IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනතුර හඳුනාගනිමු: සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමු


නව කෙරෝනා වයිරසය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ලබන 09 වැනිදා සිට ආරම්භ වීමට තිබූ පාසල් නිවාඩුව මුළු ලංකාවටම බලපාන පරිදි අද (05) සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ලබන 12 වැනිදා සිට ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සහ පහේ ශිෂ්‍යත්වය පිළිබඳව මේ සටහන තබන මොහොත වන තෙක් තීරණයක් ගෙන නැත.

අලුත් කොරෝනා අනතුර දුරදිග යා නොදී මෙතැනින්ම නවතීවායි අපගේ ප්‍රාර්ථනයයි. එහෙත් යථාර්ථය එයට වඩා වෙනස් විය හැක. ඒ පිළිබඳව රටේ සියලු පුරවැසියන් උපරිම අවධානයකින් සිටීම අවශ්‍යය. අනතුර මුල සිටම හඳුනා ගෙන අනුගමනය කළ යුතු සියලු උපාය උපක්‍රම භාවිත කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අප ඉදිරියේ නැත. මේ සැබෑව හොඳින්ම සියලු දෙනාම විසින් අවබෝධ කරගැනීම අවශ්‍යය.

වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව රැකියාව කළ ඇඟලුම් කම්හලේ එම සේවිකාව සමග සේවක සේවිකාවන් 400 ක් පමණ සේවය කරන බව සෞඛ්‍ය අංශ වාර්තාවලින් දැක්විණි. එහෙත් එම කම්හල මගින් මෙම ගණන තහවුරු කර නැත. එම පිරිස හඳුනාගෙන ඇති බවත් ඔවුන් සියලු දෙනා පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කොට අවශ්‍ය පිරිස් නිරෝධායනයට යොමු කළ බව ද සඳහන්ය. මේ වනවිට සමස්තයක් වශයෙන් දාහක් පමණ නිරෝධායනයට භාජන කර ඇති බව ද පැවසෙයි. ආසාදිත සේවිකාවගේ දරුවකුට ද රෝග ලක්ෂණ කිහිපයක් පහළ වී තිබුණ ද එම තත්ත්වය පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු කෙරෙනතුරු දරුවාට ද රෝගය වැළඳී ඇතිදැයි නිශ්චිතවම කිව නොහැකි තත්ත්වයක් පැවතිණි. අප මේ තොරතුරු සඳහන් කරන්නේ රටේ ජනතාව පවතින තත්ත්වයේ බැරෑරුම්කම නිවැරැදිව වටහාගත යුතු බැවිනි. කළ යුත්තේ ඒ පිළිබඳව කලබලයට පත්වී ‘‘අත පුච්චා’’ ගැනීම නොව සියලු දෙනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා උපරිම සූදානමකින්  සිටීමය. රට ‘‘ලොක්ඩවුන්’’ තත්ත්වයට යළිත් යාමෙන් වැළකිය හැක්කේ අපගේ පරෙස්සම තුළින් පමණක් බව අවබෝධ කරගැනීම මේ මොහොතේ සියලු දෙනාටම ලබාදිය හැකි වැදගත්ම පණිවුඩයයි.

ගම්පහ රෝහලෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් 100 දෙනකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබිණි. කොරෝනා අසාදිත කාන්තාව පිළිබඳව වාර්තා වීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව ද හමුදාපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. ජනතාව මේ වනවිට සෞඛ්‍ය පුරුදු අමතක කර ඇති බවක් පෙනෙන බැවින් පවතින තත්ත්වය සලකා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

 ජනතාවට සෞඛ්‍ය පුරුදු  ක්‍රමයෙන් අමතකව යන අයුරු පසුගිය කාලය තුළ දී පැහැදිලිවම පෙනිණි. විශේෂයෙන්ම වයිරසය පැතිරීම පාලනය  කර ගැනීමේ අංක එකේ උපක්‍රමය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නා මුඛ ආවරණය පැළඳීම අපේ රටේ බොහෝ දෙනා තුළින් ගිලිහී යමින් තිබීම එයට හොඳම උදාහරණය සපයයි. අඩුම තරමින් පොදු ගමනාගමන සේවය භාවිත කරන මගීන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු වුව ද ඔවුන් වැඩි දෙනෙකු මුඛ ආවරණ නොපළඳින බව පසුගිය දිනවල දී පැහැදිලිව පෙනී ගියේය. මුඛ ආවරණය නොමැතිව බස්රථයකට හෝ දුම්රියට හෝ ගොඩවීමට කිසිදු මගියකුට ඉඩ නුදුන් කාලයක් අපේ රටේ තිබිණි. සුපර් මාකට් තුළ ද එම නීතිය තදින්ම ක්‍රියාත්මක විය. එහෙත් සමාජය තුළින් කොරෝනා රෝගීන් හමු නොවුණු කාලය වැඩි වෙත්ම එම යහපත් සෞඛ්‍ය පුරුද්ද කෙරෙහි මහජනතාවගේ අවධානය ගිලිහී ගියේය. දෑත් සේදීමේ ක්‍රියාවලියට ද සිදුවී ඇත්තේ එයමය. වහාම යළිත් අදාළ සෞඛ්‍ය පුරුදුවලට සියලු දෙනා අනුගත වීම අවශ්‍යය. කොරෝනා වයිරසය සමග සටනේ දී අපට ඇත්තේ ඉතා සුළු  අවස්ථාවක් පමණි. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත හැක්කේ නිවැරැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන්ම පමණි. ඒ හැර වෙනත් මගක් නැත.

අලුත් තත්ත්වයේ වඩාත්ම අවදානම් සාධකය වන්නේ කොරෝනා වයිරසය මෙවර ආසාදනය වීමේ මූලාශ්‍රය සොයා ගැනීමය. එය සොයාගැනීමේ මෙහෙයුම අවසන්වීමෙන් පසුව ආසාදිතයන්ගේ සමීපතමයන් සියලු දෙනා නිරෝධායනයට ලක්කිරීම පහසුවනු ඇත.  ජනාධිපති සහ අගමැතිගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේත් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේත් මඟපෙන්වීම අනුව කටයුතු කිරීමෙන් තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. වඩාත් වැදගත්ම සාධකය මහජනතාවගෙන් ලැබෙන සහයෝගය බව ද යළි අවධාරණය කරමු.

(***)



අදහස් (0)

අනතුර හඳුනාගනිමු: සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site