තැන තැන විවිධ ආලෝක ධාරා පෙනෙන්නට පටන් ගෙන තිබේ. මේවා පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක් යැයි බොහෝ දෙනකු පවසන අතර එයට ජනමාධ්‍ය මගින් ද පුළුල් ප‍්‍රචාරයක් ලබාදෙමින් ඇත. තවත් තැනක රතු වැසි වැටෙන්නට පටන් ගෙන තිබේ. රතු වැස්සේ මෙතෙක් මිහිතලයෙන් හඳුනා නොගත් ඇල්ගී ඇතුළු ජීව අංශු අඩංගුව ඇති බැවින් එය ද පිටසක්වල ජීවීන්ගේ කි‍්‍රයාකාරීත්වයක් හේතුවෙන් හටගෙන ඇතැයි ද මතයක් ප‍්‍රචාරය වෙමින් තිබේ. මේ සමගම තවත් අපූරු කතාන්තරයක් නිර්මාණය වන්නට විය. ඒ පිටසක්වලින් පැමිණෙන ජීවීන් විසින් පෘථිවි වාසීන් රැසක් ලෝක විනාශයෙන් බේරාගැනීමට කටයුතු කරන බවයි. විද්‍යාත්මක පදනමක් හෝ තහවුරු කළ හැකි කිසිදු කරුණක් නොමැති මේ කතාන්තරය ද හුදු නිර්මාණාත්මක මනසකින් ගොඩනැගුණා වූ තවත් එක් සාහිත්‍ය කෘතියක ප‍්‍රතිඵලයකි. මෙවන් පසුබිමක් නිර්මාණය වෙමින් තිබියදී ශී‍්‍ර ලංකාවේ තැන තැන පිටසක්වල ජීවීන් පැමිණෙන යානා වලින් විහිදුවන ආලෝක ධාරා පෙනුනු බව ඇතැම් පුද්ගලයන් විසින් පවසන කතාවලට යම් ප‍්‍රචාරයක් ලැබෙමින් තිබේ. යම් අයකුට හෝ කිහිප දෙනකුට ආලෝකයක් පෙනුනු පමණින් එය පිටසක්වල යානයක් යැයි කීමේ හැකියාව තිබේ ද යන්න ගැටළුවකි. මේවා සත්‍යවශයෙන්ම පිටසක්වල යානායැයි පවසන්නට නොබියව ඉදිරිපත් වන්නන් සේම මේවා ලෝක විනාශ කතාවත් සමග ගොඩනැගී ඇත්තා වූ මානසික තත්ත්වය අනුව දර්ශනය වන්නා වූ ආලෝකයන් යැයි පැවසීමට ඉදිරිපත්වන්නෝ ද බොහොමයක් සිටිති. ලෝකයේ බොහෝ ස්ථාන වලින් මේ ආකාරයේ නහඳුනන අලෝක ලප විටින් විට දිස්වී තිබේ. ඒ සඳහා චිර ප‍්‍රසිද්ධියක් උසුලන ස්ථානයක් වන්නේ නෝර්වේ රටේ හෙස්ඩලන් නමැති නිම්නයයි. 1980 සිට දශක තුනකට ආසන්න කාලයක්  මේ ස්ථානය පිළිබඳ පර්යේෂණ පැවැත්වූ විද්‍යාඥයන් පවසන්නේ එම භූමියේ ඇති විකිරණශීලී කි‍්‍රයාකාරීත්වයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි. හෙස්ඩලන් නිම්නයේ සිදුවන විපර්යාසයන් කොතෙක් ද යත් ඒවා පරීක්ෂා කිරීම සඳහාම ස්වයංකී‍්‍රය කැමරා පද්ධතියක් ඇතුළු පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කැර තිබේ. ඔස්ට්ෆෝල්ඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙම නිම්නයේ පර්යේෂණ කටයුතු දිගින් දිගටම පවත්වාගෙන යන්නේ තවදුරටත් හෙස්ඩලන් නිම්නය හා පිටසක්වල ජීවීන් අතර සම්බන්ධතාවක් තිබේ ද යන්න හෝ විටින් විට දිස්වන මේ අලෝක දහරාවන්ට හේතුව කවරේද යන්න සොයා ගැනීමේ අරමුණෙනි. පෘථිවිය වටා ඇති වායුගෝලය හේතුවෙන් එයට ඇතුළුවන වස්තුවක් ගිනිගෙන දැවීයාම සිදුවන්නකි. පෘතිවිය ආසන්නයෙන් ගමන් ගන්නා ග‍්‍රහක කැබලි බොහොමයක් පෘථිවියේ ගුරුත්වයට හසුවී ඇදී ආවද එය වායුගෝලයට ඇතුළුවීමත් සමගම ගිනිගෙන දැවී හළු වී යයි. මෙම දර්ශනය බොහෝ දෙනකු දකින්නේ ආලෝකය විහිදුවමින් දැවැන්ත වේගයකින් ගමන් ගන්නා නොහදුනන ආලෝක වස්තුවක් ලෙසිනි. ශී‍්‍ර ලංකාවේ ස්ථාන රැසක පිටසක්වල යානා ලෙස සැකකරනු ලබන නොහඳුනන යානා දුටු බවට පැවසෙන පසුගිය සති කිහිපයේ පෘථිවිය අවට අභ්‍යාවකාශයේ තත්ත්වය විමසා බැලීම මෙහිදී අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයකි. පසුගිය නොවැම්බර් මස 16 හා 17 දිනවල ලියොනිඞ් නමින් හැඳින්වූ උල්කාපාත වර්ෂාවක් ඇතිවිය. අභ්‍යාවකාශ විද්‍යාඥයන් විසිනි  55පී/ටෙම්පෙල් නමින් හඳුන්වන වල්ගාතරුවක් ගමන්ගත් මාර්ගය ඔස්සේ පෘථිවිය ගමන් කිරීම නිසා එම මාර්ගයේ ඉතිරිව තිබූ වල්ගාතරුවේ අවශේෂ පෘථිවියේ ගුරුත්වාකර්ශනයට හසුවී ඇදී ඒමත් සමගම උල්කාපාත වර්ෂාවක් ඇතිවිය. එම වල්ගාතරුව පෘථිවිය ආසන්නයෙන් ඇදී ගියේ 1998 වර්ෂයේදීය. එක්සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බකිංහැම් විශ්වවිද්‍යාලයේ සහ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහ මහතා පවසන්නේ මේ දිනවල පෘථිවිය, අභ්‍යාවකාශයේ දුහුවිලි, ගල් කැබලි සහ ග‍්‍රහක කැබලි රැසක් පවතින ප‍්‍රදේශයක් ඔස්සේ ගමන් කරන බවයි. මේවා පෘථිවි වායුගෝලයට ඇතුළුවීමේදී හටගන්නා අධික ඝර්ෂණය හේතුවෙන් ඒවා සෙල්සියස් අංශක 5000 ක් පමණ දක්වා රත්වී ගිනිගෙන දැවෙන බවත් ඒවා විටින් විට වායුගෝලය හරහා වේගයෙන් ඇදී යන ආලෝක ලප ලෙස දක්නට ලැබෙන බවත් හෙතෙම පවසයි. ඇතැම් ප‍්‍රදේශ වලට මේවා දිස්වන විට මේ අරුම පුදුම ආලෝකය අභ්‍යාවකාශ යානා ලෙස හඳුන්වන බව ද මහාචාර්ය වරයා කියා සිටියේය. මේ අතර නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විශ්වයේ විශාලත්වය හා සැලකූ විට පෘතිවියට ඉතාමත්ම ආසන්නයෙන්, කිලෝ මීටර පහක් පමණ පළල් ග‍්‍රහක කැබැල්ලක් පසුගිය 12 වැනිදා පෘථිවිය පසුකැර ඇදී ගිය බවයි. ‘ ටූටාටිස් 4179 ’ යනුවෙන් නම් කැර ඇති එම ග‍්‍රහක කැබැල්ල පෘථිවියට කිලෝ මීටර ලක්ෂ 70 ක් දුරින් ගමන්කැර තිබේ. අලෝක වර්ෂ වලින් දුර මනින තාරකා විද්‍යාවේදී එය ඉතාමත්ම අඩු දුරකි. නාසා ආයතනය පවසන්නේ ග‍්‍රහකයත් සමග පැමිණි කුඩා පාෂාණ කැබලි උල්කා ලෙස පෘථිවි වායුගෝලයට ඇතුලූ වූ බවයි. ඒවා ගිනිගෙන දැවෙන විට ඉතාමත්ම දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් ගමන් කරන ආකාරය ලොව පුරා රටවල් බොහොමයකට දක්නට ලැබුණු බවයි. මෙය රූගත කිරීමට ද නාසා ආයතනය සමත්ව තිබේ. ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශ වල දක්නට ලැබුණු පිටසක්වල යානා නමින් හැඳින්වූ ආලෝක මෙවැනි උල්කාපාත කඩා වැටීම් විය හැකි බව එක් පාර්ශ්වයක අදහසයි. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව කියා සිටියේ ශී‍්‍ර ලංකාවේ ගුවන් සීමාවට කිසිදු ආගන්තුක යානයක් හෝ වෙනත් වස්තුවක් හෝ ඇතුළු වූ බවට රේඩාර් සටහන් කිසිවක් නොමැති බවයි. ඒ අනුව පිටසක්වල යානා ලෙස පැතිරගිය මතයේ සත්‍යතාවක් තිබිය නොහැකි බව ගුවන් හමුදාව කියයි. පියාඹන පීරිසි වැනි වළාකුළු වර්ගයක් ඇති බව ලොව පුරා පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. එය හඳුන්වන්නේ ලැන්ටිකුයලර් හෙවත් කවාකාර වළාකු`එ නමිනි. ජල වාෂ්ප අධිකව ඇති වළාකුලක් කඳු වැටියක් හරහා යාමේදී කවාකාර වළාකුළු  නිර්මාණය වේ. විවිධ වර්ණයෙන් යුතු මේ වළකුළු බොහෝ අවස්ථාවලදී පීරිසි හැඩයක් ගනී. බොහෝ දෙනකු ලැන්ටිකුයලර් වළාකු`එ පියාඹන පීරිසියැයි වැරදි ලෙස වටහාගනිති. ‘‘ මින් මින් ’’ යනුවෙන් හඳුන්වන ආලෝක විශේෂයක් ද තිබේ. ඒවා ලොව පුරා විවිධ රටවලින් වාර්තා වේ. බොහෝ දෙනකු මේ ආලෝක ලප පිටසක්වල යානා බවට විශ්වාස කරති. එමෙන්ම ඒවා දැක භියට පත්වෙති. මේ ආලෝක පිළිබඳ විද්‍යාත්මක මත අතරින් වඩාත් වැදගත් වන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ ගම්මානයක වව්ලන් පිළිබඳ පර්යේෂණයක නිරතව සිටි  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන්හි ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ජැක් පෙට්ගෲ මහතා ඉදිරිපත් කළ මතයයි. ඔහු අහඹු ලෙස මෙවැනි ආලෝකයක් දිටීය. තමා පදවාගෙන යන රථය හා සමාන්තරව මෙන් ඉහළ අහසේ උස් පහත් වෙමින් ගමන් ගන්නා සුදු පාට තැටියක් වැනි එළියක් ඔහු දුටුවේය. පෙට්ගෲ මහතාගේ සිතිවිලි ඇදී ගියේ මෙය අභ්‍යාවකාශයෙන් පැමිණි පියාඹන පීරිසියක් විය හැකිය යන මතය කෙරෙහිය. ඔහු වහාම තම මාලිමාව රැගෙන එළිය නිකුත්වන දිශාව ගැන අවබෝධයක් ලබාගත්තේය. ඉන් අනතුරුව භූමිය ගැන අවධානය යොමු කළ පෙට්ගෲ දුටුවේ තමන් ගමන්කළ මාර්ගයට යොමු වූ තවත් ප‍්‍රධාන මාර්ගයක් පිහිටා තිබෙන බවයි. ඒ ඔහු සිටි ස්ථානයට කිලෝ මීටර 300 ක් දුරිනි. පෙට්ගෲ කියා සිටියේ අනෙක් මාර්ගයේ ගමන් ගන්නා වාහන වල ආලෝකය පෘථිවි වායුගෝලය හරහා ගමන් කිරීමේදී සිදුවන වර්තනය හේතුවෙන් මෙලෙස අරුම පුදුම ආකාරයෙන් එළි දර්ශනය වන බවයි. ඔහු සිය සගයන්ට තමන්ට රාති‍්‍රයේ එළිය දිස්වූ ස්ථානයේ පසුදා කඳවුරු බැඳ ගන්නා ලෙස උපදෙස් දුනි. ඉනික්බිති එම ස්ථානයට එක එල්ලේම ඇති මාර්ගයට විශාල ට‍්‍රක් රථයකින් ගියේය. තම සගයන් සිටින කඳවුරත් තමන් සිටින ස්ථානයත් එකිනෙක කිසිදු ලෙසකින් නොපෙනන බව තහවුරු කැරගත් පෙට්ගෲ කඳවුරට ගුවන් විදුලි සංඥාවක් ලබාගෙන ට‍්‍රක් රථයේ ප‍්‍රධාන විදුලි පහන දල්වමින් නිවමින් කඳවුරෙන් අසා සිටියේ අහසේ ආලෝකයක් පෙනෙන බව ද යන්නයි. පුදුමයකි! සැවොම විශ්මයට පත්ව සිටිති. පෙට්ගෲ විදුලි පහන දල්වන විට ආලෝකය පෙනී එය නිවන විට ආලෝකය නොපෙනී යයි. මේ පර්යේෂණය අනුව පැහැදිලි වන්නේ විටින් විට අහසේ දිස්වන අද්භූත එළි වලට හේතුව මාර්ගයන්හි ගමන්ගන්නා රථවාහන වල ප‍්‍රධාන විදුලි බුබුළු ඉහළ වායුගෝලයේ දී වර්තනය වීම බවයි. පෙට්ගෲ තම පරීක්ෂණය කළ දිනයේ දක්නට ලැබුණේ දැඩි අව් රශ්මියකි. රාති‍්‍රයේ පැහැදිලි අහසක් තිබුණ ද සීතල දේශගුණික තත්ත්වයක් පැවතිණි. පර්යේෂණය සිදුකළ පෙට්ගෲ පවසන්නේ මිරිගුව ඇතිවීමේ සිද්ධාන්තය මෙහිදී කි‍්‍රයාත්මක වන බවයි. එකිනෙක උෂ්ණත්ව පරාසයන් දෙකක ඇති වායු තට්ටු හරහා ආලෝකය ගමන්ගන්නා අවස්ථාවේදී එක් උෂ්ණත්වක වායු තට්ටුවකින් පැමිණෙන ආලෝකය අනෙක් උෂ්ණත්වයෙන් යුතු වායුගෝලය හරහා ගමන් ගැනීමේදී නිශ්චිත මාර්ගයට බාධා පමුණුවමින් නැවී ගමන් කරයි. මෙහිදී සිදුවන්නේ ආලෝකය විවිධ දිශාවන්ට යොමු වී එය කිලෝ මීටර 1000 ක් පමණ දුරින් සිටින අයකුට අහසේ ගමන් කරන අද්භූත එළියක් සේ දිස්වීමයි. පෙට්ගෲගේ මේ සොයාගැනීමෙන් පසුව කරන ලද පර්යේෂණ අනුව පැහැදිලි වී ඇති කරුණක් වන්නේ මෙබඳු එළි තත්ත්වය සීතල කාලගුණික තත්ත්වයක් හමුවේ පැහැදිලව දක්නට ලැබෙන බවයි. පෙට්ගෲ කළ පර්යේෂණයත් පසුගියදා ශී‍්‍ර ලංකාවේ පිටසක්වල යානා වල ආලෝකය දක්නට ලැබුණායැයි කියන සිදුවීමත් අතර මනා ගැලපීමක් තිබේ. ඉන්දියාවේ හිමාලය දෙසින් පැමිණ ශී‍්‍ර ලංකාවේ වයඹ වෙරළ තීරයෙන් රටට ඇතුළුවී ශී‍්‍ර ලංකාව හරහා ගමන් කරන සීතල සුළං ප‍්‍රවාහයක් දෙසැම්බර් මුල් සතියේ සිට අග භාගය තෙක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේය. මෙම සුළං ප‍්‍රවාහය ඉන්දියාවේ ගොඩබිම් ප‍්‍රදේශ ඔස්සේ පැමිණෙන බැවින් එහි අඩංගු ජල වාෂ්ප ප‍්‍රමාණය අඩු අගයක් ගන්නා බැවින් වැසි රහිත තත්ත්වයක් හා රාති‍්‍රයේ සීතල කාලගුණික තත්ත්වයක් නිර්මාණය කරන බව ද කාලගුණ විද්‍යාඥයෝ කියා සිටියහ. මේ සුළං ප‍්‍රවාහය උඩු සුළං මට්ටමෙන් හමා යන බව ද අනාවරණය කැරුණි. ඒ අනුව තත්ත්වය පැහැදිලිය. ඉන්දියාවෙන් හමා එන සීතල සුළග ශී‍්‍ර ලංකාවට වඩාත් ඉහළින් හමා යයි. ඊට වඩා අඩු උෂ්ණත්වයෙන් යුතු වායු කොටසක් ශී‍්‍ර ලංකාවේ ගොඩබිමට ආසන්නව පවතී, සිදුවන්නේ කඳු සහිත පරිසරයක් ඇති ශී‍්‍ර ලංකාවේ විවිධ වාහන වලින් විවීධ දිශාවට නිකුත්වන්නා වූ ආලෝකය පෙට්ගෲගේ පරීක්ෂණයට සමාන වූ කාලගුණික තත්ත්වය හමුවේ වර්තනය වී නැවී ගමන් කිරීමයි. එසේනම් රාති‍්‍රයේ මෙවැනි කාලගුණයක් පවතින අවස්ථාවලදී විවිධ ප‍්‍රදේශවලට අද්භූත එළි පෙනීම අරුමයක් නොවේ. බොහෝ දෙනා පිටසක්වල යානා යැයි වරදවා වටහාගන්නේ මෙවැනි එළි බව පැහැදිලිය. පියාඹන පීරිසි සම්බන්ධයෙන් විවිධ මතයන් එසේ වුව ද මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසන්නේ පසුගියදා ශී‍්‍ර ලංකාවේ විවිධ ස්ථානයන්හි දක්නට ලැබුණු රතු වැස්ස හා පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් තිබිය හැකි බවයි. එම වැසි ජලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශී‍්‍ර ලංකාවට පැමිණි මහාචාර්ය වරයා මෙසේ කියයි. ‘‘ මෙම රතු පැහැති වැසි ජලයේ අන්තර්ගතවූ රතු ෙසෙල හඳුනාගන්න බැරි වුනා. කිසිදු සැකයක් නැහැ ඒවා රතු වර්ණක සහිත ජීවී ෙසෙල විශේෂයක්. පෘථිවියේ අප දන්නා හඳුනන ජීවීන්ගේ මෙවැනි වර්ණක දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්ථිරවම කිව හැකියි මෙය පෘථිවි ජීවීන්ගේ බලපෑමෙන් සිදුවූවක් නොවේය කියා. පිටසක්වලින් පැමිණි ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන් මෙය සිදුවූවායැයි අනාරවණය කළ හැකි කරුණු තිබෙනවා. ඒ ගැන ස්ථිරි නිගමයකට එළැඹීමට නම් තවත් බොහෝ පර්යේෂණ සිදුවිය යුතුයි. ලොව වාර්තා වී ඇති පිටසක්වල ජීවීන් සම්බන්ධ සිදුවීම් වලදී පියාඹන පීරිසි වලින් පැමිණෙන ජීවීන් තරමක් විශාල රූපකායක් ඇත්තවුන් යැයි වාර්තා වී තිබේ. ක්ෂුද්‍රජීවීන් පැමිණෙන්නට ඇත්තේ උල්කාපාත මගින් බව විද්‍යාඥයන්ගේ මතයයි. ශී‍්‍ර ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ රතු වැස්සේ ආසනික් හා රිදී යන බැර ලෝහ අඩංගුවූ බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදහත් වීමෙන් රතු වැස්සේ ජල සාම්පල දෙකක් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ‘‘ නැනෝ තාක්ෂණ ඒකකයේ ’’ පරීක්ෂා කළ විට අනාවරණය වී ඇත්තේ එම ජලයේ ඇල්ගී විශේෂයක් සිටින බවකි. ජාන පරීක්ෂණ අනුව මෙම ඒක ෙසෙලික ජීවියා සීඝ‍්‍රයෙන් බෝවන බවත් නමුත් මිනිස් සිරුරට හානිකර නොවන බවත් අනාවරණය වී තිබේ. වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ රතු වැස්සේ සිටි ක්ෂුද්‍ර ජීවී ඇල්ගී ආසනික් හෝ රිදී සිය බහිස‍්‍රාවීය ද්‍රව්‍ය ලෙස නිෂ්පාදනය කළ ද ලොව මෙතෙක් එවැනි මූලද්‍රව්‍ය නිෂ්පාදනය කරන ජීවී විශේෂ හමුවී නැති බවයි. වල්ගාතරුවක අවශේෂ හෝ වෙනත් උල්කාපාතයකින් මෙලෙස ක්ෂුද්‍ර ජීවීන් පොළොවට පතිතවිය හැකි ද යන්නත් විමසා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පෘථිවියට ඇදී එන ග‍්‍රාහක කැබලි හෝ වල්ගාතරුවක සුන් බුන් හෝ පෘතිවි ගුරුත්වයට හසුවී අධික වේගයකින් පැමිණේ. එහිදී ඇතිවන ඝර්ෂණය හේතුවෙන් හටගන්නා උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000 ඉක්මවන බව මෙම ලිපියේ මුලින්ද සඳහන් කැර ඇත. එවැනි උෂ්ණත්වයකදී කිසිදු ජීවී විශේෂයක් සජීවී තත්ත්වයෙන් සිටීද යන්න ගැටළුවකි. එමෙන්ම එලෙස පැමිණි ග‍්‍රාහක කොටසක් ශී‍්‍ර ලංකාවේ හෝ පෘථිවියේ වෙනත් ස්ථානයකට හෝ මෑතකදී කඩා වැටුණු බවට කිසිදු සඳහනක් නැත. අධික රස්නයකට භාජනය වෙමින් ජීවීන් ද රැුගෙන පෘථිවියට පතිතවීමට නම් අදාළ ග‍්‍රාහකය අති විශාල විය යුතුය. එවිට ග‍්‍රහකයේ අභ්‍යන්තරයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් විනාශ නොවී සිටිනු ඇත. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ තැන තැන පෙනේනට වූ ආලෝක හා රතු වැස්ස අතර සම්බන්ධයක් තිබේ ද යන්නත් ඒවායේ පිටසක්වල ජීවීන් පැමිණියේද යන්නත් පිළිබඳ විධිමත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍යව තිබේ.
සටහන - සජීව විජේවීර