කොටි පාලනය යටතේ පැවැති ගම්බිම්වල සුවහසක් ජනතාව තිස් වසරක් පුරා ජීවත් වූයේ මහා දුක් ගිනි කන්දරාවක් මැද්දේය. ඉල්ලා සිටින විට දරුවා නොදුන්නොත් වරින්වර පනවන ලද නියෝගයන් පැහැර හැරියහොත් සංවිධානය විවේචනය කළහොත් ලැබෙන්නේ කුරිරු වධ බන්ධනවලට ලක්වීමය. ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා බොහෝය. ඒ කොටි සංවිධානයේ හැටිය. ඒවායේ ඇති වැරදි පෙන්වා දීමට කිසිම කෙනෙක් එදා සිටියේ නැත. වැරදි පෙන්වා දුන්නු එකාට ද උරුම වූයේ සීතල මරණයයි. එදා විඳි ඒ මහා දුක් ගිනි කන්දරාව අනේකවිධ හිංසා පීඩා අතවර සාමාන්‍ය මිනිස්සුන්ගේ පපු කැවුතුවල තවමත් කිඳාබැස ඇති අතර අදටත් ඔවුන් ඒවා සිහිපත් කරන්නේ කොටින්ට මුළු හදවතින්ම ශාප කරමිනි. කොටින් නැති අඩවියේ ඔවුනට ශාප කිරීමට ඔවුන් කළ අහස පොළව නුහුලන කුරිරු සැහැසි ක‍්‍රියා ගැන නිර්භයව නිදහසේ කතා කිරීමට ඔවුනට අද හැකියාව තිබුණත් එදා ඔවුනට විරුද්ධව කටක් ඇරීමටත් කොහෙත්ම ඉඩක් තිබුණේම නැත. කොටින්ගේ පාලනයෙන් හොඳ හැටි හෙම්බත්ව සිටි බැටකෑ ජනතාව විඳි කටුක හා සංවේගජනක අත්දැකීම් බහුලය. මුලතිව් දිස්ත‍්‍රික්කයේ පසුගියදා අප කළ සංචාරයේ දී කොටින්ගේ අනේකවිධ හිංසා පීඩාවලට ලක්වූ මිනිස්සු ගැන තොරතුරු සොයා බැලීමට ද අමතක නොකළෙමු. පුදුකුඩිරිප්පු බලා යාමට මත්තෙන් ”ලංකාදීප”යේ වෑන් රථය නැවැත්වූයේ ඔඞ්ඩිසුඩාන් නගරයේය. යුද්ධය නිමාවීමෙන් පසු ඔඞ්ඩිසුඩාන් නගරය සහ ඒ අවට ප‍්‍රදේශ ද දැන් ක‍්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින අයුරු එහි යන  ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනී යන කරුණකි. කොටි මහ බළකොටු වශයෙන් පැවැති අනෙකුත් ප‍්‍රදේශවල මෙන්ම ඔඞ්ඩිසුඩාන් ද දරුණු සටන් ඇවිලී ගිය ප‍්‍රදේශයකි. නමුත් අද ඒ ප‍්‍රදේශය එවැනි දරුණු යුද්ධයක් පැවැති බවට එතරම් ලොකු සාධක සොයා ගැනීමටවත් නැති තරම්ය. පුදුකුඩිරිප්පු බලා යාමට මත්තෙන් ලංකාදීපයේ අප ගමන් කළ වෑන් රථයේ රියදුරු සුසන්ත පසෙකට කර නතර කළේ ඔඞ්ඩිසුඩාන් මංසන්ධියේ ඊශ්වර දේවාලය ඉදිරිපිටය. ඊශ්වර දේවාලය ඉදිරිපිට ලෑලි ගසා තනා ඇති කුඩා වෙළඳසලකි. හිරිගඩු පිපෙන සීතල පැවැති හිමිදිරියේම අප වෑන් රථයෙන් බැස්සේ වටපිටාව නැරඹීමේ අපේක්‍ෂාවෙනි. අයිබෝවන් මහත්තයලා කොළඹ ඉඳන් වාගේ කියා ඒ කුඩා වෙළෙඳසලේ හිමිකරු අපි බොහොම ළෙන්ගතු ලෙස පිළිගත්තේය. පැහැදිලි සිංහලෙන් කතා කළ නිසා අප මුලින්ම සිතුවේ ඔහු සිංහල ජාතිකයෙක් යැයි කියා වුවත් නම ඇසීමෙන් පසු ඒ තීරණය වෙනස් කර ගැනීමට සිදුවිය. හැටහත් වියැති වියේ පමණ පසුවන එස්. පාලනාදන් මහතා ඔඞ්ඩිසුඩාන් ශිවනගර් ගම්මානයේ පදිංචි අයෙකි. ඔහු සමග ආගිය තොරතුරු කතා බස් කරමින් සිටි අතරවාරයේ වියපත් මාතාවක් පාලනාදන්ගේ කඩයට පැමිණ දිවුල් ගෙඩියක් විකුණා රුපියලක් ඔහුගෙන් ඉල්ලාගත් හැටි මුලින්ම නෙතගැටී ඒ ගැන මා සමග පැවසූයේ අපේ ඡුායාරූප ශිල්පී ලක්‍ෂ්මන් හෙට්ටිතන්ත‍්‍රීය. දිවුල් ගෙඩියක් විකුණා රුපියල ලබාගත් ඒ සිද්ධිය තුළ සැඟවුණු ඛේදවාචකයක් ඇතැයි නිකමට මෙන් සිතූ මා ඇය සමග කතාබහ කළේ පාලනාදන්ගේ උදව් ඇතිවය. පාලනාදන් ගේ කථාව ඔබ හමුවේ තැබීමට කලින් ඒ මතාවගේ කථාව පැවසීමට තීරණය කළේ හදවත් සසල කරවන සංවේගජනක සිද්ධියක් ඇයගේ මුළු ගතම වේලාගෙන ඇති නිසාය. හැටහය හැවිරිදි වියේ පමණ පසුවන මයිල්වානගම් මනෝවතී සවලක්කුලම් ගම්මානයේ පදිංචිකාරියකි. ඒ ගම්මානයේ සිට ඒ වියපත් මාතාව ඔඞ්ඩිසුඩාන්වලට පැමිණ තිබුණේ කුලියක් කර කීයක් හෝ හම්බ කරගෙන යාමටය. මනෝවතී මාතාව ඇයගේ දියණියගේ දරු දෙදෙනා ජීවත් කරවන්නේ ඉස්කෝලේ යවන්නේද කුලිවැඩ කර හම්බ කරගන්නා සොච්චම් මුදලනි. කොටි එදා දහස් ගණනක් මිනිස්සු හිර කරගෙන සිටියේ පුදුමාතලන් ප‍්‍රදේශයේ. ඒ ප‍්‍රදේශයේ ඉන්නකොට අපිට කන්න බොන්න දෙයක් තිබුණේ නැහැ. සහල් මිටක් ගත්තේ රත්තරන් පවුමක් දීලා. ඒ තරමට සහල් මිට වටිනවා. බැරිම තැන අපි කොටින්ගේ නියෝග මායිම් නොකර හමුදා පාලනය යටතේ පවතින ප‍්‍රදේශවලට පැන එන්න පටන් ගත්තා. වියරුවැටිලා මරු විකල්ලේ සිටි කොටි අපට දිගට හරහට වෙඩි තියන්න පටන් ගත්තා. අපිත් එක්ක ආපු හුඟක් දෙනෙක් කොටින්ගේ වෙඩි ප‍්‍රහාරවලින් මැරිලා වැටුණේ අපේ ඇස් පනාපිටමයි. මගේ දුවත් කොටි වෙඩිල්ලකින් මිය ගියා. එයාගේ දරුවෝ දෙන්නත් බේරාගෙන බොහොම අමාරුවෙන් හමුදා පාලනයට ගෙන තිබූ ප‍්‍රදේශයට ආවා. දුවගේ මනුස්සයත් කොහොම හරි ජීවිතය බේරාගත්තා යැයි මනෝවතී මාතාව පවසන්නේ දෑසට නැගුණු කඳුළු අතරිනි. දුවගේ මිනිහා පස්සේ කාලයක වෙනත් කසාදයක් කරගත්තා. දුවගේ දරුවෝ දෙන්නාගේ සෑම  ඕනෑඑපාකමක්ම ඉටු කරන්නේ දැන් මමයි. ආණ්ඩුවෙන් පොඩි ආධාර මුදලක් ලැබෙනවා. කුලී වැඩ කරනවා. ගමේ ගස් කොළන්වල තියන පළතුරු ගෙනත් විකුණලා කීයක් හරි හොයා ගන්න දවසුත් තියෙනවා. අද උදේ එද්දී දිවුල් අහුලන්න කියලා වත්තට ගියා. එක ගෙඩියයි වැටිලා තිබුණේ. ඒ ගෙඩිය තමා දැන් ඔය වික්කේ. මහත්තයෝ මට මේ රුපියල් දෙකත් හරියට වටිනවා. දරුවෝ දෙන්නාට හොඳට උගන්ලා ඇස් පාද ගන්න එක තමා මගේ තියන ලොකුම බලාපොරොත්තුව. ඒ වියපත් මාතාව කියා සිටියේ අධිෂ්ඨානශිලී හැඟීමක් හදවතේ දරාගෙනය. දිවුල් ගෙඩියක් විකුණා හොයාගත් රුපියල පවා ඇය සුරැකිව තබා ගත්තේ මුනුපුරාගේ සහ මිනිපිරියගේ අනාගතය පැහැබර කිරීම සඳහාය. සැබැවින්ම ඇය දිරිය මාතාවකි. අපි දැන් එස්. පාලනාදන්ගේ ජීවිත කතාවට සවන් දෙමු. පාලනාදන් හලාවත මුන්නේෂ්වරම් ප‍්‍රදේශයේ උපත ලබා නාත්තන්ඩිය-මාවිල පන්සලෙන් ඉගෙන ගෙන ඔඞ්ඩිසුඩාන්වලට පදිංචියට පැමිණ ඇත්තේ ඔහු අවුරුදු 16ක තරම් කොලූ ගැටයෙක්ව සිටියදීය. පන්සලෙන් අධ්‍යාපනය ලබා ඇති නිසාත් සිංහල ජනතාව අතර හැදී වැඞී තිබූ නිසාත් අදටත් ඔහුට හොඳින් සිංහල කතා බහ කිරීමට හැකියාව ලැබී ඇත. 1960 සිට ඔඞ්ඩිසුඩාන්වල පදිංචියට පැමිණ ඇති පාලනාදන් කාලයක් පුදුකුඩිරිප්පු රෝහලේ කම්කරුවකු ලෙස ද සේවය කර ඇත. කොටි කලබල පටන් ගත්ත කාලේත් මේ ගම්මානවල දෙමළ, සිංහල, මුස්ලිම් අය බොහොම සාමදානයෙන් සහයෝගයෙන් ජීවත් වුණා. අප කා අතරත් තිබුණේ පුදුම සහෝදර බැඳීමක්. සිංහල අය මුස්ලිම් අය ආයෙත් මේ ගම්වල පදිංචියට එනවානම් අපි හරිම කැමැතියි. අසූ ගණන්වල ඔඞ්ඩිසුඩාන් පොලිසියට කොටි ගැහුවා. පණ බේරාගෙන දුවපු පොලිසියේ රාලහාමිලා තුන් හතර දෙනෙක් අපේ ගෙවල්වල හංගාගෙන ඉඳලා කන්න බොන්න දීලා ආරක්‍ෂා කරගත්තා යැයි පාලනාදන් මහතා කියා සිටියේ අතීත සිද්ධියක් සිහිපත් කරමිනි. යුද්ධය අවසන් කාලයේදී කොටි අපි වගේ අය වයසක අය අරගෙන ඔය කෝවිල් තියන ඉඩමට අරන් ගිහින් පොලූ කෑලි අතට දීලා ගරිල්ලා සටන් ක‍්‍රම ඉගැන්නුවා. සති ගණන් එක දිගට පුහුණුව දුන්නා. සමහර වයසක උදවිය සටන් පුහුණුවීම දරා ගන්න බැරිව මියැදුණා. අවශ්‍යතාවයක් ඇතිවුණෙත් සටන් බිමට ගෙනියන්නයි මේ වාගේ දේවල් උගන්වන්නේ කියලා එදා උන් කිව්වා. පොඞ්ඩ වැරදුනාම උන් අපට පොලූවලින් ගහනවා. එහි සටන් පුහුණුවීම්වලට නොගියොත් කළුවර කාමරවල සති ගණන් හිරකරලා තියාගන්නවා. වයසක් ගැන හිතන්නේ නැති තිරිසන්නු ජාතියක් යැයි පාලනාදන් පැවසීය. ඒ කාලයේ කොටි හිටි ගමන් ගෙවල්වලට කඩාවැදිලා දරුවන් පැහැරගෙන යනවා සටන් පුහුණුව ලබාදෙන්න. යුද්ධය පටන් ගන්නවාත් එක්ක ඔය වැඬේ වැඩි වුණා. ඔඞ්ඩිසුඩාන්වල කොටින්ගේ බඳවා ගැනීමේ කාර්යාලයක් තිබුණා. අම්මල තාත්තලා හැමදාම වාගේ ඔය කඳවුර ළඟට වෙලා දරුවෝ ඉල්ලලා හඬා වැළපෙනවා මම  ඕනෑ තරම් දැකලා තියෙනවා. සමහරදාට කොටි එහෙම හඬා වැළපෙන අම්මලා තාත්තලාට ගහලා පන්නා ගන්නේ කිසිම හිතක් පපුවක් නැති විදිහට. හද කකියවන තවත් සිද්ධීන් කිහිපයක් ගැන තොරතුරු අනාවරණය කරමින් පාලනාදන් අප සමග මෙසේ ද පැවසීය. ඔය කඳවුර ළඟට ඇවිත් දරුවෝ ඉල්ලලා නොදුන්නාම දරු දුක ඉවසා ගන්න බැරිව වස පානය කරලා මියැදුන අම්මලා තාත්තලා  ඕනෑ තරම් එදා හිටියා. එහෙම වස පානය කරලා මිය ගිය අය මම මේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. අද මේ පැතිවල ඉන්න සේරම දෙනා නිදහසේ ජීවත් වෙනවා. ඒ නිදහස අපිට මහ මෙරකටත් වඩා වටිනවා. වේලක් හැර වේලක් කාලාහරි අපි නිදහසේ ඉන්නවා. වසර 11කට විතර පස්සේ හලාවත ඉන්න අම්මලා, අනෙකුත් ඥාතීන් බලන්න ගියා. ඒ යුද්ධය නිමාවීමෙන් පස්සේ. අද කිසිම කරදරයක් හිරිහැරයක් නැතිව  ඕනෑම තැනක යන්න එන්න පුළුවනි. හමුදාවේ පොලිසියේ මහත්වරු අපේ දුක සැප බලනවා. එම්. ජිනදාස (57) මහතා අනුරාධපුරය රාජාංගනය යාය දෙක ගම්මානයේ සිට ඔඞ්ඩිසුඩාන් ගමේ පදිංචියට පැමිණ ඇත්තේ 1968 වසරේදී පමණය. එනකොට ඔහුගේ වයස අවුරුදු 17ක් පමණ විය. ඔහු පදිංචිව සිටින්නේ ඔඞ්ඩිසුඩාන් ශිවනගර් ගම්මානයේය. ජිනදාස තිදරු පියෙකි. ඒ කාලයේ සිංහල පවුල් ගණනාවක් මේ පැත්තේ පදිංචි වෙලා හිටියා. සිරිසේන, පියදාස, බණ්ඩා කියලා බේකරි මුදලාලි කෙනෙක් වගේ අයගේ නම් අදටත් මට මතකයි. ඒ ගොල්ලෝ කොටි කලබල නිසා 84 අවුරුද්දේ විතර මෙහෙන් යන්න ගියා. මම දෙමළ තරුණියක් එක්ක විවාහවෙලා හිටියේ. මම මේ ගම දාලා ගියේ නැහැ. යුද්ධය පටන් අරන් කාලයක් යද්දී දරුවන් පැහැරගෙන ගිය අම්මලා තාත්තලා ඥාතීන් ඔඞ්ඩිසුඩාන්වල කොටි පුහුණු කඳවුරක් වටලා කොටින්ට පහරදීලා දරුවෝ බේරා ගෙන ආවා. ඒ මොහොතේ කොටි වෙඩි තියලා කිහිප දෙනෙක් මිය ගියා යැයි ජිනදාස ඒ කාලයේ කොටි අඩවියේ සිදුවූ සිද්ධියක් සිහිපත් කළේ එසේය. ජිනදාස කැලෑවට ගොස් මී කැඞීමට සූරයෙකි. දිනක්  ඕඞ්ඩිසුඩාන් කැලෑවට මී කැඞීමට ගිය අවස්ථාවේ වලහෙක් කඩාපැන ඇත. ඔහු ඒ බිහිසුණු සිද්ධිය සිහිපත් කළේ මෙසේය. මම කැලෑවට ගිහින් මී කඩ කඩ ඉද්දී වලහෙක් එක පාරටම මගේ ඇඟට කඩාගෙන පැන්නා. මම ඌත් එක්ක හරි හරියට සෑහෙන වේලාවක් ඔට්ටුවුණා. අන්තිමේ දී මගේ අතේ තිබුණ කෙටේරියකින් වැරෙන් ඌට කෙටුවා. ඒ කෙටේරි පහර කාගෙන වලහා මාව අතහැරලා කෑ මොර දීගෙන කැලෑවට පැනලා ගියා. මට හොඳටම තුවාල වුණා. මගේ මුහුණ වලහා හපා කාලා. මාව කොළඹ රෝහලට ගෙනත් මට මාස ගණනාවක් ප‍්‍රතිකාර කළා. යාන්තම් ජීවිතය බේරා ගත්තා. ජිනදාසගේ එක් දරුවෙක් මානසික ආබාධයකින් පෙලෙන අයෙකි. දරුවන් රැක බලා ගැනීමට ජිනදාස හා ඔහුගේ බිරිඳ ලොකු උත්සාහයක නිරතව සිටිති. අඹුසැමි යුවළ එක්වී ගෙවත්තේ හැමදෙයක්ම වගාකර ඇත. ඒ වගාවේ අස්වැන්න නෙලා විකුණා ලබාගන්නා මුදලින් ඔවුහු පවුල නඩත්තු කරති. ආ මහත්තයලට තව දෙයක් කියන්න මට අමතක වුණා. ”අපි ඔහුගෙන් සමුගැනීමට සූදානම් වූ මොහොතේ ජිනදාස තමාට අමතකව තිබූ දෙයක් සිහිපත් වී පැවසීය. කොටින් මේ පළාත පාලනය කළ කාලයේ තමා මේ සිද්ධිය වුණේ. මම රාජාංගනයේ ඉන්න මගේ අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට ලියුම් ලිව්වේ සිංහලෙන්. කොටින්ට මේ බව ආරංචි වෙලා දවසක් අපේ ගෙදරට ආවා. මින් පස්සේ සිංහලෙන් ලියුම් එහෙම ලියනවා නොවේ. සිංහලෙන් ලියුම් ලියලා අදින් පස්සේ එහෙම අහුවුණොත් අත් දෙක කපලා දනවා කියලා උන් මට කිව්වා. එදායින් පස්සේ මම ලියුම් ලිව්වේ නැහැ. දැන් නම් ඉතිං ආයෙත් සිංහලෙන් ලියුම් ලියන්න පුළුවනි. දෙමළෙන් ලියන්නත් නිදහස තියෙනවා. අත කපන්න කවුරුත් නැහැ යැයි ජිනදාස කියා සිටියේ සිනාසෙමිනි. ජිනදාස අද සිනාසෙන්නේ හදවතින්මය. ඔවුනට එදා සිනාසීමටවත් නිදහසක් තිබුණේ නැත. වසර තිහක් පමණ කාලයක් මුළුල්ලේ ඔවුන්ව කොටි පාලනය කළේ තුවක්කුවෙන්ය. සෙල්වරාජ් 55 හැවිරිදි වියේ පසුවන අයෙකි. කොටි ත‍්‍රස්තවාදීන් 2009 වසරේ දිනක කළ මහා මිනිස් ඝාතනයක් ගැන තොරතුරු හෙළිකර සිටියේ මෙසේය. කොටි ත‍්‍රස්තවාදීන් උන්ගේ අත්අඩංගුවේ හිටපු සාමාන්‍ය වැසියන් පිරිසක් වෙඩි තියලා මරලා දැම්මා. ඒ අය කොටි අල්ලාගෙන හිටියේ උන්ගේ සංවිධානයට ද්‍රෝහි වුණාය කියලයි. කොටි සංවිධානය අතහැරලා හොරෙන් පැනලා යන්න ගිය කොටි සාමාජික සාමාජිකාවන් පිරිසක් ද උන් වෙඩි තියලා මරලා පස්සේ ඒ කට්ටියගේ සිරුරු ඔක්කොම එකට ගොඩගහලා පුළුස්සලා දැම්මා. කැලේට දර කඩන්න ගිය වෙලාවේ තමා මේ සිද්ධිය අප කිහිප දෙනෙක් දැක්කේ. අපි වයසක උදවිය නිසා උන් අපට කරදරයක් කළේ නැහැ යැයි සෙල්වරාජ් පැවසුවේ ඒ සිද්ධිය මතක් වෙද්දී අදටත් හිත තිගැස්සෙන බව පවසමිනි. මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිගේ නිවසක් බලා කියා ගැනීම සඳහා බලහත්කාරයෙන් යොදවාගෙන සිටි වසන්තපුරම් පදිංචි සෙල්ලයියා බාලක‍්‍රිෂ්ණන් (46) කොටින් එදා කළ අහස පොළව නුහුලන බිහිසුණු ක‍්‍රියා රැසක් ගැන හොඳින් කරුණු කාරණා දන්නා අයෙකි. යුද්ධය අවසන් කාලයේ කොටි අපව පුදුමාතලන් ප‍්‍රදේශයට අරන් ගිහින් හිරකර තියා ගත්තා. ඒ කාලයේ නම් මිනිස්සු නොවිඳිනා දුක් කන්දරාවක් වින්දේ. රජයෙන් ආහාර පාන රතු කුරුසය හරහා  ඕනෑ තරම් ගෙනත් දෙනවා. කොටි ඒවා රඳවාගෙන වැඩි කොටසක් උන්ගේ ප‍්‍රයෝජනයට ගන්නවා. බොහෝම සොච්චමක් තමා සාමාන්‍ය මිනිස්සු අතරේ බෙදලා දෙන්නේ. කන්න බොන්න නැතිව මිනිස්සු නොවිඳිනා දුක් වින්දා. සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න රජයෙන් දීපු බඩු මුට්ටු කන්ටේනර් ගණනක් කොටින් උන්ගේ බාරයට අරගෙන තියාගෙන හිටියා. පුදුමාතලන්වල බඩ ගින්න ඉවසාගෙන ඉන්න බැරිම තැන මිනිස්සු කොටින්ට ගහලා එලවාදාලා කන්ටේනර් කඩලා ඒවායේ තිබුණ බඩු මුට්ටු අපි ගත්තා. මිනිස්සු එදා පුදුමාතලන්වලට ආවේ ඔවුන් සතුව තිබුණ වාහන පවා අරගෙන. බඩගින්නට සහල් මිටක් සොයා ගන්නවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සහල් මිටක් දෙකක්, ලිපේ තියලා කැඳ හදාගෙන කැඳ හැන්ද හැන්ද බීලා කුසගින්න නිවා ගත්තා. සමහර දවස්වලට පොඩි එවුන්ට බත් කට කට කවලා අපි ඇල්වතුර බීලා කුස පුරවාගත්තා. ඔය වගේ ඉතාම කටුක ජීවිතයක් තමා පුදුමාතලන්වල ගත කළේ. මිනිස්සු ළඟ සල්ලි තිබුණත්, කෑමට හාල් ටිකක් සොයා ගන්න පොල් ගෙඩියක් සීනි තේ කොල ටිකක් හොයා ගන්න එක හරිම අමාරු දෙයක්. මහත්තයලාට පුදුම හිතෙයි සමහරවිට මේ කතාව අහලා. අත් ට‍්‍රැක්ටරයක් දීලා හාල් කිලෝ 2ක් අරන් ඒ හාල් කිලෝ දෙකෙන් දවස් ගාණක් ජීවත් වුණ මිනිස්සු හිටියා. ත‍්‍රීවීල් එක දීලා පොල් ගොඩි තුන හතරක් ඉල්ලා ගත්තු අය හිටියා. ත‍්‍රිවීල්, අත්ට‍්‍රැක්ටර තිබුණාට ඒවා කාලා බඩ පුරවා ගන්න බැහැ කියලා ඒවා දීලා තමා බඩු මුට්ටු ගත්තේ යැයි සෙල්ලයියා බාලක‍්‍රිෂ්ණන් පැවසීය. කොටි ත‍්‍රස්තවාදීන් අපිව බලහත්කාරයෙන් පුදුමාතලන්වල හිරකරගෙන හිටපු නිසා තමා මේවාගේ දුක්කන්දරා විඳින්න සිද්ධ වුණේ. අපිට රජයේ පාලන ප‍්‍රදේශවලට යන්න දුන්නා නම් මේ වගේ දුක් විඳින්න වෙන්නේ නැහැ. උන් අපිව ඉස්සරහට දාගෙන හිටියේ උන්ගේ ආරක්‍ෂාවට. අපි ඉන්න තැන්වල කොටි මෝටාර් කාලතුවක්කු හයිකරගෙන හමුදාවට වෙඩි තිබ්බා. යුද්ධයේ අවසන් කාලයේ කොටි හැසිරුණේ වියරුවෙන්. පැනලා යන්න උත්සාහ කරන සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නොවේ කොටින්ටත් වෙඩි තිබ්බා. අත් ට‍්‍රැක්ටරයක නැගලා කට්ටියක් රජයේ පාලන ප‍්‍රදේශයට පැනලා යද්දී කොටි ඒ ට‍්‍රැක්ටරයට ආර්.පී.ජී. අවිවලින් වෙඩි තිබ්බා. ඒ ට‍්‍රැක්ටරයේ හිටපු අය සේරම මිය ගියා. එක් කාන්තාවකගේ අතක් ගැලවිලා ඈතට විසිවුණා. ඒ අතේ ගොඩක් රන් වළලූ තිබුණා. කොටියෙක් ඇවිත් අත අහුලාගෙන ඒ රන් වළලූ ටික සේරම ගලවා ගත්තා. මම ඇස් දෙකෙන්ම දැක්කා. පැනලා යන්න හදන  ඕනෑම එකෙකුට අත්වන්නේ මේ ඉරණම තමා කියලා කොටි කාටත් ඇහෙන්න කිව්වා. බාලක‍්‍රිෂ්ණන් පුදුමාතලන් බීම් කඬේ ගතකළ කාලය ගැන සිහිපත් කරමින් කීය. මුලතිව් කැලෑවේ ඇති වටිනා ගස් කපා නැව්වලට පැටවීමේ ජාවාරමක් ද ඒ කාලයේ ක‍්‍රියාත්මක වී ඇති බව අප කළ සංචාරයේ දී දැන ගැනීමට ලැබුණේ ඒ ප‍්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවගෙනි. කොටින්ට අවශ්‍ය බඩු මුට්ටු අවි ආයුද අරගෙන එන නැව්වලින් ඒවා බාගෙන බුරුත වගේ දැව කඳන් ඒ නැව්වලට පැටෙව්වා. මේ වැඩ කාලයක් තිස්සේ කෙරුණා. අපි කැලෑවකට ගිහින් ඉන්නක් කැපුවොත් දඩ ගහනවා අනවසරයෙන් කැලේ කපනවා කියලා. අඩි 35ක් විතර දිග ඉන්නකට දඩය රුපියල් 35ක් වෙනවා යැයි අප සමග මෙම ජාවාරම ගැන තොරතුරු හෙළි කර සිටි සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙක්ම පැවසූහ. කොටි සංවිධානය පනවා තිබූ කැලෑ නීති එම නියෝග යටතේ හිරකාරයන් ලෙස ජීවත් වූ ජනතාවට අද ඇත්තේ පුදුමාකාර නිදහසකි. ඔවුන්ගේ  ඕනෑ එපාකම් ඉටුකරදීමට හමුදාව හා පොලිසිය හැකි සෑම විටම ඉදිරිපත් වෙති. පාලනාදන්, බාලක‍්‍රිෂ්ණන්, මනෝවතී, ධර්මලිංගම්, හරිස්චන්ද්‍රන්, සෙල්වරාජ් හා ලෝගනාදන් ඇතුළු මුලතිව් සංචාරයේ දී අපට හමුවූ සාමාන්‍ය මිනිස්සු බහුතරයක් කියා සිටියේ තමන්ට පොලිස් බලතල හෝ ඉඩම් බලතල ලැබුණා යැයි කියා එයින් ලැබෙන සෙතක් නොමැති බවය. ඔවුන්ට ඒවා ගැන අවබෝධයක්වත් නොමැති බව ඔවුන් හා කළ කතාබස්වලදී පැහැදිලිව තේරුම් ගිය කරුණකි. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට ගොවිතැන් බතක් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් ඔවුනට අවශ්‍ය මූලික පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙසත් පමණි. ප‍්‍රභාකරන් ඇතුළු කොටි නඩයට සුදුහුණු ගාමින් ඔවුන් මානව හිතවාදීන් ලෙස ලෝකයා හමුවේ කියා පෑමට උත්සාහ දරන අය තවමත් සිටී. ඇතැම් දෙමළ දේශපාලනඥයින් ද තවමත් පෙනී සිටින්නේ කොටි සංවිධානය වෙනුවෙන් බව ඔවුන්ගේ ඇතැම් කියුම් කෙරුම්වලින් පෙනී යන කරුණකි. ඇතැමුන් තවමත් මානව හිතවාදී විමුක්තිකාමී පිරිසක් ලෙස ලේබල් ගැසීමට උත්සාහ දරන්නේ මෙවැනි තිරිසන් වැඩ කළ කොටි කණ්ඩායමකට නොවේද යන්න කොටින්ගෙන් බැටකෑ ජනතාව සමග කරන ලද කතාබස්වලදී කොයිකාටත් පෙනී යනු ඇත. පොලිස් බලතල හා ඉඩම් බලතල ඉල්ලා සිටින්නේ අවස්ථාවාදී බලලෝභී දේශපාලනඥයන් නොවේද? යන්න කොයිකාටත් වැටහී යනවා නොඅනුමානය. ඒ ප‍්‍රදේශවල සිටින සාමාන්‍ය මිනිස්සු ඒවා ගැන මෙලෝ හසරක් දන්නේ නැත. පොලිස් හෝ ඉඩම් බලතල ලැබුණැයි කියා ඔවුනට එයින් ලැබෙන මහ ලොකු සෙතක්ද නොමැත. අපට ඔය පොලිස් ඉඩම් බලතලවලින් වැඩක් නැහැ. ගොවිතැනක් බතක් කරගෙන ළමයින්ට උගන්වලා නිදහසේ ජීවත්වෙන්න වටපිටාවක්  ඕනෑ. නිදහස නම් දැන් ලැබිලා තියෙනවා. මේ පැත්තේ රෝහල්වල පාසල්වල තියන අඩුපාඩුකම් ටික ඉක්මනට හදලා දෙන්න. අපි ඒ ප‍්‍රදේශයෙන් සමු ගැනීමට තැත් දරත්ම ජනතාව එකහඬින් ඉල්ලා සිටියේය. (උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතාට, උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පුෂ්පිත ගුණරත්න, කොස්තාපල්වරුන් වන බණ්ඩාර (71223) සහ සූරියබණ්ඩාර (31901) යන මහත්වරුන්ට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පිරිනැමේ)
විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය  (මුලතිව් සංචාරයෙන් පසු) / ඡායාරූපය -  මාදම්පේ  ලක්‍ෂ්මන් හෙට්ටිතන්ත‍්‍රී
එස්. පාලනාදන් මයිල්වානගම් මනෝවතී