IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ඉසෙඞ් ලකුණින් අතරමං වූවෝ...

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ 2011 වර්ෂයේ විභාගයට ඉදිරිපත් වී විශ්වවිද්‍යාලවලට යාමට සුදුසුකම් ලබා සිටින සිසුන් අද තැන් තැන්වල උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වති. විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ බලාපොරොත්තුවෙන් සිටි මේ සිසු පිරිස දැඩි මානසික අවුලකට පත් වී සිටිති. මෙයට හේතු වී ඇත්තේ ඉහළ ඉසෙඞ් අගයන් ලබා සිටි සිසුන් විශාල පිරිසකගේ දෙවැනි වර ඉසෙඞ් අගය ප‍්‍රකාශ කිරීමෙන් පසු ලකුණු මට්ටම පහළ බැස තිබීමයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය වූයේ නව නිර්දේශය හා පැරැණි නිර්දේශය යන විභාග දෙකේ ඉසෙඞ් අගයන් වෙන වෙනම ගණනය කිරීමයි. එම නියෝගය කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රමවේදය සකස් කිරීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබිණි. එම කමිටුව දෙන ලද උපදෙස්වලට අනුව විභාග දෙපාර්තමේන්තුව අකුරටම කි‍්‍රයාත්මක විය. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීම සඳහා වූ ඉසෙඞ් අගය සකස් කිරීමට කවදත් සහාය වූයේ විභාග දෙපාර්තමේන්තුවයි. විභාග දෙපාර්තමේන්තුව හැර ඉසෙඞ් අගයට අනුව ගණනය කිරීමට වෙනත් කිසිදු ජගතෙක් ද නැත. එයට හේතුව උසස් පෙළ විභාගයේ අමු ලකුණු පවත්නා එකම පුද්ගලයා විභාග දෙපාර්තමේන්තුව වීමයි. එබැවින් ඉසෙඞ් අගය සකසා දීමට විභාග දෙපාර්තමේන්තුව සැදී පැහැදී සිටී. මෙවරත් උසාවි නියෝගය මත විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම මගින් පෙන්වා දෙන ලද ක‍්‍රමවේදයට අනුව විභාග දෙපාර්තමේන්තුව මගින් ඉසෙඞ් අගය සකසා ඇත. වෙනදාටත් වඩා නිවැරදිව දැඩි අවධානයෙන් ඉසෙඞ් අගය සකසා දීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ බව ”ඉරිදා ලංකාදීපයට” දැන ගන්නට ඇත. ඒ සඳහා විශ්වවිද්‍යාල කීපයක පරිගණක අංශවල සහාය ලබා තිබිණි. ඔවුන් අදාළ ගණනය කිරීම් කරනු ලබන අතරතුරදී විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරින් ද ඉසෙඞ් අගය නව ක‍්‍රමය මත සකසා ඇත. නිවැරදිතාවය සියයට සීයක්ම තහවුරු කරගෙන තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව පසුගිය 25 වැනිදා නව ඉසෙඞ් අගයන් නිකුත් කරනු ලැබිණි. ඉසෙඞ් අගය පිළිබඳව අලූත් ආරවුලක් දැන් උද්ගත වී ඇත. එනම් නව නිර්දේශ විභාගයට ඉදිරිපත් වූ සිසුන් ගණනාවක් ලකුණු මට්ටමින් ඉදිරියට ඒමයි. ඒ පිළිබඳව ඔවුන්ගෙන් මේ වන විටත් කිසිදු හාහූවක් නැත. හේතුව බලාපොරොත්තු නොවූ පරිදි විශ්වවිද්‍යාල වරම් ලබාගැනීමට ඇති අවස්ථාවට ඔවුන් වඩාත් ආසන්න කිරීමයි. ප‍්‍රශ්නය පැන නැගී ඇත්තේ පැරණි නිර්දේශයට ඉදිරිපත් වූ සිසුන්ගෙනි. ඔවුන්ගේ ඉසෙඞ් අගය පහළ බැස ඇත. දැන් මේ සිසුන් තමන්ට සිදුවූ අසාධාරණය ගැන තැන් තැන්වල රැස්වීමටත් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමටත් ආදි වශයෙන් විවිධාකාර කි‍්‍රයාමාර්ගවලට පෙළඹී සිටිති. මෙම ආරවුල ඉබේ ඇති වූවක් නොවන බව පළමුව සඳහන් කළ යුතුව ඇත. වර්ෂ 2011 උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් දෙකොටස සඳහා සාධාරණ ඉසෙඞ් අගයක් සකස් කළ යුතු බව 2007 සිට බලධාරීන් අවධානය දැක්විය යුතුව තිබිණි. අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පැරණි නිර්දේශය අහෝසි වන විට 2011 උසස් පෙළ පැරැණි නිර්දේශය අවසන් වන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම දැනගත යුතුව තිබිණි. ”අපිට කවුරුත් මේ ගැන කිව්වෙ නැහැ නේ” විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට මෙසේ කියා ඇඟ බේරා ගැනීමට ඉඩ ඇත. එහෙත් 2011 උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පවත්වන බව අඩුම වශයෙන් කොමිසමේ උගත්, බුද්ධිමත් නිලධාරීන්ට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දීමක් අවශ්‍ය නොවනු ඇත. සියලූ යහපත් කරුණු කාරණා තිබුණත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මෙම සිද්ධියේදී නම් බෙහෙවින් අත්තනෝමතිකව හා උද්ධච්ච ස්වරූපයෙන් හැසිරුණ බව නම් කිව යුතුවම ඇත. උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතාට ද එම චෝදනාවම එල්ල වනු ඇත. විෂය නිර්දේශ දෙකක සිසුන් එකම භාජනයකින් තෝරා බේරාගෙන විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන්නේ කෙසේද? විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ උගත්, බුද්ධිමත් මහත්වරු කිසිදු වග විභාගයකින් තොරව හිතුමතේ ගත් තීන්දු-තීරණ මෙම අවුලට මූලිකම හේතුව විය. අධ්‍යාපනයට සම්බන්ධ සියලූ අංශ එනම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, විභාග දෙපාර්තමේන්තුව එක හඬින් කියා සිටියේ ඉසෙඞ් ලකුණු මුළුමනින්ම නිවැරදි බවයි. උසස් පෙළ විභාගයට ඉදිරිපත් වී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ දරුවන් තනිව එක පැත්තක සිටියහ. සිසු විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකළ කොමිසම විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම ආරම්භ කළේය. උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාදවීමට ද හේතුවක් වූයේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට කල් ඇතිව ඉසෙඞ් අගය පිළිබඳව තීරණයකට එළඹීමට නොහැකිවීමයි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට සිදු වූයේ බැලූනයක පිරී තිබූ හුළං පිට වී යාමක් හා සමාන දෙයකි. පුරසාරම් දෙඞීම නවතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත යළි ඉසෙඞ් අගය සැකසීමට සිදු විය. ඉසෙඞ් අගය වෙන වෙනම සකසා එකට පෙළගස්වන ලෙස උසාවි තීන්දුවේ නොමැති බවත් එසේ එකට පෙළගස්වා ඇත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ තනි මතයට බවත් මෙම සිසුහු ප‍්‍රකාශ කරති. උසාවිය මගින් දෙන ලද තීන්දුව වී ඇත්තේ විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම ඉසෙඞ් අගයන් සකස් කර සංඛ්‍යා විද්‍යාත්මකව නිවැරදි ක‍්‍රමයකින් සිසුන් විශ්වවිද්‍යාලවලට තේරීම කළ යුතු බවයි. එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සංඛ්‍යා විද්‍යාත්මකව නිවැරදි ක‍්‍රමයක් අනුගමනය කර නොමැති බව දැන් පැහැදිලි වී ඇතැයි සිසුහු කියති. මේ තත්ත්වය නිසා තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව මානව හිමිකම් කොමිසමට මේ වන විට පැමිණිලි 500ක් පමණ සිසුන් විසින් ඉදිරිපත් කර තිබේ. මීට අමතරව අධිකරණමය කි‍්‍රයාමාර්ග ගැනීමටද පියවර ගෙන ඇත. පසුගිය සතිය පුරාම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට රැස් වන සිසුන් සහනයක් බලාපොරොත්තුව සිටිති. කොළඹ ආනන්ද විද්‍යාලයේ රෂ්මික දිනෙත් ශිෂ්‍යයාගේ උසස් පෙළ පැරැණි නිර්දේශ විභාගයේ ඉසෙඞ් අගය 1.65කි. දිස්ති‍්‍රක් අගය 487 වූ අතර සමස්ත ලංකා අගය 1735ක් වී තිබිණි. දෙවැනි වර ඉසෙඞ් අගය පිළියෙල කිරීමේදී ඉසෙඞ් අගය 1.53ක් වී ඇත. දිස්ති‍්‍රක් අගය 560ක්ද සමස්ත ලංකා අගය 2600ක් ද වී ඇත. ගණිතය අංශයෙන් විභාගයට ඉදිරිපත් වී ඇති මෙම ශිෂ්‍යයාගේ විභාග අංකය 7007213 වේ. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් උසස් පෙළ කලා අංශයෙන් පැරණි නිර්දේශයට ඉදිරිපත් වූ අනුපමා විජේසිරි ශිෂ්‍යාවගේ පැරණි ඉසෙඞ් අගය 1.8592කි. දිස්ති‍්‍රක් කුසලතාව 34කි. සමස්ත ලංකා ප‍්‍රතිඵලය 587කි. දෙවැනි වර නිකුත් කරන ලද ප‍්‍රතිඵවලට අනුව ඉසෙඞ් අගය 1.4837කි. දිස්ති‍්‍රක් කුසලතාව 34 සිට 213 දක්වා පහළ බැස ඇත. සමස්ත ලංකා ප‍්‍රතිඵලය 587 සිට 3641 දක්වා පහළ බැස ඇත. මෙම ශිෂ්‍යාවගේ විභාග අංකය 7066465 වේ. කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පෞද්ගලික අපේක්ෂිකාවක් වශයෙන් විභාගයට ඉදිරිපත් වූ මලීෂා අමරසිංහ ලබා ඇති ස්ථානය මෙසේය. ඉසෙඞ් අගය 1.8825කි. දිස්ති‍්‍රක් අගය 39 වෙයි. සමස්ත ලංකා මට්ටම 439 වෙයි. එහෙත් දෙවැනි වර ඉසෙඞ් අගය නිකුත් කිරීමේදී ඇයගේ ඉසෙඞ් අගය 1.57ක්ව පැවැති අතර දිස්ති‍්‍රක් කුසලතාව 39 සිට 161 දක්වා පහළ බැස ඇත. සමස්ත ලංකා කුසලතාව 439 සිට 2300 දක්වා පහළ බැස ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ පැරණි නිර්දේශ විභාගයට ඉදිරිපත් වූ සමින්ද ගුණවර්ධන ශිෂ්‍යයාගේ පෙර ඉසෙඞ් අගය 2.0748කි. දිස්ති‍්‍රක් කුසලතාව 210ක් හා සමස්ත ලංකා කුසලතාව 722 විය. පසුව නිකුත් කරන ලද ඉසෙඞ් අගය 1.9090කි. දිස්ති‍්‍රක් කුසලතාව 210 සිට 319 දක්වා පහළ බැස ඇත. සමස්ත ලංකා කුසලතාව 722 සිට 1082 දක්වා පහළ බැස ඇත. ඔහුගේ විභාග අංකය 7031076 වෙයි. ති‍්‍රකුණාමලය සහිරා විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටි එම්.ඉසෙඞ්.එම්. අජුමද් ශිෂ්‍යයාගේ දිස්ති‍්‍රක් කුසලතාව 12 සිට 19 දක්වා ද සමස්ත ලංකා කුසලතාව 2173 සිට 2758 දක්වා  ද පහළ බැස ඇත.

දයාසීලි ලියනගේ
අනුපමා විජේසිරි රෂ්මික දිනෙත් මලීෂා අමරසිංහ එම්. ඉසෙඞ් සමින්ද ගුණවර්ධන



අදහස් (0)

ඉසෙඞ් ලකුණින් අතරමං වූවෝ...

එම්.එච්.ලහිරු ප්‍රසංග Sunday, 05 August 2012 12:48 AM

අපි චෙනුචෙන් ඉඩක් ලබා දීම බෙහෙවින් අගය කරමි.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දය එදා කී දේ අද කියන දේ
2024 ජුලි මස 27 8 0

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද්ධ පක්ෂ පසුගිය මාස කිහිපයක් තිස්සේ චෝ


ප්‍රජාතන්ත්‍රවාදයට අනුගතවූ ඡන්දයකට පෙළගැසෙමු
2024 ජුලි මස 27 4 0

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21


අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 259 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 128 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 293 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 136 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site