් 5.   විශේෂිත අවස්ථාවලදී නිකුත් කරන ලද සමරු කාසි 13ක් 6.  රුපියලේ මුදල් නෝට්ටුවේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු 35ක් 7.   17 සහ 18 වැනි සියවස්වල නුවර යුගයේ විසූ නුගවෙල අධිකාරම්ට අයත් කඩුවක් සහ බඳ පටියක්, බස්තමක උඩ කොටසක් 8.     17 සහ 19 සියවස්වලට අයත් කඩු කස්තාන 10ක් 9.     ක‍්‍රි.ව. 3 වැනි සියවසට අයත් මුද්දක් 10.   19 සහ 20 වැනි සියවස්වලට අයත් මුතු අල්ලන ලද මුදු කිහිපයක්.  

ගොඩනැගිල්ලේ ඉතිහාසය

කොළඹ ඇල්බට් චන්ද්‍රවංකය සරසන සුදු පැහැති විශාල ගොඩනැගිල්ල ජාතියේ උරුමය ලොවට පවසන අතිශයින් වැදගත් ස්ථානයකි. සුදෝ සුදු පැහැයෙන් දිදුලන මේ දිගු දෙමහල් ගොඩනැගිල්ලට ගොඩවදින කොයිකාගේත් ඇස් ඉදිරිපිට මතු වී පෙනෙන්නේ ජාතියේ අභිමානවත් අතීත උරුමයයි. මේ ගොඩනැගිල්ල වූ කලී කොළඹ ජාතික කෞතුකාගාරය යි සාමාන්‍යය වහරෙන් කටු ගෙය ලෙස හැඳින්වෙන කෞතුකාගාරයට ඇත්තේ සියවසක් ඉක්මවන අතීතයකි. ඒ වන විට බි‍්‍රතාන්‍යය වැනි රටවල ඓතිහාසික සම්පත් එක්රැස් කර සුරක්ෂිත කරන කෞතුකාගාර බිහිව තිබිණි. බි‍්‍රතාන්‍යය කෞතුකාගාරය 1683 වසරේදීත් ප‍්‍රංශ කෞතුකාගාරය 1793දීත් ආරම්භ කර තිබිණි. මේ සංකල්පය ඔස්සේ යමින් ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර විලියම් හෙන්රි ග්‍රෙගරි ගේ යුගයේ දී ඇරඹුණු කොළඹ කෞතුකාගාරය නිර්මාණය කළේ වාස්තු විද්‍යාඥ ජේම්ස් ජී. ස්මිදර්වන්. ඔහු ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් සැලසුම් කළ ගොඩනැගිල්ල 1873 වසරේ දී ඉදිකරන්නට පටන් ගත්තේය. මරික්කාර් ඇන්. පෙරේරා නම් කොන්ත‍්‍රාත්කරුවා විසින් ඉදිකරවන ලද මේ ගොඩනැගිල්ල මහජනයා සඳහා විවෘත කළ හැකි වූයේ වසර හතරකට පසුවය. රුපියල් 119,993ක්  වැය කෙරුණු මේ ගොඩනැගිල්ල විවෘත කරන විට කෞතුක වස්තු 1200කින් පමණ සමන්විත වූ බව කියති. එහෙත් මේ වන විට එකී භාණ්ඩ සංඛ්‍යාව ලක්‍ෂය ද ඉක්මවන තරම්ය. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න සිංහාසනය හා අසිපත ද තොලූවිල බුදු පිළිමය ද මෙහි ඇති කෞතුක වස්තු අතරින් අති විශේෂිත වේ. ඉපැරැණි පොත්පත් පුස්කොළ පොත් ආදියෙන් ද සමන්විත මේ කෞතුකාගාරයේ වටිනාකම අපේ ඔලමොට්ටලයන්ට නොතේරෙයි. මෙහි ඇති වටිනා භාණ්ඩ කොරකම් කර ජාතියට අහිමි කරන්නේ අන්න ඒ නිසාය.
සටහන: ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප: පුෂ්පා වීරසේකර



අදහස් (0)

කෞතුකාගාරය කැඩූ හැටි

සමන් ඉන්දික Sunday, 25 March 2012 12:44 PM

මෙතරම් වටින ද්‍රව්‍ය තිබෙන මෙවැනි තැනක් ආරක්ෂා කරගන්න මීට වඩා නිලදාරීන් යෙදවිය යුතුයි. බලධාරීණ්ට මේ ගැන නොවැටහුනේ මන්ද ? දැන්වත් බලධාරීණ්ගේ ඇස් ඇරේවිද ? මෙම ලිපිය පලකිරීම ගැන සතුටුවෙමි. අපේ උරුමය රැකගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 246 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 616 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4825 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site