”නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟනක්” පිළිබඳව මෑතක දී අනාවරණය වූ පුවතක් ජනයා අතර මහත් ආන්දෝලනයක් මෙන්ම විශ්මයක් ද ඇති කරලීමට සමත් විය. ඇයත් ඒ නාගයාත් අතර කෙතරම් දැඩි සබඳතාවකින් බැඳී සිටියේ ද කිවහොත් එම නාගයා පොලීසිය විසින් ඇගෙන් ඉවත් කරනු ලැබූ පසු ඈ සිහිසුන්ව ඇද වැටී ඇත. මෙය මෑත කාලයේ දී අසන්නට ලැබුණු අපූර්ව සිද්ධියක් වුව ද කතුන් සහ උරගුන් අතර පැවති මෙවැනි සබඳතා පිළිබඳ කතා පුවත් මානව ඉතිහාසය පුරාම අපට හමුවේ. ක‍්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ විසූ මෝහනීය රූසපුවකින් යුතුව සිටි මිසරයේ ක්ලියෝපැට්රා රැජින ද කුඩා විෂඝෝර සර්පයකු තම ළමැදෙහි තබා ඇති දැඩි කළ බැව් දැක්වේ. ඔගස්ටස් අධිරාජයා විසින් තමා ග‍්‍රීසියට ගෙන ගොස් අවමානයට ලක් කරතැයි බිය වූ ඇය යටත්වීමට වඩා මරණය යහපතකැයි සිතා ඒ සුරතලා ලවාම දෂ්ට කරවාගෙන මියැදුණාය. සර්පයන් සමග හාදකම් පැවැත්වූ  ස්ත‍්‍රීන් ගැන කතාන්දර පෙරදිග ලෝකයේ රටවලින් පමණක් නොව අපරදිග රටවලින් ද හමුවේ. පෙරදිග රටවල ප‍්‍රචලිත ජනශ‍්‍රැති එක්කොට Cinq Contes et Apologues නම් වෙළුම් දෙකකින් යුත් ග‍්‍රන්ථයක් පළ කළ මහාචාර්ය චවන්නෙස් එහි දෙවැනි වෙළුමේ කතාවක අඩ නින්දේ පසුවූ බිසවක ළඟට රිංගා ගත් සර්පයකුගෙන් ඈ ලද මිනිස් පුතුන් ගැන සඳහන්ය. ඉන්දියාවේ සන්තාල් ගෝත‍්‍රික ජනයාගේ ජනශ‍්‍රැති සංග‍්‍රහයක (Folktore of the Santal Paragnas) අග දැක්වෙන කොල්හාන් ජනයාගේ එක් ජන කතාවක ස්ත‍්‍රියක් විවාහ කරදී ඇත්තේ දිය නයකුටය. ඌ සමග දියයට විසීමෙන් ඈ පුතුන් සිව් දෙනකු ලැබුවාය. අප‍්‍රිකානු සහ ඇමෙරිකානු මහාද්වීපවල ප‍්‍රචලිත ජනශ‍්‍රැති කිහිපයකින්  ද ස්ත‍්‍රීන් සහ සර්පයන් අතර පැවති සම්බන්ධතා ගැන තොරතුරු හෙළි වේ. එක් තරුණියක් දිගැති සර්පයකුගේ බිරිඳ බවට පත්වූ බවක් කාපිරි ජනයා පිළිබඳ ජනශ‍්‍රැති සංග‍්‍රහයකින් (Kaffir Folk lare) අනාවරණය වේ. ඇය පලා ගිය පසු ඌ ඇගේ සොහොයුරිය තම බිරිඳ බවට පත්කර ගත්තේය. පසුව ඇය සර්ප සැමියා ද කැටුව තම පියා බැලීමට ගිය අවස්ථාවේ දී ඇගේ නෑ පිරිස එක්ව ගෙට ගිනි තබා සර්පයා මරා දැමූහ. මෙයට වෙනස් පුවතක් ඇමෙරිකාවේ රතු ඉන්දියානුවන්ගේ ජනශ‍්‍රැති අතුරින් හමුවේ. එම ජනයා අතර ප‍්‍රචලිත ජනකතා එක්රැස් කර අගනා කෘතියක් ”රතු ඉන්දියානුවන්ගේ කතාන්දර” නමින් පළ කළ ලෝකප‍්‍රකට ජනශ‍්‍රැතිවේදියකු වූ මහාචාර්ය ස්මිත් තොම්සන් දක්වන එක් කතාන්දරයකට අනුව ගැහැනියක් සර්පයකු සමග රහසින් පැවැත්වූ හාදකම් ඇගෙ සැමියාට හසුවීම නිසා ඇයට සිදුවූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. පෙරළෙන හිස් ගෙඩිය නමින් යුත් එම අපූරු කතාන්දරය මෙසේය. හුදකලා තැනක තිබුණු කූඩාරමක එකම එක පවුලක් වාසය කළා. ඒකෙ හිටියෙ සැමියයි, බිරිඳයි. ඔවුන්ගෙ දරුවන් දෙන්නයි විතරයි. සැමියා දඩයමේ යන්න කලියෙන් ඔහු හැමදාම උදේට තම බිරිඳගෙ මූණෙයි, ඇඟෙයි සායම්වලින් රූප ඇඳලයි යන්නෙ. ඔහුගේ බිරිඳ ඒ අසල තිබුණ විලකින් වතුර ගේන්න යන්න පුරුදු වෙලා හිටියා. ඇය හැමදාමත් වතුර ගත්තෙ එකම තැනින්, විල ළඟට ආවාට පස්සෙ. ඇය නාන්න සැරසෙන විදියට තමන්ගෙ වස්තර ගලවා දැම්මා. එතෙන්දි විසාල සර්පයෙක් විලෙන් මතුවුණා. ගැහැනිය ඌට කතා කරල ගොඩට එන්න කීවා. ඌ ගොඩට එන්නෙ නැතුව ඇයට දියට බහින්නය කියල කිව්වෙ ඇගෙ සැමියා දඩයමේ ගොස් සිටි හින්දයි. ගැහැනිය සර්පයාගෙ බහට අවනත වුණා. (ඊට පස්සෙ) හැම උදයකම ඈ විලට යෑම පුරුද්දක් කරගත්තා. ගැහැනියගෙ සැමියා පුරුදු විදියට දඩයමේ ගිහින් මස් අරන් ආවා. ඇයත් ඇගෙ දරුවනුත් සතුටින් විසුවා. තමා නැති අතරෙ ගෙදර සිද්ධ වෙන්නෙ මොනව ද කියන එක සැමියා දැනගෙන හිටියෙ නෑ. තමාගෙ බිරිඳ වතුර ගේන්න විලට යන කොට ලොකු සර්පයෙක් මුණ ගැහිලා ඌත් එක්ක හාදකමක් ඇති කරගෙන තියන විත්තිය ගැන හාන්කවිසියක් ඔහුට දැනුනෙ නෑ. ඒත් දවසක් දා ඔහු බිරිඳගෙන් විමසුවා ඇඟේ ගාලා තියෙන සායම් හේදිල ගිහින් තියෙන්නෙ කොහොමද කියලා. ඒකට ඈ දුන්න උත්තරේ, තමා දිය නෑ බවයි. පසුව දා උදේ සැමියා දඩයමේ යන බව හඟවල, ගෙදරින් පිටවෙලා ගිහින් විලට කිට්ටුව වළක් හාරා ගෙන ඒකෙ හැංගිලා උන්නෙ තමන්ගෙ බිරිඳ කරන්නෙ මොකක්ද කියලා බලා ගන්නයි. ගැහැනිය විල් ඉවුරට ඇවිත් සර්පයාට අඬ ගැහැව්වා. ”එන්න කො මම මේ බලා ගෙනයි ඉන්නෙ.” එතෙන්දි ඔහු දැක්කා විසාල සර්ප මාල්ලෙක් විලෙන් මතුවෙලා ඇවිත් ඇඟේ සැමියා දඩයමේ ගියාදැයි විමසනවා. ”ඔව්, මම එන්නම්” කියල ඈ පිළිතුරු දුන්නා. ඊට පස්සෙ ඇය ඇඳුම් උනා තියල විලට බැස්සා. එතකොට සර්පයා ඇවිත් ඇගේ ඇඟ වටා වෙළුණා. හැංගිලා ඉඳගෙන මේ සේරම සිද්ධි බලාගෙන හිටිය සැමියා හුන් තැනින් එළියට ආවා. ඊට පස්සෙ සර්පයා ළඟට පැනලා තමා ළඟ තිබුණු පිහියෙන් පෙති ගහලා ඌ මරා දැම්මා. ඊළඟට තමන්ගෙ බිරිඳවත් අල්ලා ගෙන ඈවත් මරා දැම්මා. ඊට පස්සෙ ඇයව කපලා ඇගේ මස් අරගෙන ගෙදර ගෙනිහින් දරුවන්ට දුන්නා. ඔහු තම බිරිඳගෙ මස් උයලා දරුවන්ට කැව්වා. කිසි වගක් නොදැන දරුවොත් ඒ මස් කෑවා. ඊට පස්සෙ පියා තම දරුවන්ට කියනවා. ”තොපෙ අම්මා ගෙදර ආවට පස්සෙ එයාට කියාපල්ලා වෘකයන්ට කන්න බැරි විදියට ගහක් උඩ එල්ලා තියල ආපු මස් වගයක් ගේන්න මම ගියා කියලා.” එහෙම කියල ඔහු යන්න ගියා. එතෙන් දි බාල දරුව කියනවා. ”අපෙ අම්මා ගෙදර එන්නෙ නැතුව ඉඳන් අපිට විහිළු කරනවා.” ”අපෙ අම්මා ගැන උඹ නරකක් කියනවා හෙම නෙමේ කියල” වැඩිමහල් දරුවා කීවා. ඊට පස්සෙ ඔවුන්ගෙ අම්මගෙ හිස ඔවුන් ඉන්න තැනට පෙරලි ගෙන ආවා. ”මගෙ දරුවො මාව කෑව එක ගැන මට හරි දුකයි” ඈ කීවා. ළමයි දෙන්නා බය වෙලා දුවන්න පටන් ගත්තා. ඒත් හිස පෙරලී පෙරලී ඔවුන් යන පස්සෙන්ම එන්න වුණා. දුවලා දුවලා ඔවුන් හොඳටම වෙහෙසට පත්වුණා. ඒත් ඔවුන්ගෙ අම්මගෙ හිස ඔවුන් පස්සෙ දිගටම පෙරළී ගෙන ආවා. වැඩිමහල් දියණිය පොළොවෙ ඉරක් ඇන්දා. එතකොට හිසට එතැන පහු කරන් එන්න බැරි විදියට ගැඹුරු වළක් හෑරුණා. බාල දියණියට තද කුසගින්නක් දැනුණා. ඇය තම අක්කණ්ඩියට කියනවා. ”අර මුවා දිහා බලන්න කො” වැඩිමහල් දියණිය මුවා දිහා බැලූවාම ඌ මැරී වැටුණා. හරියට ඊයකින් විද්ද විදියටයි. ඔවුන් ඒ මුවාගෙ මස් කෑවා. කවුදෝ ඇවිත් ඔවුන් ගැන කරුණාව දක්වල ඔවුන්ට පිහිට වුණා. ඔවුන් විශාල ගේක වසන්න වුණා. ඔවුන්ට කෑමට හැම ජාතියෙම දේවල්  ඕනෑ තරම් තිබුණා. ලොකු කොටියන් දෙන්නෙකුයි, ලොකු කළු වළසුන් දෙන්නෙකුයි වන සතුන්ගෙනුත්, මිනිසුන්ගෙනුත් ගැහැටක් වන්න නොදී ඔවුන් රැකබලා ගත්තා. කෙසේ වුවද ලඳුන් හුරතලෙකු ලෙස සලකන නාගයාට පිරිමින්ගෙන් නම් එල්ල වන්නේ අනදරයක් බැව් මෑතක දී පළවූ එක් පුවතකින් හෙළිවේ. ඇතැම් වාජීකරණ සහ කාමෝද්දීපන ඖෂධ නිපදවීම සඳහා නයින්ගේ සිරුරේ යම් යම් කොටස් හා ඇතැම් විට නාගයා මුලූමනින්ම ද යොදා ගන්නා බව නොරහසකි. මෑතකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබියදී රේගුව භාරයට ගත් කාමෝද්දීපන ඖෂධ බෝතල් තුළ නාග සිරුරු එලෙසම බහා තිබෙනු දක්නට හැකි විය. නාගයාට එලෙස දිවි පිදීමට වක‍්‍රව හේතුවී තිබුණේ ද ළඳුන්මය. එම ඖෂධ තනා තිබුණේ කාමභෝගී පිරිමින් උදෙසා වීම ඊට හේතුවය.
චන්ද්‍ර ශ්‍රී රණසිංහ විසිනි