ඔහුගේ නිර්මාණ මෙරට ප්‍රේක්ෂකයා අතර නිතරම කතාබහට ලක්වුණි. පවතින සමාජය, දේශපාලනය පිළිබඳ ඔහුගේ නිර්මාණ හරහා කතාබහ කළ නිසාම සමහර අවස්ථාවලදී ඒවා වාරණයට ලක්වුණ ද ඔහු දිගටම නිර්මාණ කාර්යයේ යෙදුණේ ප්‍රේක්ෂකයාට වඩා යහපත් හෙට දිනක් ලබාදීමේ අරමුණ ඇතිවය. 1985 වසරේදී ‘භූමිකා’, 1987 දී ‘හෙණ’ හා 1989 දී ‘මාඝාත’ වේදිකා නාට්‍ය නිර්මාණ කරමින් මෙරට කරළිය රත්කරන්නට සමත් වූ ඔහු අනතුරුව වේදිකාව අතහැර සිනමාව හා ටෙලිනාට්‍ය මාධ්‍යවල තමන්ගේ ප්‍රකාශනය එළිදැක්වීය.

වසර 31කට පසු ඔහු දැන් යළිත් වේදිකාවට අවතීර්ණවීමට අදහස් කරගෙන තිබේ. ඒ ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍ය ගෙන එමිනි. එහි මංගල දැක්ම මෙම මස 19, 20 හා 21 තෙදින තුළ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රඟදැක්වේ. ඔහු නමින් අශෝක හඳගම ය. නවතම වේදිකා නාට්‍යය පිළිබඳවත් වේදිකාව හා කලා ක්ෂේත්‍රය පිළිබඳවත් මෙවර කතාබහට හඳගම අපි එක්කරගත්තෙමු. මේ එම සංවාදයේ සටහනයි.

• ඔබ වසර 31කට පස්සේ යළි වේදිකාවට එන්න අදහස් කරලා. ඇයි චිත්‍රපට, ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර එපා වෙලාද? එහෙමත් නැතිනම් එහි කරන්න බැරි දේ වේදිකාවේ නැවත කරන්න අදහස් කළාද?
මට වේදිකාවයි, ටෙලිනාට්‍යයි සිනමාවයි කියන්නේ මාධ්‍ය තුනක්. මේ මාධ්‍ය තුනේම ප්‍රකාශනය කිරීමේ අදහසක තමයි මම කොහොමටත් ඉන්නේ. වේදිකාවට එක් නොවුණේ එයට අකමැත්තෙන්වත්, එහි කරන්න දෙයක් නැති හින්දවත් නොවෙයි. අනෙක් මාධ්‍ය දෙක ගත්තාම වේදිකාවට පූර්ණකාලීනව යෙදෙන්න තරම් වෙලාවක් අවකාශයක් නොතිබීම තමයි ප්‍රධාන වශයෙන් බලපෑවේ. වේදිකාව කියන්නේ අධ්‍යක්ෂගේ මැදිහත්වීමෙන් මිදෙන එකක් නොවෙයි. නාට්‍යය තිබෙන තුරු අධ්‍යක්ෂ ඒකත් එක්ක ඉන්න වෙනවා. එය සජීවී මාධ්‍යයක්. මේ සඳහා අවශ්‍ය කරන කාලය නැතිවීම හින්දයි වේදිකාව මඟහැරලා හිටියේ. එහෙම නැතුව වේදිකා නාට්‍යයක් කරන්න ආසාවක් නැති හින්දවත් වේදිකා නාට්‍යය නොකරන්න ආකෘතියක් නැති හින්දවත් නොවෙයි. දැන් ඒකට මට අවකාශය තිබෙන හින්දා යළි වේදිකා නිර්මාණයක් කරන්න සිතුණා. ඒක තමයි ‘ඇන්ටික් කඩයක මරණයක්’ ලෙස මම ගෙන එන්නේ.  

• ඔබ එදා වේදිකාවට එද්දී තිබූ සමාජ වපසරිය, ප්‍රේක්ෂකයා අද වනවිට බොහෝ විට වෙනස් වෙලා තිබෙන්නේ. මේ වෙනස්වීම තුළ ඔබ හිතනවාද එදා මෙන් ප්‍රේක්ෂකයා ඔබට රඟහලට ගෙන එන්න පුළුවන් කියා. අද කරළිය ඔබ දකින්නේ කොයි විදිහටද?
ඔබ කිව්වා වගේ 1989 දී ‘මාඝාත’ නාට්‍යය කරද්දී තිබූ දේශපාලන වාතාවරණය මිනිසුන්ගේ සිතුම් පැතුම් නොවෙයි අද තිබෙන්නේ. ඒ දවස්වල වේදිකා නාට්‍යයක් අපි පටන්ගත්තේ ලුම්බිණියෙන්. එහි තමයි මංගල දර්ශනය තිබ්බේ. දැන් ඒක පවා විනාශ වෙලා. වෙනස් වෙලා. ඒ එක්කම දේශපාලනය ගත්තොත් එහෙම විශාල වශයෙන් දේශපාලන සම්බන්ධකම් ඝට්ඨනයන් ඇතුළු හැම එකක්ම වෙනස්වෙලා. ඒක ඇතුළේ නාට්‍යයක තිබෙන දේශපාලන පසුබිම හරි අලුත් සමාජ පසුබිම හරි ග්‍රහණය කරගන්නකොට එයට අලුත් වේදිකා නාට්‍ය ක්‍රම, රංගන ශිල්ප උපක්‍රම සමහර වෙලාවට ඒ ආකෘතියේ අත්හදා බලන්න වෙනවා. මේ නාට්‍යයත් එහෙම එකක්.
පශ්චාත් නූතන තත්ත්වය ග්‍රහණය කරගන්න ගත්ත උත්සාහයක් තමයි ‘ඇන්ටික් කඩයක මරණයක්’ කියන්නේ. ඒක ඇතුළේ ඒ ගැටලු කතාකරන්න ගත් උත්සාහයත් සන්දර්භය වශයෙන් වෙනස්. මම මෙතෙක් කළ නාට්‍ය ආකෘතියට වඩා ටිකක් වෙනස්. ඒක අභියෝගයක් තමයි. ඒ එක්කම තමයි පසුගිය අවුරුදු 30 ඇතුළත වේදිකා නාට්‍ය කියන එකත් භාවිතාවක් හැටියට ලංකාවේ වෙනස්වෙලා තිබෙනවා. ප්‍රේක්ෂකාගාරය හැකිලිලා වුණත් නූතන නාට්‍ය ශෛලීන් රංග ශෛලීන් කියන එක වේදිකාවට ඇවිත් තිබෙනවා. නැත්තේ නෑ. වේදිකා රංගනය කියන එක ශිල්පයක් විදිහට, විෂයයක් විදිහට හදාරපු කෙනෙක් අද රංගනයේ ඉන්නවා. ඉතිං ඒගොල්ලොත් එක්ක තමයි දැන් වැඩක් කරන්න හදන්නේ. ඒ හින්දා මේක දියුණු තත්ත්වයක තිබෙනවා කියලා තමයි මගේ අදහස.

• මේ නාට්‍යය ඔබ මීට පෙර ‘පරණ බඩු කඩයක මරණයක්’ විදිහට කරන්න හැදුවා නේද? ඒකට මොකද වුණේ?
එදා කරන්න බැරිවුණේ මෙහි ප්‍රධාන භූමිකාව රඟපාන සෞම්‍ය ලියනගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා පිටරට යන්න සිද්ධ වුණා. ඒ සිදුවීමත් නිසා මට ඒක කල්දාන්න සිද්ධ වුණා. ඇවිල්ලත් ආචාර්ය මහාචාර්යවරයෙක් විදිහට විශ්වවිද්‍යාලයේ කටයුතු කරන හින්දා සෑහෙන වගකීමක් ඔහුට තිබූ නිසාත් මැදිහත් වෙන්න බැරිවුණා. මටත් ඒ වනවිට නිදහස ටිකක් ඇහිරිලා තිබුණේ. දැන් අපි දෙන්නටම අවකාශය ලැබී තිබෙනවා නැවත නාට්‍යයට ඇතුළුවීමට.
 
• ඒත් මේ නාට්‍යයේ පිටපත එවකට රැඟුම් පාලක මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප කළා නේද?
ප්‍රතික්ෂේප කළේ නෑ. මම අනුමැතියට දාලා තිබුණා. ඒත් තාක්ෂණික දේවල් තිබුණු නිසා යම් යම් ගැටලු ආවා. මටත් ඒ දවස්වල උනන්දුවක් තිබුණේ නැති හින්දා ඒ ගැන සොයා බලන්න බැරිවුණා. මේ කරන්නේ ඒ පිටපත නොවෙයි. මේ කරන්නේ එයින් සකස් කළ පිටපතක්. මෙවර පිටපත සඳහා වැඩිහිටියන්ට සුදුසු නාට්‍යයක් විදිහට අනුමැතිය රැඟුම් පාලක මණ්ඩලයෙන් දුන්නා. ඒ නිසා දැන් එය වේදිකාවට ගේන්නයි මේ හදන්නේ.

• ඒ දවස්වල ඔබේ ‘අක්ෂරය’ චිත්‍රපටය තහනමට ලක්වුණා. මේ නාට්‍යයේ මැද වීඩියෝ දර්ශන ඇතුළත් වූ බවත් බොහෝ විට එය ‘අක්ෂරය’ චිත්‍රපටයේ දෙවැන්න ලෙස සැලකූ බවත් ඒ දිනවල මාධ්‍ය මගින් හෙළිකළා. ඇත්තටම මේ කතාව මොකක්ද?
මේකේ ඇත්ත නැත්ත නාට්‍ය ඇවිත් නරඹලා හොයාගන්න කියලයි මම කියන්නේ. මෙය දැන්ම අපි කියන එක වැඩක් නෑ. ඒ කාලේ දාපු වීඩියෝ දර්ශන මෙදා නාට්‍යයේ නෑ. එහි චිත්‍රපටයේ දෙබස් එක්ක දාලා තිබුණේ. දැන් මෙදා ඒවා නෑ. විෂුවල් තිබෙනවා. ප්‍රශ්නයක් වෙන විදිහේ විෂුවල් මේ තුළ දැන් නෑ. කොහොමටවත් කුතුහලය තියාගෙන අපි ඉමු.

• ‘ඇන්ටික් කඩයක මරණයක්’ වේදිකා නාට්‍ය හරහා ඔබ මෙරට සමාජයට කියන්න අදහස් කරන්නේ කුමක්ද?
මම කලින් කියපු විදිහටම මේ සමාජයේ තිබෙන ප්‍රශ්න බොහෝමයක් මට දැනෙන්නේ මානසික ප්‍රශ්න විදිහටයි. ‘මාඝාත’ නාට්‍යයේ ඍජුව ගැටෙනවා දේශපාලනය කියන එක මිනිස්සු එක්කයි නාට්‍යකරුවෝ එක්කයි හැමෝම එක්කයි. ඒත් දැන් ගැටෙන්නේ සූක්ෂමතා. මොකද සූක්ෂම විදිහට තමයි දේශපාලනය කියන එක මිනිසුන්ගේ ඇඟේ වදින්නේ. එය අපට කියවාගන්න වෙන්නේ කිසියම් මානසික විද්‍යාවකටයි. මගේ උත්සාහය මේ ගැඹුරට යන්නයි.
 
• කොරෝනා වසංගතයත් එක්ක අද වනවිට සමස්ත කලාවම බිඳ වැටී තිබෙන්නේ. මිනිසුන්ගේ මතය වෙනස් වෙලා. කලාකරුවකු ලෙස අද පවතින මේ සමාජ තත්ත්වය ඔබ දකින්නේ කොයි ආකාරයටද?
ඇත්තටම මේ නාට්‍ය මේ මොහොතේ කරන්නෙත් ඒ හින්දම තමයි. අපි දන්නවා කොරෝනා විසින් මිනිස්සු ගෙවල්වලට ගාල් කළා. සාමූහික වින්දනය කියන එක මිනිසුන්ට අහිමි කළා. ඒ වෙනුවට තනි විදිහට ගෘහස්තව හුදකලාවේ සිටිමින් රසවිඳින්න තමයි මිනිස්සු තල්ලු කළේ. ඒක නරකයි කියනවා නොවෙයි. හැබැයි සාමූහික වින්දනය කියන එක වෙනස්. ඒක අතහරින්න හොඳ දෙයක් නොවෙයි. එයත් සමඟ සමාජයේ වෙන දෙයක් තිබෙනවා. මා හිතන්නේ ඒ පුරුද්ද, හුරුව ටිකෙන් ටික ගිලිහෙමින් තිබෙන වකවානුවක නැවතත් සාමූහික වින්දනය සඳහා මිනිසුන් කැඳවීමේ උත්සාහයක් තමයි මගේ නාට්‍ය ඇතුළෙත් තිබෙන්නේ. මා හිතන්නේ මිනිසුන් එය වටහා ගන්න ඕනේ. තනියෙන් චිත්‍රපටයක් නාට්‍යයක් බලනවා වගේ නොවෙයි පිරිසක් එක්ක බලනකොට. ඒ පිරිසගේ ප්‍රතිචාරත් එක්කයි බලන්නේ. ඉතිං එයින් දැනෙන දේ වෙනස්. අපි කිසියම් කෘතියක සාමූහිකව අන්තර් ක්‍රියා කරනවා එය නරඹමින්. එය ලොකු අත්දැකීමක්. එය විඳින්න රංගන ශාලාවකට හෝ සිනමාශාලාවකට යන්නම ඕනේ. එය මඟහැරිය යුතු දෙයක් නොවේ. අපි අවදානමක් අරගෙන මේ දේ කරන්නේ ඒ පුරුද්දට නැවත මිනිසුන් ඇදලා ගන්නයි.

• ඔබට වෙන්වූ ප්‍රේක්ෂක පිරිසක් මෙරට සමාජය තුළ සිටින බව අප දන්නා කරුණක්. ඔබේ නිර්මාණ ආන්දෝලනාත්මකයි. විවාදාත්මකයි. හදිසියේවත් මේ අලුත් නාට්‍යය තහනමට වාරණයට ලක්වුණොත් මොකද වෙන්නේ?
එහෙම වුණොත් එයට මුහුණදෙන්න සිදුවෙනවා. මට හිතෙන්නේ එහෙම වෙන්න අවශ්‍යතාවක් නෑ කියලයි. මොකද මීට වඩා දැනුම් තේරුම් ඇති පිරිසක් තමයි මෙය අනුමත කළේ. බලමු ඉතිං. ආන්දෝලනය කියන එක මගේ නිර්මාණ ඇතුලේ එනවාමයි. ඒක වළක්වන්න බැහැ. ඒක තමයි මගේ නිර්මාණවල සුවිශේෂත්වය. ඒත් ඒ ආන්දෝලනාත්මක අස්සේ අපි නිර්මාණ පෙන්වලා තිබෙනවා. ඒ නිසා මේකත් ඒ මොහොතට බලාගනිමු.

 

ප්‍රවීණ වේදිකා/ටෙලි නාට්‍ය/චිත්‍රපට අධ්‍යක්ෂ
අශෝක හඳගම

(***)
සංවාද සටහන - සමන්ත යහම්පත්