හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීම්, ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණ, 20 වැනි සංශෝධනය නැවත ඉදිරිපත් කිරීම, 19 අහෝසිය, එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය, බැඳුම්කර ගනුදෙනුවේ චූදිතයන්, ජාතික ගීය සිංහලට සීමා කිරීම, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ සූදානම හා මහ මැතිවරණ සැලැසුම් ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතායි

ප්‍රශ්නය - අලුත් ආණ්ඩුවට මාසයයි. ළදරු ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මූලිකවම දකින්නේ කොහොමද?

පිළිතුර - ජනතාව ඉන්නෙ පුණ්‍යකාලය ගතකරනවා වගේ. මොකද තියෙන්නේ නොනගත ආණ්ඩුවක්. මහ මැතිවරණය දිනන තුරු මේ අය ජනතාවට රිදෙන තීන්දු ගන්නේ නෑ. හැබැයි ජනතාවට රිදෙන දේවල් සිදුවීම වළක්වන්නත් මේ අයට බෑ. හාල් මිල, එළවළු මිල වැඩිවීම ජීවන වියදම ඉහළ යාම සිදුවෙන්නේ මේ අයගේ කැමැත්ත මත නෙවෙයිනෙ. ආර්ථික න්‍යාය අනුවයි. මේගොල්ලො කැමැති වුණත් නැතත් ඒක සිද්ධවෙනවා. ඉතින් මේ අය ඔය ජනප්‍රිය වැඩ ටිකක් එක්ක තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයා සතුටු වෙන විදියේ වැඩ ටිකක් කරාවි. රාජිතව අත්අඩංගුවට අරගෙන ටිකක් සතුටු කරනවා. ඊළඟට තව කෙනෙක් ගනීවි. යහපාලන ආණ්ඩුවත් ඕක කළා. ඒවායින් තමයි ආණ්ඩුව දුවන්නේ.

ප්‍රශ්නය - හැබැයි චම්පික රණවක, රාජිත සේනාරත්නගේ අත්අඩංගුවට ගැනීම් සමග නව ආණ්ඩුවටත් දේශපාලන පලිගැනීම් කරන බවට චෝදනා එල්ලවෙනවා. ආණ්ඩුව පවසන්නේ යහපාලන ආණ්ඩුව මෙන් තමන් දේශපාලන පලිගැනීම් කරන්නේ නෑය නීතියේ පාලනයට ඉඩදී තිබෙනවා කියලයි. කතාව වැරැදිද?

පිළිතුර- රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ හැසිරීම ගත්තොත් නීතියේ ආධිපත්‍ය ගරු කරන ජනතාව සම්පූර්ණයෙන් එය හෙලාදැකිය යුතුයි. ඔහුට පොලිසියෙන් එන්න කිව්වා නම් ඔහුට වරෙන්තුවක් තිබෙනවා නම් ඔහුට කරන්න තිබුණේ ඉස්පිරිතාලවල ඇඳන් උඩ කට්ටි පනින එක නෙවෙයි. ඔහුට ඉදිරිපත් වෙන්න තිබුණා. කට්ටිපැනීම කියන්නේ හොඳ දේශපාලන සංස්කෘතික ලක්ෂණයක් නෙවෙයි. ඔය වැනි දේවල් 2015 දී පරාජයට පත් වූ බලවේගයේත් දකින්න තිබුණා. ඒ සම්ප්‍රදායම ඒ ක්‍රමයම තමයි රාජිතගේ හැසිරීමෙන් පේන්නේ. ඒක ජඩ දේශපාලන ලක්ෂණයක්. චම්පික රණවක මන්ත්‍රීතුමාගේ සිද්ධිය ගත්තාම මහ රෑ ඇවිත් දඩිබිඩියේ කුදලන් යන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක හරියට සරත් ෆොන්සේකා මහත්තයා කුදලගෙන ගියා වගේ. එතුමට කිව්ව නම් පහුවදා උදේ පොලිසියට එන්න කියලා එතුමා එනවා. ඒ ගැන අපට කිසි සැකයක් නෑ. එතැනදි කටයුතු කළ ආකාරය හෙලාදකිනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුවත් බැසිල් රාජපක්ෂ මහත්තයාව කුදලාගෙන ගියේ ඒ විදියටම තමයි.. මේ සිද්ධිවල කරුණු ඔප්පු කරන්න හැකියාවක් තිබෙන්න පුළුවන්. නමුත් මේ සිදුවීම්වල දේශපාලන පලිගැනීමේ ස්වරූපය අන්තර්ගතයි. ඕවා දේශපාලන වැඩ.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවලට ගොස් ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමට පටන්ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ ජනතාව ඒ ගැන සාධනීය ලෙස කතා කරනවා. ඇත්තටම වැඩේ හොඳ නැද්ද?

පිළිතුර- අර හාල් ප්‍රශ්නයට කළ මැදිහත්වීම නම් තේරුමක් නැති එකක්. මොකද වෙළෙඳපොළ හාල් මිල ගණන් එතුමාට ගෙන්වාගෙන බලන්න පුළුවන්. කඩපිල් ගානේ යන්න ඕන නෑ. ඒකට රාජ්‍යතාන්ත්‍රික පරිපාලනමය වැඩ තිබෙනවා. ඒත් මෝටර් රථ ප්‍රවාහනය ඇතුළු තවත් ආයතනවලට ගිය එක හොඳයි. ඒ වගේම ඒ කියපු විදියට ක්‍රියාත්මක වෙන්නත් ඕනෑ. ජනාධිපතිවරයෙක් කාර්යාලයට වෙලාම වැඩ කරන්න ඕන කියලා එකක් නෑ. අපි දැනට ඒක හොඳයි කියන තැනින් නවත්තමු.

ප්‍රශ්නය - ජනවාරි 3 වැනිදා රැස්වන පාර්ලිමේන්තුව නැවත වාරාවසාන කිරීමේ ඉඩක් ඇති බව කියවෙද්දී ඊට ඉඩ දෙන්නේ නැතැයි එ.ජා.පය පවසනවා. පාර්ලිමේන්තුව ගැන ජවිපෙ ස්ථාවරය මොකද්ද?

පිළිතුර - පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔය වාරාවසාන වැඩේ සුදුසු නෑ. එක්සත් ජාතික පක්ෂයට පරාද කරගන්න පුළුවන් නම් ඒක අපට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අපි ජනාධිපතිවරයාට කියන්නේ එහෙම දෙයක් වෙනවා නම් ඒක සුදුසු නෑ. හොඳ නැති දේ නොකර පාර්ලිමේන්තුව විදියට ඉදිරියට යන එක තමයි හොඳ. ඇත්තටම වැඩකට නැති අතිබහුතරයක් ඕකෙ ඇතුලෙ ඉන්නවා. ඒත් ජනතාවගෙ ජීවන බර ආදී ප්‍රශ්න ගොඩක් කතාකරන්නත් තියෙනවා. මොකද උත්සව සමයක් ඉස්සරහට එනවා. සාමාන්‍ය ජනතාව විශාල ලෙස පීඩාවකට පත්වෙලා ඉන්නේ.

ප්‍රශ්නය -පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂ එකඟ නම් 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට සූදානම් යැයි ඔබ පවසා තිබුණා. පවතින දේශපාලන පරිසරයෙහි එවැන්නකට ඉඩක් තිබෙනවාද?

පිළිතුර - අනෙක් අය එකඟ නොවී 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බෑ. 20 කියන්නේ නිකන් යෝජනාවක් නෙවෙයි. වැදගත් යෝජනාවක්. ඒක සම්මත වුණොත් ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත වෙනවා. දැන් තියෙන්නේ අර්ධ පාර්ලිමේන්තු අර්ධ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක්. මේකට තියෙන්නේ නොනගත හැඩයක්. ඒ නිසා මේකෙ බලය එක පැත්තකට මාරුවෙන්න ඕනෑ. ජවිපෙ කියන්නේ ඒක පාර්ලිමේන්තු පැත්තට ශක්තිමත් කරන්න ඕනෑ. මොකද එමගින් විවිධත්වයත් නියෝජනය වෙනවා. තීරණ ගැනීමේදී සාමූහිකත්වයත් රැකෙනවා. ඒත් 19 වැනි සංශෝධනයත් අහෝසි කරනවාය කියන ජනාධිපතිවරයෙක් අග්‍රාමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවක් එක්ක එකඟතාවයකින් එවැනි තැනකට එන්න පුළුවන් වේවි කියලා හිතන්න අමාරුයි. ඒත් මේ අවශ්‍යතාවය තිබෙන බලවේග හොඳ ජනමතයක් හදන්න සමත් වෙනවා නම් පවතින තත්ත්වය වෙනස්කරන්න පුළුවන්.

ප්‍රශ්නය - සහෝදරයන් දෙදෙනකු නිසා ආණ්ඩුකරණයට බාධාවක් නැතැයි ජවිපෙ කිව්වත් ජනාධිපතිවරයා පවසන්නේ 19 සමග වැඩ කරන්න බැහැ කියලයි. 19 අහෝසි කරනවාමයි කියලා ඔහු කියනවනෙ. ජවිපෙ 19 අහෝසි කරනවට කැමැතිද?

පිළිතුර - තමන්ට හම්බුවෙච්ච ජනවරම ඕනෑම එකකට ගලප්පන්න පුළුවන්කමක් නෑ. 19 වැනි සංශෝධනය අහෝසි කරනවා නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් තමයි කරන්න වෙන්නේ. අපි කියන්නේ ඒක අහෝසි කරන්න අවශ්‍යතාවයක් නෑ. අග්‍රාමාත්‍යවරයාට තමයි 19න් යම් බලතල ප්‍රමාණයක් ලැබිලා තිබෙන්නේ. ජනාධිපතිවරයකු තනි මතයට වැඩ කරන ඒකාධිපති බලතල අවශ්‍ය නම් තමයි 19 අහෝසි කරන්න වෙන්නේ. අපි කියන්නේ 19 හොඳයි. අසම්පූර්ණයි. එය සම්පූර්ණ වෙන්නේ අප යෝජනා කළ 20 සම්මත කිරීමෙන්. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන එක 1978 පටන් දේශපාලන පක්ෂ ඇති පදම් කතා කරලා තිබෙනවා. මේක තවත් ඇද ඇද ඉන්න දෙයක් නෙවෙයි. අවසන් කළ යුතු දෙයක්. දැන් මේ තුනෙන් දෙක ඉල්ලන්නේ රට ප්‍රජාතන්ත්‍රීකරණයට නෙවෙයි. ආණ්ඩුවෙ දුෂ්ට වුවමනා ඉෂ්ට කරගන්න. ඒ නිසා තුනෙන් දෙකක් දෙන්න හොඳම නෑ. ඒ නිසා 19 අහෝසි කරන්න ඉඩ දෙන බලය සහිත පාර්ලිමේන්තුවක් හදන්න ඕනෑ නෑ යැයි අපි ජනතාවට කියනවා.  

ප්‍රශ්නය - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සන් කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව ඇමැතිවරුන් කියද්දී එය අධ්‍යයනයට ජනාධිපතිවරයා කමිටුවක් පත්කළා. එම්.සී.සී. ගැන ආණ්ඩුවේ ප්‍රවේශය කොහොමද?

පිළිතුර - වෙනම කමිටුවක් පත්කිරීමෙන්ම මේගොල්ලො කෑ ගැහුවෙ දේශපාලන වුවමනාවට කියන එක පේනවා. ඒක එක නිගමනයක්. දෙවැනි නිගමනය වෙන්නේ මේක අස්සන් කිරීමට කල් මැරීම සඳහා තාවකාලිකව අනුගමනය කළ උපක්‍රමයක් බවයි. ඒ කියන්නෙ එකඟතාවයකට යන්න වුවමනාවක් තිබෙනවා. ඒත් කලින් හදපු මතයක් තිබෙන නිසා හිරවෙලා ඉන්නේ. මේ හිරවෙච්ච ඒවා බුරුල් කරගෙන ජනතාවගේ ඇස් වහලා අස්සන් කරන්න තිබෙන නැඹුරුවක් තමයි පෙන්නුම් කරන්නේ. අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේක පරාජය කරන්න ඕනෑ. ආණ්ඩුවෙත් මේකට විරුද්ධ කණ්ඩායම් ඉන්නවා නම් ඕනෑම කෙනෙකු සමග මේක පරාජය කිරීමට අවශ්‍ය ඕනෑම මැදිහත්වීමක් කරන්න අපි ලෑස්තියි.

ප්‍රශ්නය - බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තා විවෘත කර බැලීමට අගමැතිවරයාට බලය ඇතැයි කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කිව්වත් ආණ්ඩුව පැත්තෙන් ලොකු උනන්දුවක් පේන්න නැහැ නේද?

පිළිතුර - රනිල් වික්‍රමසිංහ මැතිතුමා පීඩාවට පත්වෙන ඔහු හිරවෙන ක්‍රියාකාරිත්වයකට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව යාවි කියලා හිතන්න බෑ. එනිසා රනිල්ව බේරාගැනීමේ ඉඩ තබාගනිමින් තමයි ඔය ඕනෑම එකක් වෙන්නේ. මොකද බැඳුම්කර කතාව රනිල් වික්‍රමසිංහ මහත්තයට විතරක් හේත්තුවෙච්ච එකක් නෙවෙයි. රනිල්ගෙ ආණ්ඩුවට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයලගෙ ආණ්ඩුවෙ බලධාරින්ටත් බැඳුම්කර කතාවේ අදාළකමක් තිබෙනවා. ඒ නිසා ඔය බැඳුම්කර හොරු හරියට අල්ලනවා නම් දෙපාර්ශ්වයේම කට්ටිය ඒකට කොටු වෙනවා. ඒ නිසා මේක යටපත් කරමින් සමාජයට අමතක කරමින් යන්න හදන භාවිතාවක් තමයි අපට ආණ්ඩුවෙන් පෙන්නුම් කරන්නේ. ජනතාව හිතනවා නම් මෙවැනි ප්‍රශ්නවලදි ජනතාවගෙ පැත්තට සාධාරණයක් වෙයි කියලා ඒක වෙන්නේ නෑ. මොකද ඒගොල්ලො මේගොල්ලො දෙපැත්තට ෂොට් එක දෙන්න ගියොත් දෙපැත්තටම හානි වෙනවා. ඉතිහාසයේ කවදාකවත් දෙපැත්තට හානි වෙන වැඩ මේ අය කරලා නෑ. ඔය පොඩි එකෙක් මොකෙක් හරි අල්ලගෙන වැඩක් දුන්නොත් මිසක් ලොකු ලොකු දේවල් වෙයි කියලා අපි හිතන්නේ නෑ.

ප්‍රශ්නය - 2015 ආණ්ඩු වෙනසින් පසුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ස්වදේශ කටයුතු ඇමැතිවරයා පවසන්නේ මෙවර නිදහස් උළෙලේ පටන් එය සිංහල භාෂාවට සීමා වන බවයි. මේ ප්‍රතිපත්තිමය තීන්දුවල වෙනස ජනසමාජයට කෙසේ බලපානු ඇතිද?

පිළිතුර -  ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කිරීමේ මූලික අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අපට බලය ලබාගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මොකද එවැනි බලයක් යටතේ මේ රට ගොඩනගන්න පුළුවන් කියන වැඩපිළිවෙළක් හා විශ්වාසයක් අපට තිබෙන නිසා. අනෙක් පැත්තෙන් මේ සමාජයේ යම් යම් සාධනීය ප්‍රතිසංස්කරණවලටත් අපේ මැදිහත්වීමක් තිබෙනවා. සමහරු ඉන්නවා ප්‍රතිසංස්කරණ විතරයි බලන්නේ. දේශපාලන බලය වැඩක් නෑ. අපි ඔය දෙකම එක්ක ඉන්නේ. ජනතාවගේ සතුරන්ට වැරැදි කිරීමට ඉඩහරින්න යැයි කියමනක් තිබෙනවා. එතකොට මේ ආණ්ඩුව ජනතාවගේ මිතුරෙක් කියලා අපි දකින්නේ නෑ. කලින් තිබුණු එක මිතුරෙක් කියල දකින්නෙත් නෑ. ඒ අයට යමක් කිරීමට එක්තරා දුරකට ඉඩහැරිය යුතුයි. ඉතින් එසේ කරපුදෙන්. ජනතාවට තීරණ ගන්න අවස්ථාව දෙන්න ඕනෑ. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මේ ළඟදි මට මුණගැසුණා. බකට් පත්තුකරන්න ඕනෑ වෙසක් කාලයට කියලා උන්වහන්සේ මට කිව්වා. අපිත් ඒක පිළිගන්නවා. මොකද වෙන කාලෙක බකට් පත්තු කළොත් මිනිස්සු හිතන්නෙත් මුන්ට පිස්සු කියලයි. ඒ නිසා ජනතාවට යමක් තේරුම්ගැනීමකට ඉඩහරිමින් තමයි අපි දේශපාලන ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. අපට සමහර ඈත දේවල් පෙනිලා මැදිහත්වීම් කළාට ජනතාව එතැනට ඇවිල්ලා නැත්නම් අපි කරන සමහර වැඩ වෙසක් නැතිව බකට් පත්තු කරනවා වගේ ජනතාවට දැනෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවටත් මේවා රසවිඳින්න ඉඩදෙන්න ඕනෑ. අපි ඒ වෙලාව පොඩ්ඩක් දීලා බලමු.

ප්‍රශ්නය - ගමේ ඡන්දය හරහා රටේ ඡන්දය සසඳන්න බෑ යැයි ඇල්පිටිය ඡන්දයෙන් පසුව ජ.වි.පෙ කිව්වත් ජනාධිපතිවරණයේදී ලැබුණේ අපේක්ෂිත ප්‍රතිඵලය නෙවෙයි. මාර්තුවෙන් පසුව මහ මැතිවරණය අනිවාර්ය පසුබිමක බකට් පත්තු නොකර ගිහින් තිබෙන මන්ත්‍රී ආසන ගණනත් රුකගන්න පුළුවන් වේවි කියලා ජ.වි.පෙ හිතනවද?

පිළිතුර - එහෙම නෑ. දැන් අපි පාරේ පෙළපාළියක් යනකොට පාරේ වාහනවල යන කට්ටිය හැසිරෙන විදියෙන් ඒ අයට මේ පෙළපාළිය අදාළ නෑ කියන එක අපට පේනවා. එතකොට ජනතාවට යම් පමණකට අදාළ වෙන තත්ත්වයක් අවශ්‍යයයි. එහෙම නැත්තන් ජනතාව බලන්නේ මුන්ට පිස්සු කියලයි. අපි ඒ වැඩේ කරගන්න සූදානම් නෑ. ඊළඟට ජනාධිපතිවරණයේදි අපේක්ෂිත ප්‍රතිඵලය නෙවෙයි කියලා කිව්වට ගෝඨාභය මහත්තයා දිනනවාය කියන එක ගැන කිසිම විවාදයක් තිබ්බේ නෑ. ඒක තමයි ඇත්ත. ඒ වගේම මාර්තු පළමුවැනිදායින් පස්සේ ඕනෑම මොහොතක මේ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මේ ආණ්ඩුවටත් කුණුවෙන්න කලින් පාර්ලිමේන්තු බලය අත්පත් කරගැනීමේ වුවමනාවක් තිබෙනවා. මේ ආණ්ඩුවේ සංයුතිය ප්‍රතිපත්තිය දිහා බැලුවාම මේ කුණුවීම අනිවාර්ය යථාර්ථයක්. ඒ නිසා හැකි පළමු වැනි මොහොතෙම පාර්ලිමේන්තු ඡන්දෙට යන්න ඒගොල්ලන්ට අවශ්‍යයයි. අප්‍රේල් 25 විතර වෙනකොට යයි කියලා අපි හිතනවා. මොකද එතකොට අප්‍රේල් 21 සිද්ධියත් නැවත තොරම්බල් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම 21 සිද්ධිය නැවත ඇදලා ජාතිවාදය ආගම්වාදය නැවත මතුකරලා ජාතික ආරක්ෂාව ගැන කතා කියලා 25 වැනිදා විතර වෙද්දි පාර්ලිමේන්තු ඡන්දය තබනවා නම් ජනතාව නොමග යවන්න ලොකු ඉඩක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිගන්නවා නම් එතැනදි විපක්ෂයක කාර්යභාරය තීරණාත්මකයි. ඉතාමත් ශක්තිමක් පරිණත පාර්ලිමේන්තු ක්‍රියාවලියට දායකවීමට සමත් විපක්ෂයකුත් අවශ්‍යයි. ඊළඟ මැතිවරණෙදි මහින්ද රාජපක්ෂ මහත්තයලා ආණ්ඩුව හදනවා. එ.ජා.පය විපක්ෂයට වැටෙනවා. ඒ ගැන කිසි සැකයක් නෑ. හැබැයි එ.ජා.පය කවදාවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ කාර්යභාරය කරලා නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ නායකත්වය යටතේවත් ඊට කලින්වත් ඒක හරියට වෙලා නෑ. ඇල්මැරිච්ච, ඇණකොටාගන්න, පක්ෂ මාරු කරන විපක්ෂයක් තමයි එ.ජා.පය ජනතාවට පෙන්නලා තිබෙන්නේ. ඇත්තටම රාජපක්ෂ මහත්තයලට තුනෙන් දෙක හදලාදෙන්නේ ජනතාව නෙවෙයි. පාර්ලිමේන්තුවේ විපක්ෂෙ අය අනෙක් පැත්තට පැනලයි. ජනතාව ඒක තේරුම්ගන්න ඕනෑ.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ