කොළඹ  ඕල්කට් මාවතේ පසුගිය කාලයේ හදිසි ගිලා බැසීමක් සිදුවූ අතර ඒ පුවත අසා නගරවාසීහු පමණක් නොව ඒ අවස්ථාවේ නගරයට පැමිණ සිටි ජනතාවද බියට හා සංත‍්‍රාසයට පත්වූහ.

 ඕල්කට් මාවතේ සිදුවූ හදිසි ගිලා බැසීමෙන් දශක ගණනාවක සොඳුරු හා චමත්කාරජනක ඉතිහාසයක්ද මතුවිය. එපමණක් නොව කඳුළින් හා සුසුමින් පිරි ඉතිහාසයක්ද ඒ හරහා මතුවූවායැයි කීම අතිශයෝක්තියක් නොවෙති.

එහෙත් මතුවූ ඒ ඉතිහාසය වර්තමාන පරපුර දන්නා නැති තරම්ය.

 

 

මේ ඒ සොදුරු චමත්කාරජනක මෙන්ම කඳුළින් හා සුසුමින්ද පිරි කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් එදා කි‍්‍රයාත්මක වූ ට‍්‍රෑම් රථ සේවාවේ තොරතුරු සොයා ගිය කතාන්දරයි.

 ඕල්කට් මාවතේ ලොකු ගිලා බැසීමක් වෙලා මිනිස්සු බය වෙලා ඉන්නේ. කොළඹ මේ වගේ දෙයක් සිදුවීම හිතා ගන්නවත් බැහැ. අපේ කණ්ඩායමකුත් මේ ගැන හොයා බලන්න යැව්වා යැයි හමුදාවේ මගේ හිතවත් නිලධාරියෙක් දුරකථනයෙන් කතා කර දැනුම් දුන්නේ මේ ගැන සොයා බලන ලෙසද පවසමිනි.
 ගිලා බැස තිබූ ස්ථානයෙන් මතුවී තිබුණේ ට‍්‍රෑම් රථ මාර්ගයක් බව එහි ගිය කොයිකාටත් දැක ගැනීමට හැකිවිණි. කොළඹ මහ නගර සභාව ට‍්‍රෑම් රථ මාර්ග තැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්තේ 1892 වසරේදීයි.

 ට‍්‍රෑම් රථ ධාවනය කිරීම සඳහා මාර්ග සකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාර ගෙන ඇත්තේ බවුස්ටඞ් නැමැති සමාගමකි.

මුල්ම ට‍්‍රෑම් රථ ගමන උත්සවශ්‍රීයෙන් ආරම්භ කර ඇත්තේ 1899 සැප්තැම්බර් මස 12 වැනිදාය.

මෙය දකුණු ආසියාවේ ප‍්‍රථම ට‍්‍රෑම් රථ සේවාව වූ අතර ට‍්‍රෑම් රථ මංගල ගමන ආරම්භ වූයේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ආසන්නයේ සිට තොටළඟ දක්වායි.
 ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ළඟ සිට තොටළඟට ට‍්‍රෑම් රථයක් ගමන් කිරීමට ගතවී ඇති කාලය පැය කාලකි.

 ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රය වීමත් සමගම ග‍්‍රෑන්ඞ්පාස් මරදාන මාර්ගය ඇතුළු කොළඹ නගරය පුරාවටම ට‍්‍රෑම් රථ මාර්ග සාදා ඇත.
ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රයවීමත් සමගම කොළඹ නගරය පුරා එතෙක් කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්තකරුවන්ට උදා වූයේ නරක කාලයකි.
 රික්ෂෝකරුවන් හා කරත්තකරුවන්ට  ඔවුන්ගේ එතෙක් කරගෙන ආ ජීවනෝපාය අහිමිවීමෙන් දරු පවුල් නඩත්තු කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට පත්වී තිබේ.

 කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවීම නිසා කෝපයට පත්ව තැන තැන සැඟවී සිට ධාවනය වන ට‍්‍රෑම් රථවලට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර ඇත.

 මේ නිසා සමහරු ට‍්‍රෑම් රථවල ගමන් කිරීමට බියක් දක්වා ඇත. එහෙත් ට‍්‍රෑම් රථවලට සැඟවී සිට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට පටන් ගැනීමත් සමගම ගල් මුල් ගැසීම ටික දිනකින්ම නතර විය. ඊට පසු බාධාවකින් තොරව ට‍්‍රෑම් රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවූ අතර ජනතාවට ට‍්‍රෑම් රථ වලින් ගමන් කිරීමට තිබූ බියද පහව ගොස් තිබේ.

කොළඹ නගරයේ කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්ත යුගය හමාරකරමින් ආරම්භ වූ ට‍්‍රෑම් රථ සේවාවේ නියුතු රියදුරන් ඇතුළු සේවකයන් ගෙවන වැටුප් ජීවත්වීමට  කිසිසේත්ම සෑහෙන්නේ නොමැති බව පවසමින් මහා වැඩ වර්ජනයක්ද ආරම්භ කර ඇත. ඒ 1929 වසරේදීය.

 ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයන් කොළඹ නගරයේ ලොකු අරගලයක් කර ඇති අතර මෙහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල පවා සිදුවී ඇත.
 පොලිසිය ඉවත් බවක් නොමැතිව වෙඩි තැබීම නිසා වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ පස් දෙනකු මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත්තේ කොළඹ නගරය රක්ථවර්ණ ලෙයින් තෙත් කරවමිනි.

 වැඩි පඩි ඉල්ලා ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයින් කළ උද්ඝෝෂණය එයින්ම නිමාවට පත්ව ඇත. කොළඹ නගර සභාව ට‍්‍රෑම් රථ සේවාව ඔවුන්ගේ පාලනය  යටතට ගෙන ඇත්තේ 1944 වසරේ සැප්තැම්බර් මස 1 වැනිදාය. ඒ බවුස්ටඞ් සමාගමට රු. ලක්ෂ 36 ක පමණ මුදලක් ගෙවීමෙනි.

 ට්‍රොලි රථ සේවාවක් ආරම්භ වීමත් සමගම රික්ෂෝකරුවන්ට කරත්තකරුවන්ට සිදුවූ සන්තෑසියම ට‍්‍රෑම්රථ රියදුරන්ට හා සේවකයින්ටද සිදුවී ඇත.
 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ට්‍රොලි බස් සේවයක් ආරම්භ වූයේ 1950 වසරේ සිටය.

ට‍්‍රෑම් රථ සේවය අපේ රටෙන් සම්පූර්ණයෙන්ම් නවතා දමනු ලැබුවත් වර්තමානයේ ස්විස්ටර්ලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, පින්ලන්තය සහ බල්ගේරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක ට‍්‍රෑම් රථ සේවය කෙටි දුර ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගනු ලැබේ. මාතලේ සිට කොළඹට අප්පච්චිද සමග අතේ එල්ලී පැමිණ ට‍්‍රෑම් රථයෙන් එදා කොළඹ නගරයේ රවුම් ගැසූ විමල් තෙන්නකෝන් මහතා ඒ සොදුරු අතීතය මා සමග තොරතුරු හෙළි කිරීමට එක්විය.
 මාතලේ රත්තොට මධ්‍යම පන්ති නිවාස යෝජනා ක‍්‍රමයේ පදිංචිව සිටින විමල් තෙන්නකෝන් මහතා සමුපකාර දෙපාර්තමේන්තුවේ සේවය කර විශ‍්‍රාම සුවය ලබමින් සිටින 65 හැවිරිදි වියේ පසුවන අයෙකි.

ගුණරත්න තෙන්නකෝන්් මහතා වන ඔහුගේ අප්පච්චී ව්‍යාපාරයෙකි. ව්‍යාපාරික කටයුතු සඳහා රත්තොට සිට කොළඹට පැමිණීමට නිතර සිදුවී ඇත. එසේ පැමිණි සමහර අවස්ථාවල විමල් තෙන්නකෝන් දරුවාද අප්පච්චීගේ අතේ එල්ලී කොළඹට පැමිණීමට දක්වා ඇත්තේ දැඩි රුචිකත්වයකි.
කොළඹ ට‍්‍රෑම් රථ යුගය කාලයේ මම අවුරුදු 6 ක විතර කොලූ  ගැටයෙක්. මට අද වගේ මතකයි අප්පච්චීත් එක්ක කොළඹ ආපු හැටි. එදා රත්තොට ඉඳලා කොළඹට කෙළින්ම එන්න බස් තිබුණේ නැහැ. නුවරට ඇවිල්ලයි කොළඹට එන්න  ඕනෑ. නුවර ඉඳලා කොළඹට එන්න එදා බස් ගාස්තුව විදිහට අය කළේ රුපියල් එකයි ශත අනූවක පමණ මුදලකි.

 මුලින්ම ට‍්‍රෑම් රථයක ගිය දවස ගැන කියන්න මට මතකයක් නැහැ. කොළඹ දෙවැනි හරස් වීදියෙන් ට‍්‍රෑම් රථයට ගොඩවෙලා බොරැුල්ලට ආපු බව නම් මට හොඳට මතකයි. ට‍්‍රෑම් රථයට නගින්න බය වෙලා මම හොඳටම අඬලා තියෙනවා. පස්සේ අප්පච්චි මාව වඩාගෙන තමා ට‍්‍රෑම් රථයට ගොඩකරලා තියෙන්නේ. ඊට පස්සෙ නම් ට‍්‍රෑම් රථවල යන්න මා බයවෙලා නැහැ. ඉස්කෝලේ නිවාඩු දවස්වලට මම අප්පච්චි කොළඹ යද්දී නොවරදවාම යනවා. කොළඹට ඇවිත් අප්පච්චිගේ වැඩවලට යන්නේ ට‍්‍රෑම් රථයෙන්. දෙවැනි හරස් වීදියේ ඉඳලා බොරැුල්ලට ට‍්‍රෑම් රථයේ ගාස්තුව ශත පහයි. ට‍්‍රෑම් රථවල සැප පහසුකම් ඇති ආසන සවිකර තිබුණා.

 

 

ට‍්‍රෑම් රථවල ටිකට් නොගෙන හොරෙන්් ගොස් අසුවුන අය ගැනත් ධාවනය වෙමින් තිබෙන ට‍්‍රෑම් රථවලට පැන සියදිවි නසා ගත් අය ගැනත් අප්පච්චි මට පස්සේ කාලයෙකදි කියා තිබුණා. ඒ කාලෙත් ගැට කපන්නන් ට‍්‍රෑම් රථවල ගමන් කර තිබුණ බව මා දැනගත්තේ අප්පච්චිගෙන්.

අප්පච්චි මෝටර් රථයක් ගන්න කොළඹ ගියා. ඒ ගමනත් අප්පච්චිත් එක්ක මමත් ගියා. කොළඹ ඉඳලා මෝටර් රථය ගන්න තැනට ගියෙත් ට‍්‍රෑම් රථයෙන්. ඒ 30 වර්ගයේ මෝටර් රථයක් තමා අප්පච්චි සල්ලිවලට ගත්තේ. රුපියල් 8000 ක මුදලකට තමා ඒ මෝටර් රථය මිලදී ගත්තේ. ඒ මෝටර් රථය ගත්තු බිල තවමත් අපි සතුව තිබෙනවා යැයි තෙන්නකෝන් මහතා ට‍්‍රෑම් රථ ගමන් ගැනත් අනිත් තොරතුරු හෙළි කරමින් අවසාන වශයෙන් පැවසීය.
ට‍්‍රෑම් රථ සේවාව ආරම්භ කළ මුල් කාලයේ සතියකට එම ට‍්‍රෑම් රථවල ගමන්ගත් මගීන් සංඛ්‍යාව 20,000 ක් පමණ වූ අතර මෙම සේවාව මගීන් අතර කොතරම් ජනපි‍්‍රයවීදයත් පසුකාලීනව දිනකට මගීන් 15,000 පමණ ගමන් කර ඇත.

පිටකොටුව ප‍්‍රදේශයේ පා ගමනින් ගමන් කරන විට එදා ට‍්‍රෑම් රථයේ ධාවනය කිරීමට ඉදිකරන ලද පීලිවල නෂ්ඨාවශේෂ දැක ගැනීමට පුළුවන.
 ඔබේ දෙපයට අද පෑගෙන ඒ ට‍්‍රෑම් රථ පීලි එදා කොළඹ නගරයට පැමිණි ජනතාවට ඉමහත් සේවයක් කිරීමට ආධාර වූ ඒවාය.

 

 සටහන : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය