IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


අයුක්තියට හිස නොනැමූ මාධ්‍යවේදියා

“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම නැති තරම්ය. ඍජු හෝ අනියම් ලෙස අයථා ලාභ ලැබීම, සුලභ ලක්ෂණයක්ව පවතී.

ජනමාධ්‍ය හිමිකරුවෝ අන්තර්ගතයට ඇඟිලි ගසනවා පමණක් නොව, අන්තර්ගතය අවසාන වශයෙන් තීන්දු කරන්නන් ලෙසද ක්‍රියා කරති. සංලේඛ්‍ය නිදහස ගැන ජනමාධ්‍යවේදීන්ට බලවත් හැඟීමක් ඇත්තේම නැති තරම් ය.”

 

(අයාලේ යන ජනමාධ්‍ය - 1 වැනි පරිච්ඡේදය: පිටු 10 / වික්ටර් අයිවන්)

“රාවය” පුවත්පත වික්ටර් අයිවන්ගේ පුරෝගාමී කර්තෘත්වය සමග, ඔහු ඉහතින් සඳහන් කළ සියලු අර්ථ දැක්වීම්වලට හසු නොවුණු මාධ්‍ය භාවිතයක් තිබූ පුවත්පතක් විය. වසර 30 ක් ඇතුළත මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි “රාවය” පුවත්පත තැබූ වෙනස්වූ මුද්‍රාව ගැන කියන්නට වන්නේ වික්ටර් අයිවන් නොමැතිව “රාවය” පත්තරයක් නැත. “රාවය” පත්තරය නැතිව, වික්ටර් අයිවන් කෙනකු නැත යැයි කියාය. එනිසා 2015 ජුනි මාසයේ සිට පූර්ණකාලීන මාධ්‍යවේදයෙන් ඉවත්ව, රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වශයෙන් වසරක් දෙකක් කටයුතු කරන්නට වික්ටර් තීන්දු කළ විට, ඔහුට එලෙස නිකම්ම රාවය පුවත්පතේ කර්තෘ ධුරයෙන් ඉවත්ව යාමට ඉඩදීම, “රාවය” හා ඉතා ළෙන්ගතු බැඳීමක් තිබූ මා වැනි කිහිප දෙනකුට හැඟීම් බර ප්‍රශ්නයක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාවය පුවත්පත හා දිගුකාලීන සම්බන්ධයක් තිබූ සුසිල් සිරිවර්ධන, විජයානන්ද ජයවීර, ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, සුනේත්‍රා රාජකරුණානායක වැනි විද්වතුන්, වෘත්තිකයන් හා ලේඛකයන් දොළොස් දෙනකු විසින් “රාවය හා වික්ටර්” සම්බන්ධ ඔවුන්ගේ කියැවීම ඇතුළත් ලිපි එකතුවක් මසක පමණ ඉතාම කෙටි කලෙකින් 2015 ජූලි මාසයේ මගේ සංස්කරණයෙන් “වික්ටර් අයිවන් - අභියෝගාත්මක මුද්‍රාව” මැයෙන් ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රධානත්වයෙන් කොළඹදී එළිදක්වනු ලැබිණ.

වික්ටර් අයිවන්ගේ මාධ්‍ය භාවිතය ගැන මගේ පෞද්ගලික දැක්ම ලෙස එකී ලිපි එකතුවෙහි වන මගේ සටහනෙහි තැබූ එක් කියවීමක් වූයේ, ඔහු රාවය පුවත්පත සඳහා සකස් කර ගනු ලැබූ ආයතනික ව්‍යුහය, ලාභය වෙනුවෙන් යොමු කෙරුණක් නොවුණු අතර, කර්තෘ මණ්ඩලයේ නිදහසට හරස් වූවක්ද නොවූ, ලංකාවේ ප්‍රථම වරට සේවකයන්ටද අයිතියක් දෙනු ලැබූ මාධ්‍ය ආයතනයක් වූ බවය. රාවය ප්‍රතිපත්තිමය වශයෙන් ජාතිවාදයට එරෙහි, මානව හිමිකම් වෙනුවෙන් සහ යුක්තිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින පුවත්පතක් ලෙස තීන්දු කෙරුණකි. එහි සංලේඛ්‍ය ප්‍රතිපත්තිය වූයේ ඒ පදනමය. එහෙයින් එහි හිමිකාරිත්වයෙහි වූ සේවක නියෝජනය එය වාණිජමය ඉලක්ක වෙනුවෙන් සකස් නොකෙරුණු පුවත්පතක් වන්නට ප්‍රධාන සාධකයක් වූවකි.

අනෙක් අතට “රාවය” පුවත්පතේ සාර්ථකත්වය ඔවුන්ගේ පැවැත්ම තීන්දු කළ හෙයින් එය වැදගත් අලෙවියක් ඇති පුවත්පතක් වශයෙන් පවත්වා ගැනීමේ වගකීමද ඔවුන්ට තිබිණ. එහෙත් එහි වෙළඳ දැන්වීම් පළ වූයේ අතළොස්සකි. රාවය බාරගත් වෙළඳ දැන්වීම්ද පුවත්පතේ දේශපාලනය හා ගැළපිය හැකි දැන්වීම් විය. වික්ටර්ගේ මේ අත්හදා බැලීමෙහි අඩු පාඩු නොවුණා නොවේ. ඔහු එකවර පාලකයාද, සේවකයාද, කළමනාකරුද, මාධ්‍යවේදියාද වන්නට වූයෙන් එහි වික්ටර්ගේ ආධිපත්‍ය “සංලේඛ්‍ය නිදහස” අබිබවා නොගියාද නොවේ. එහෙත් ඔහුගේ “සංලේඛ්‍ය ආධිපත්‍ය” සම්මතයට එරෙහි, සම්මතය ප්‍රශ්න කරන්නක් වූයෙන් “රාවය” මුද්‍රාව, විකල්ප මුද්‍රාවක් නොවුණත් විරෝධාකල්පික හිතුවක්කාර මාධ්‍ය භාවිතයකට ඉඩ තැබූවක් විය.

වික්ටර්ගේ දැඩි මතධාරී මාධ්‍ය භාවිතය ඉතා විවෘතව ප්‍රදර්ශනය වූ එක් කාරණාවක් වූයේ, ඔහු නීතිපති සරත් එන් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අගවිනිසුරු ලෙස පත් කිරීමට එරෙහිවීමය. එතැනින්ද නතර නොවුණු වික්ටර්, අගවිනිසුරු සරත් එන් ද සිල්වාගේ වෘත්තීය පැවැත්ම දැඩි විවේචනයට ලක් කරන්නට වූයේ අධිකරණයට අපහාස කිරීම යන කාරණාවද නොතකමින්ය. ඔහුගේ තර්කය වූයේ, අධිකරණය රටේ දේශපාලනයෙන් ස්වාධීන විය යුතු වාගේම, එය පිරිසුදු වන්නටද අවශ්‍ය බවය. ඔහුගේ දැඩි ස්ථාවරය හේතුවෙන් ඔහුට එරෙහිව නඩු ගණනාවක් පැවරුණද, ඒ කිසිවකින් වික්ටර් අයිවන් මෙල්ල කළ නොහැකි විය. මා දන්නා තරමින්, මාධ්‍යවේදියකු ලෙස තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලිකර ඒ සඳහා වාසිදායි තීන්දුවක් ලැබූ අපේ රටේ එකම මාධ්‍යවේදියා ද වික්ටර් අයිවන්ය.

මාධ්‍යයට පය ගසන්නට පෙර ඔහුගේ යෞවනයෙහි ඔහු “පොඩි අතුල” ලෙස තෝරා ගත් සන්නද්ධ කැරලිකාර දේශපාලනය අසාර්ථක බැව් පසක් වූ පසු, ඔහු ‘71 කැරැල්ලෙහි රෝහණ විජේවීරගේ නායකත්වයෙන් වෙන්වීය. එය හුදෙක් පෞද්ගලික හා සංවිධානාත්මක වෙන්වීමක් පමණක් නොවුණු හික්මුණු දේශපාලන තීරණයක් බැව් ප්‍රදර්ශනය කරන්නට වූයේ 1986 දී “රාවය” මාසික සඟරාව ඔස්සේ මාධ්‍යයට රැගෙන ආ ඔහුගේ එම විරෝධාකල්පික හිතුවක්කාර භාවිතයෙනි. එහෙත් “රාවය” මාසික සඟරාව මගින් ඔහුගේ අපේක්ෂාවලට ගැළපෙන ආකාරයේ විරෝධාකල්පිත හිතුවක්කාර සමාජ කතිකාවක් මුදා හැරිය නොහැකි වූයෙන්, රාවය සඟරාව සතිපතා “ටැබ්ලොයිඩ්” පුවත්පතක් බවට පරිවර්තනය කෙරුණි. පසුව එය දැන් සැමට මතක තිබෙන්නාවූ “ෆුල් ඩිමයි” පුවත්පතක් බවට පත් කෙරිණ. එහි විශේෂය වූයේ, සියල්ල සමනල වර්ණයෙන් තොරම්බල් කෙරෙන සමාජයක් බවට පරිවර්තනය වන අතර, “රාවය” පුවත්පත කළු-සුදු මුද්‍රණයෙන් පාඨකයා වෙත ගෙන යාමට වික්ටර් ගත් තීරණය වන්නේය. එයද වික්ටර් සතුවූ විරෝධාකල්පික හිතුවක්කාර ප්‍රකාශනයෙහි ලක්ෂණයක් විය.

ජාතිවාදයට එරෙහි ඔහුගේ මාධ්‍ය භාවිතය ඒ වනවිට සුළු වාර්ගික පිරිස් අතර පැසසුමට ලක් වූවක් විය. ඒ සඳහා වන වැදගත්ම සාක්ෂිය වන්නේ 2002 වික්‍රමසිංහ ආණ්ඩුව එල්.ටී.ටී.ඊය සමග ආරම්භ කළ සාම සාකච්ඡා ආවරණය සඳහා ලොව දැවැන්තම මාධ්‍ය ආයතනවල ප්‍රසිද්ධ ප්‍රවීණ මාධ්‍යවේදීන් දුසිම් ගණන් පැමිණ සිටියදී ඔවුන් කිසිවකුට නොලැබුණු අවස්ථාවක් ඔස්ලෝ නුවර සාකච්ඡා අතර වාරයේ වික්ටර්ටත් මටත් ලැබීමය. එම සාකච්ඡා ඉතා දැඩි ආරක්ෂක පියවර සමග සංවිධානය කර තිබූයේ නිල වශයෙන් නෝර්වේජියානු ආණ්ඩුවේ මැදිහත්වීමෙනි. එබැවින් එල්.ටී.ටී.ඊ නියෝජිතයන් කිහිප දෙනා අතරින් ප්‍රධානියා වූ ආචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ කණ්ඩායම හමුවන්නට කිසිවකුට අවසර නොලැබුණි. සාකච්ඡා ආරම්භයේදී සහ අවසානයේදී නෝර්වේජියානු ඇමති එරික් සොල්හයිම් මෙහෙයවූ සහ පාලනය කළ මාධ්‍ය හමුවේදී පමණක් ඔවුන් දැක ගත හැකි විය. කිහිප දෙනකුට එහිදී ප්‍රශ්නයක් දෙකක් ඇසිය හැකි විය.

එවැනි මාධ්‍ය හමුවකදී වික්ටර් විසින් බාලසිංහම් වෙත යොමු කෙරුණු කුඩා තුණ්ඩු කැබැල්ලකින් ඔහු හමුවන්නට හැකිදැයි අසා යැවූ පසු, අප කිසිදු බලාපොරොත්තුවක් නොතැබූ බාලසිංහම් සමග හමුවක් එදිනම සවස් වරුවේ ඔහුගේ හෝටලයේදී අප දෙදෙනට ලැබිණ. ඒ හමුව ඓතිහාසික හමුවීමක් විය. බාලසිංහම් ඔහුගේ කොළඹ ජීවිතයේ තිබූ සුන්දර මතක, ඔහු හා නාට්‍යවේදී සුගතපාල ද සිල්වාගේ අතිජාත මිත්‍රත්වය ගැන විස්තර බාලසිංහම් අප සමග කීවේ, නැවත එවැනි සාමකාමී සුන්දර අනාගතයක් වෙනුවෙන් ඔවුන් ආණ්ඩුව සමග එකඟත්වයකට පැමිණීමට තීන්දුකර ඇතැයිද කියමින්ය. එදින ඔහුගේ හමුවීමෙන් පසු අප පිටත්වන විට බාලසිංහම් අපෙන් එක ඉල්ලීමක් කළේය. ඒ සුගතපාල ද සිල්වාගේ අභාවය ගැන ඔහුගේ බලවත් සෝකය, සුගත්ගේ බිරිඳට දන්වන මෙන් කළ ඉල්ලීමය.

එවැනි වූ වික්ටර්, 2006 න් පසු ජනාධිපති රාජපක්ෂ සමයේ යුද්ධය වෙනුවෙන් පෙනී සිටියේ, එල්.ටී.ටී.ඊය ඉවත් කිරීමෙන් මිස සාකච්ඡා මගින් දෙමළ දේශපාලන ගැටලුවට විසඳුම් ලබා දිය නොහැක යන ස්ථාවරය සමගින්ය. එහෙත් ඔහු කිසි විටෙක, ඔහුගේ ස්ථාවරයට එරෙහි අදහස් ප්‍රකාශ කිරීම රාවය පුවත්පතෙහි නතර නොකළේය. ඔහු එය සංවාදයක් ලෙස ගෙන යාමේ නිදහසට ඉඩ තැබුවේය. නව ලිබරල් දේශපාලනය හා විවෘත වෙෙළඳපොළ ආර්ථිකය සම්බන්ධයෙන්ද එවැනිම දිගු සංවාදයක් ඔහු රාවය පුවත්පතෙන් වරක් ආරම්භ කළේය. ඔහු විරුද්ධ මත වසා දමන කර්තෘවරයකු නොවන බැව්, එසේ භාවිතයෙන්ම ඔප්පු කෙරුවෙකි.

වික්ටර්ගේ මා දකින වඩාත්ම වැදගත් හා ප්‍රධාන ලක්ෂණය වන්නේ, ඔහු වගා කරගත් සමාජ සම්බන්ධතා ජාලය වන්නේය. මා දන්නා කිසිදු පුවත්පත් කර්තෘවරයකු නඩත්තු නොකර ගත් ආකාරයේ සමාජ සම්බන්ධතා ජාලයක් ඔහු ගොඩනගාගෙන තිබිණ. එහි පූජකයන්, දේශපාලනඥයන්, රජයේ නිලධාරීන්, වෘත්තිකයන්, විද්වතුන්, වෘත්තීය සමිති නායකයන්, ව්‍යාපාරිකයන්, ප්‍රාදේශීය සමාජ ක්‍රියාකාරීන් වැනි විවිධ චරිත විය.

ඒ වගේම, වික්ටර් මෙන් විවිධ විෂයන් ගැන ඉතා හරවත් කරුණු සාකච්ඡා කළ කෘති ලියූ අපේ රටේ වෙනත් පුවත්පත් කර්තෘවරයකු ගැන මම අසා නැත්තෙමි.

 ඔහුගේ අත්දැකීම් සමග ඔහු ‘71 කැරැල්ලේ සිට, දෙමළ අභියෝගය, 88-90 ජ.වි.පෙ ත්‍රස්තවාදයේ ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය, ප්‍රභාකරන් පරාජය කිරීම, දේශපාලනයේ කුල බෙදීම සහ ජීවිතයේ ප්‍රබෝධය හා මරණයේ අසිරිය සම්බන්ධ මාතෘකා අළලා කෘති  22 ට වඩා ඔහු ලියා ඇත. ඒ අතර විශේෂය වන්නේ චෙස් ක්‍රීඩාව සම්බන්ධව සිංහලෙන් ඉතා අගනා හැඳින්වීමක් සහිතව යෞවනයන් සඳහා ඔහු ලියූ කෘතියයි.

අවසන් වශයෙන් කිවයුත්තේ වික්ටර් අපෙන් සමු ගන්නේ දැවැන්ත අභියෝගවලට මුහුණ දෙමින් තම ජීවිතයේ අභිමතාර්ථ ජයගත්තකු වශයෙනි. වික්ටර්ගේ ඒ ජයග්‍රාහී ජීවිත ගමනට මේ මගේ ගෞරවාන්විත සටහන වන්නේය.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

අයුක්තියට හිස නොනැමූ මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

අදානි සුළං බල ව්‍යාපෘතිය - වුණේ මොකක්ද?
2025 පෙබරවාරි මස 14 572 0

මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 78 0

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
2025 පෙබරවාරි මස 13 226 0

කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


සමාජ චින්තනය ක්ලීන් කරමු
2025 පෙබරවාරි මස 13 70 0

නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස


රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ
2025 පෙබරවාරි මස 12 282 0

විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින


එදා-මෙදා වී-සහල් සටන
2025 පෙබරවාරි මස 12 417 0

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 219 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 133 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 951 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site