”අපි අපගේ පියාණන් වූ බොලිවර් සමග එකම බළඇණියක කඳු ශිඛර තරණය කළෙමු. දෙවියන් වහන්සේට ස්තූති වේවා. මාගේ මිනිසුන්ට ස්තූති වේවා. මගේ ජීවිතයට ස්තූති වේවා. හැමවිටම ජයග‍්‍රහණය වෙනුවෙන්. අපි ජයග‍්‍රහණය කරන්නෙමු. මා ආපසු එනතෙක් ඔබට ජයවේවා!” 2011 ජූනි මස 30 වැනි දින කියුබාවේ හවානා නුවර සිට එසේ ප‍්‍රකාශ කළ ලතින් ඇමෙරිකානු විප්ලවීය වීරයා හියුගෝ චාවේස් ආපසු නොඑන්නටම අප හැර ගොසිනි.

වෙනිසියුලාවේ බරිනාස් තණබිම් ආශ‍්‍රිතව දරුවන් හය දෙනකුගෙන් සමන්විත ගුරු පවුලක දෙවැනි දරුවා ලෙස 1958 ජූලි 28 වැනිදා හියුගෝ චාවේස් මෙලොව එළිය දුටුවේය. ඔහුගේ කුඩා අවදිය ගෙවෙන්නේ සිය මිත්තණිය වූ රෝසා ඉනේස් සමග ඇයගේ නිවසේය. කුඩා චාවේස් බේස් බෝල් ක‍්‍රීඩාවට කෙතරම් ඇලූම් කළේද යත් බේස් බෝල් ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා ඔහු වයස අවුරුදු 16දී යුද හමුදාවට බැඳෙන්නේය. අවසානයේදී ඔහු ලූතිනන් කර්නල් තනතුර දක්වා උසස් විය.

හමුදා නිලධාරියකුව සිටිමින්ම 1992 පෙබරවාරි මස ඔහු එවකට වෙනිසියුලාවේ ජනාධිපති කාර්ලෝස් ඇන්ඩෙ‍්‍රස් පෙරෙස්ගේ පාලනයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවන්නේය. එහෙත් එම කැරැල්ල අසාර්ථක වන අතර චාවේස් අත්අඩංගුවට පත් වන්නේය. ඉන් අනතුරුව ඔහු විසින් කරන ලද රූපවාහිනී ප‍්‍රකාශයේදී ඔහු සිය සගයින්ට පවසන්නේ කැරැල්ල ”දැනට” පරාජය වූ බැවින් අවි බිම තබන ලෙසයි. ඔහුගේ මෙම ප‍්‍රකාශයෙන් ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටි ජනතාව තුළ වූ බලාපොරොත්තු තවදුරටත් ජීවත් කරවන්නක් විය.

පුරා වසර දෙකකට අධික කාලයක් තිස්සේ සිරගතව සිටින්නට ඔහුට සිදුවූ අතර ඒ පිළිබඳව අලෙයිඩා ගුවේරා (චේ ගුවේරාගේ දියණි) සමග මෙසේ පවසා තිබුණි. ”පුරා වසර දෙකකුත් මාස දෙකක් මා සිරගත කරනු ලැබුවා. ඒ කාලය තුළ බොහෝ දේ ඉගෙන ගැනීමට මට අවස්ථාව ලැබුණා. මට නම් සිරගෙය එක්තරා පාසලක්. එහිදී ආත්මය වානේ මෙන් ශක්තිමත් වෙනවා. දැඩි විශ්වාසයන් තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම අවබෝධය ගැඹුරු වෙනවා. යම් දැක්මක් සහිතව ඒ දෙස හැරී බලනවා නම් ඒ මුළු කාලය මුළුල්ලේම අප දැනුම්වත් සිරකරුවන් වුණා.

අපි අභිමානයෙන් යුත් සිරකරුවන් වුණා. සිරගෙයි වැටී සිටින්නේ කුමක් නිසාදැයි හොඳින් දැන සිටි සිරකරුවන් වුණා.

1992 පෙබරවාරි කැරැල්ල ජයගත්තේ නම් ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා නැවතත් හමුදා බැරැක්කවලට යෑම ඔවුන්ගේ සැලසුම වූ අතර එය ඉතා වෙළෙඳ සිතිවිල්ලක් බව සිරගෙයි සිටි කාලය තුළදී අවබෝධ කරගැනීමට චාවේස් සමත් විය. සිරගෙයි ගත කළ කාලය තුළදී ව්‍යවස්ථාදායක සභාව නම් බීජාංකුරය  හොඳින් දළුලා, වැඩුණු මහ වෘක්ෂයක් බවට පත්ව තිබූ අතර පසුව පස්වැනි බොලීවේරියානු ජනරජ ව්‍යාපාරයට පදනම වූයේ එම අදහස්ය. සිරෙන් නිදහස් වන අවධිය වනවිට තමන් යා යුත්තේ කවර අරමුණක් කරාදැයි යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහ ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් චාවේස් සතුව තිබුණි. සිරෙන් නිදහස්ව පැමිණෙන විට මාධ්‍යවේදීන් ඇසූ ”ඔබ දැන් කොහෙද යන්නෙ?” යන පැනයට ”බලයට” යනුවෙන් ඔහු ලබාදුන් පිළිතුරෙන් ඒ බව මනාව පැහැදිලි වේ.
සිරෙන් නිදහස් වී වසරකට පසුව 1995 දී පෙබරවාරි 4 කැරැුල්ලේ තෙවැනි සංවත්සරය සමරණ අතර 1998 දී චාවේස් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඔහුගේ ප‍්‍රතිවාදියා වූයේ වරක් ලෝක රූ රැජිනක් වූ ඉරිනි සඑන්ස් ය. සාධාරණ මැතිවරණයක් ලෙස කිසිසේත්ම හැඳින්විය නොහැකි එම මැතිවරණයෙන් 68%කට අධික ඡන්ද ප‍්‍රතිශතයකින් ඉරිනි ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. දේශීය ධනපතියන්ගේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ සම්පූර්ණ සහයෝගය හිමිවන්නේ ඇයටය. එහෙත් අවසානයේ 1998 දෙසැම්බර් මස 6 වැනි දින ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ හියුගෝ චාවේස්ය.

ජනාධිපති ධුරයට පත්වූ චාවේස් වෙනිසියුලාව ”වෙනිසියුලා බොලිවේරියානු ජනරජය” ලෙස නම් කරන අතර ජනමත විචාරණයක් ඔස්සේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා නව වෙනිසියුලාවක් ගොඩනැගීමේ කර්තව්‍යයට මුල පුරන්නේය. මෙය එතරම් ලේසි පහසු කාර්යයක් නොවන්නේ තෙල් සම්පතින් සපිරි රටක් වුවද එක්සත් ජනපද වුවමනා එපාකම් මත කලින් සිටි රජයන් වෙනිසියුලාව ආර්ථික අගාධයේ පත්ලේ ගිල්වා දමා තිබූ හෙයිනි. චාවේස් වෙනිසියුලාව භාරගන්නා විට උද්ධමනය 35%කටත් වැඩිවූ අතර විරැකියාව 20% ඉක්මවීය. දිළිඳු බව රටපුරා පැතිර තිබුණි. මෙම අභියෝග ජයගැනීම සඳහා චාවේස් ”බොලිවර් 2000 සැලැස්ම” ක‍්‍රියාත්මක කරන්නේය.
වසර 2002 දී චාවේස්ගේ පාලනයට එරෙහිව හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවන අතර චාවේස් අත්අඩංගුවට ගෙන පෙඞ්රො කාමෝනා බලය අල්ලා ගත්තද දින තුනකට වඩා බලය රඳවා ගැනීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැත. හමුදා කුමන්ත‍්‍රණයට එරෙහිව වීදි බසින මිලියන ගණනක ජනතාව නිසා බලය අල්ලා ගැනීමේ අදහස අතහැර දමන්නට කාර්මෝනාට සිදුවිය. විස්මයජනක පැය 72ක කාලය තුළදී සිය දිවි ගලවා ගැනීමට සමත්වන චාවේස් යළිත් බලයට පත්විය.

එතැන් පටන් තමන්ගේ ප‍්‍රියතම ඇඳුම වන හමුදා නිල ඇඳුම සහ රතු පැහැති හමුදා හිස් වැස්ම පැළඳි චාවේස් වෙනිසියුලාව තුළ පමණක් නොව සමස්ත ලතින් ඇමෙරිකාවේම මෙන්ම සමස්ත ලෝකයේම ජනප‍්‍රිය චරිතයක් බවට පත්වන්නේය. ඔහුට එරෙහි එක්සත් ජනපද ප‍්‍රචාරණ යාන්ත‍්‍රණ ඔහු මුසෝලිනි කෙනෙකු නැතිනම් තවත් ෆිදෙල් කැස්ත්‍රෝ කෙනකු ලෙස හඳුන්වන ලදී. එපමණක් නොව ඔහු නිදාගන්නේ හිට්ලර් විසින් රචිත ග‍්‍රන්ථයක් කොට්ටය යට තබාගෙන බවද ප‍්‍රචාරය කෙරුණි. එහෙත් සැබෑ චාවේස් කවුද යන්න ජනතාව දැන සිටියහ.

1999 බලයට පත්වූදා සිට 2011 දී අසනීප වනතුරුම ඔහු එක් දිනක් හෝ විවේක ගෙන නොමැත. එම මුළු කාලය මුලූල්ලේම ඔහු සිය සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැර තිබුණි.

2011 ජූනි මස හවානාවේදී ඔහු යම්කිසි අපහසුතාවයකින් පෙළෙන්නේදැයි ෆිදෙල් කස්ත්‍රෝ විමසන තෙක්ම ඔහු සිය සෞඛ්‍ය නොසලකා හැර තිබුණි. ඉන් අනතුරුව ෆිදෙල් ඔහුව ප‍්‍රතිකාර සඳහා යොමු කරන්නේ බලෙන්ම වාගේය. තම සෞඛ්‍යය පිළිබඳව නොසලකා හැරීම තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් බව පිළිගැනීමට තරම් නිහතමානී වූ චාවේස් අඩුම තරමේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන්වත් එම අත්වැරදීම සිදු නොකළ යුතුව තිබූ එකක් බව පිළිගත්තේය.

චාවේස් විසින් සිදුකරනු ලබන මෙම ”අත්වැරැදීම” ඇමෙරිකා එ.ජ. ඇතුළු ඔහුගේ විරුද්ධවාදීන්ට නම් ඉතා ප‍්‍රීතිය ගෙනදෙන එකක් විය. ඔවුහු ලෙඩ ඇඳේ සිටි චාවේස්ටද බිය විය. ඒ බිය කෙතරම්ද යත් 2011 සැප්තැම්බර් මාසයේ නම සඳහන් නොකළ ලේඛකයකු එ.ජනපද පුවත්පතකට පවසා තිබුණේ රසායනික ප‍්‍රතිකාර වට හතරකින් පසු චාවේස්ගේ වකුගඩු නරක් වී ඇති බැවින් ඔහු මරණයේ දොරටුව එළිපත්තේ සිටින බවයි. එහෙත් චාවේස් පසුදින උදෑසනම මිරාෆේලොරොස් මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවූ විට එම බොරුව අතේ පත්තු විය.

ශාරීරිකව කෙතරම් දුබල වුවද ඔහු පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දින පැවැති මැතිවරණයටද ඉදිරිපත් වූ අතර ඉන් ජයග‍්‍රහණය කළේ තවත් වසර හයක කාලයක් සඳහා වෙනිසියුලාව පාලනය කිරීමේ ජනවරම ලබා ගනිමිනි. කෙසේ වුවද දෛවය ඒ සඳහා ඔහුට ඉඩ ලබා නොදීම ඔහුගේ ජීවිතය උදුරා ගන්නේ කියුබාවේ හවානාහිදී තවත් සංකීර්ණ ශල්‍යකර්ම හතරකට මුහුණදීමෙන් අනතුරුවය.
සත්‍යය පිළිගත යුතුව ඇත. චාවේස් අප හැර ගොසිනි. ඒ අධිරාජ්‍ය විරෝධී සටනට චාවේස්ලා සිය දහස් ගණන් අවැසි මොහොතකය. ඔහු වෙනුවෙන් අපට මේ මොහොතේ කළ හැකි හොඳම උපහාරය නම් ඔහුගේ අතින් ගිලිහුණ අධිරාජ්‍ය විරෝධී සටනේ ධජය ඔසොවාගෙන අධිරාජ්‍යවාදීන් මේ මිහිමතින් තුරන් කරන තුරු සටන් වැදීමයි.

ඒ සුන්දර මිනිසා අද සුව නින්දේය.

 

වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක

 

පිළිකාව වැළදී සිටියදී...

 

දියණියන් දෙදෙනා සමඟ.

 

කැස්ත්‍රෝ සමඟ.