IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ප‍්‍රශ්නයට මූණ නොදී පස්ස ගැහීම

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම ඒ සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් සපයන රටවල් වෙත්නම් එයද අතළොස්සකි. විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය නොමිලේ සැපයුවද උසස් අධ්‍යාපනය මුදලට විකිණීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. චීනය වැනි දැවැන්ත සමාජවාදී රාජ්‍යයක වුවද උසස් අධ්‍යාපනය මුදලට විකිණේ.

මෙවන් පසුබිමක ශී‍්‍ර ලංකාව වැනි රාජ්‍යයකම වුවද නොමිලේ විශ්වවිද්‍යාල පහසුකම් ලබාදිය හැකි වන්නේ ඒ සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් සියයට 17කට පමණි. වර්තමානයේ සිට දිගින් දිගටම පැවැති ආණ්ඩුවල ප‍්‍රාර්ථනය හා බලාපොරොත්තුව වී තිබුණේ මෙම ප‍්‍රමාණය වැඩි කිරීමට මිස කප්පාදු කිරීමට නොවේ. ඒ අනුව 2005 දී 17000ක්ව පැවැති විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ සිසුන් සංඛ්‍යාව මේ වන විට 29333 දක්වා වැඩි වී තිබේ. මෙය වත්මන් රජය යටතේද වැඩිවෙමින් පවතී. 2015/16 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමට සුදුසුකම් ලැබූ 27603ක් වූ සංඛ්‍යාව මේ වන විට 29333 දක්වා වැඩි වී තිබෙන්නේ වර්තමාන රජය යටතේය. එසේම එය 2020 වන විට 50,000 දක්වා වැඩිකිරීමට අරමුණු කරගෙන සිටින බව රජයේ අධ්‍යාපන බලධාරිහු සඳහන් කරති. මෙවන් පසුබිමක උසස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ කි‍්‍රයාවලියක ආණ්ඩුව නිරතවෙමින් සිටිනවාය යන සටන් පාඨය මතුවන්නේ මොන පදනමකින් දැයි කියන්න දන්නේ නැත.

මෙසේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි වුවද රටේ ජනගහනයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාවට සාපේක්‍ෂව විශ්වවිද්‍යාල වරම් ලැබීමට සුදුසුකම් ලබන සංඛ්‍යාවේද වැඩිවීමක් දක්නට ලැබේ. මෙම පිරිස 2016/17 අධ්‍යයන වර්ෂයට සාපේක්‍ෂව 160,517කි.

ඉන් අපේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ඉඩකඩ ඇත්තේ 29,333කට පමණි. එසේ නම් ඉතිරි 131,184ට සිදු වන්නේ කුමක්ද? පෞද්ගලික අංශයේ උපාධි  හා විවිධ ඩිප්ලෝමා සහතික පිරිනමන ආයතනවල පිහිට පැතීමටය. කාලාන්තරයක් තිස්සේම එවන් ආයතන අප රට තුළ කි‍්‍රයාත්මක වේ.

එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ මේ සියල්ලටම රජයේ විශ්ව විද්‍යාල පහසුකම් සැපයිය යුතු බවයි. ඔවුන් මහපාරේ නිතර දක්නට ලැබෙන්නේ මෙම සටන් පාඨය සමඟිනි. ඔවුන්ට අනුව අන් සියලූ පෞද්ගලික අංශයේ උපාධි පිරිනමන ආයතන උපාධි කඩය. ඒවා වසා දැමිය යුතුය. ”සයිටම්” ආයතනය  ද හඳුන්වනු ලබන්නේ තවත් උපාධි කඩයක් ලෙසිනි. මේ මනෝ රාජික සටන් පාඨය කොතරම් ප‍්‍රායෝගික නොවන්නේ දැයි මේ රටේ මොළේ කළඳක් ඇති  ඕනෑම කෙනකුට වැටහේ. දැන උගත් වෛද්‍යවරුන්ගෙන් සමන්විත අපේ රටේ වෛද්‍ය සංගමය පවා මුක්කු ගසමින් සිටින්නේ මේ බොල් සටන් පාඨයට බව පෙනේ.

අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය ගත් කලද රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත හැකි සිසුන් සංඛ්‍යාවද රටේ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවෙන් අතළොස්සකි. ඊට හේතුව එ් සඳහා සුදුසුකම් ලබන සියල්ලටම නොමිලේ වෛද්‍යපීඨ විවෘත කිරීමේ ප‍්‍රායෝගික හැකියාවක් රජයකට නොහැකි වීමයි. මේ වන විට වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කරගනු ලබන්නේ ද ඊට සුදුසුකම් ලබන පිරිසෙන් 17%ක් පමණි. ඉතිරි 83%ට අයත් ඇති හැකි මවුපියෝ සිය දරුවන්ට තම ධනයෙන් විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට යොමුවෙති. මේ සඳහා වාර්ෂිකව රටින් පිට රටට ගලාගෙන යනු ලබන මුදල රු. බිලියන 132කි. මෙය මුළු රටේම උසස් අධ්‍යාපනයට වෙන් කරනු ලබන මුදල මෙන් තුන් ගුණයකට ආසන්නය. එම මුදල 2016 අය වැය ලේඛනයට අනුව රු. බිලියන 48කි.

අපේ රටේ ඇති හැකිි අය වුවද මෙසේ ඩොලර්වලට වැය කර පිට රටට යවමින් සිටින්නේ  දුප්පත් ගම්වල අසරණ අහිංසක කාන්තාවන් මැද පෙරදිග රැකියාවල නිරත වෙමින් ලේ දහඩිය කඳුළු මුසුකර මේ රටට එවනු ලබන විදේශ විනිමය හා ඇඟලූම් කම්හල්වල දහඩිය වගුරන කාන්තා සොහොයුරියන් රටට උපයාදෙන විදේශ විනිමය බව බොල් වාමාංශික සටන්පාඨ කරුවන් නොදන්නවා නොවේ. එක් වෛද්‍ය සිසුවකුට පිටරට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ලක්‍ෂ 300 කට වැඩි මුදලක් වැයවෙන බව කියැවේ. කොතරම් පාරේ ඩෙඟා නැටුවත් සයිටම් තිබුණත් නැතත් තම දරුවන්ට ඉගැන්වීම මවුපියන් නතර කරන්නේ නැත.

අඩුපාඩු සහිතව වුවද දේශීය නියෝජිතයකුගේ මැදිහත් වීමෙන් මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ ”සයිටම්” ආයතනය (මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය) බිහි වන්නේ මෙවන් පසුබිමකය. එහි වෛද්‍ය උපාධිය හදාරන්න සිසුවකුට වැය වන මුදල විදේශ රටකදී ඒ සඳහා වැය කරනු ලබන මුදලින් 1/3 ක් පමණ වේ යැයි පැවසේ. මේ නිසා සයිටම් ආයතනයට මහින්ද රාජපක්ෂ රජය මඟින් අනුග‍්‍රහය දැක්වීම ප‍්‍රතිපත්තියක් වශයෙන් කාලෝචිත යහපත් කි‍්‍රයාවකි. ලෝක යථාර්ථයට එකඟ වීමකි. වත්මන් රජය එය රාජපක්ෂ රජයෙන් ලැබුණු විකෘති දරුවකු ලෙසින් සැලකීම වුවද බෙලහීන කමකි.

ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් පොදු එකඟතා පිළිවෙතක් නොමැති වත්මන් ආණ්ඩුව තුළ දොස්තර රාජිත සේනාරත්න, ලක්‍ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක වැනි ඇමැතිවරුන් පවා ”සයිටම්” ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපහසුතාවකට පත්ව සිටින අතර සමහරු ලාබ සටන් පාඨවල බොරු වීරයෝ වෙමින්  සිටිති. මේ අතර එල්.ටී.ටී.ඊ. ය සමඟ වුවද සාකච්ඡා කිරීම නිවැරැදි යැයි හැඳින්වෙන්නේ නම් ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංඟමය සමඟ සාකච්ඡා කිරීමේ වරදක් නොපෙනේ. ඔවුන් සමඟද නිරතුරුව සාකච්ඡාවකට දොරටුවක් විවෘත වීම වැදගත්ය.

හෙට දිනයේ සයිටම් ආයතනය වසා දැමුව ද රජයට පවරා ගනු ලැබුවද එය ලෝක හා දේශීය යථාර්ථයට මුහුණ දීමට නොහැකි කොන්ද පණ නැති ආණ්ඩුවක අදක්ෂකමක් මිස වෙනයම් අරුතක් ඇති බවක් නම් නොපෙනේ. 2009 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ රජය යටතේ බිහි වී පවත්වාගෙන  ”සයිටම්” හදිසියේම රජයට පවරා ගැනීමේ උද්ඝෝෂණ මතුවන්නේ ඇයි? උසාවි තීන්දුවක එල්ලී සිටින වත්මන් රජය ජනතාව සමඟ කටයුතු නොකිරීමය. දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව වැඩ කිරීමය. එසේම යහ පාලනය දුර්වල ඉඩකඩ ප‍්‍රයෝජනයට ගැනීමය.

නූතන අධ්‍යාපනයේ යථාර්ථය රටට පැහැදිලි කිරීමේ නොහැකියාව කරණ කොටගෙනය. පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ වෛද්‍ය අධ්‍යාපනය උදෙසා නියාමනයක් සකස් කිරීමට වසර 03ක් ගත වී ඇති නමුත් මේ ආණ්ඩුවට නොහැකි වීම ද තවත් හේතුවකි. නිදහස් සෞඛ්‍ය සේවාවේ හා රෝගී ජනතාවගේ අයිතීන් වෙනුවෙන් 250 ක් රෝහලක් ඉදිරිපිටට ගෙන එ්මට ශක්තියක් නොමැති ආණ්ඩු පාලනයක් තුළ නිතර නිතර සිදු වන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ගැන ද පුදුම විය යුතු නැත.

”සයිටම්” ආරම්භයේ දී අඩුපාඩු සහිතව ඇරඹි ආයතනයකි. ඒ නිසා මුලදී ඊට හොර උපාධි කඩයක් ලෙසින් හැඳින්වීමේ අතිධාවනකාරී සටන් පාඨයේ වුවද සාධාරණ බවක් පෙනේ. එහෙත් මේ වන විට ”සයිටම්” සිය අඩුපාඩුකම් සියල්ලම සපුරා ගෙන තිබෙන බව එහි හා රජයේ විශ්ව විද්‍යාලවල උගන්වනු ලබන ආචාර්ය මහාචාර්යවරුම සඳහන් කරති.

”එම්.බී.බී.එස්. වෛද්‍යවරයකුට උත්පත්තිය දීමේ හැකියාව මාලබේ වෛද්‍ය විද්‍යාලයට තිබේ.” ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප‍්‍රදීප් ද සිල්වා (4.7.2017)

එසේ නම් මේ වන විට වරද ඇත්තේ කොතැනද? රටක රාජ්‍ය හෝ පෞද්ගලික අංශය මඟින් කි‍්‍රයාත්මක කරනු ලබන වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ”නියාමන” පැවැතිය යුතුය. එය සකස් කර රජයට බාරදීමේ බලධාරී ආයතනය වන්නේ රජයේ වෛද්‍ය සභාවයි. එසේ නොමැතිව ආයතනයක් ස්ථාපිත කිරීමේදී විශ්වවිද්‍යාල  කොමිසම මඟින් කරනු ලබන පිළිගැනීම පමණක් විධිමත් වන්නේ නැත. එහෙත් අපේ රටේ තවමත් එවන් ”නිර්ණායක” සැකසී නොමැත. ඊට මූලික වශයෙන් වගකිව යුත්තේ රජයේ වෛද්‍ය සභාවයි.

”සයිටම්” ආයතනය ආරම්භක අවධියේ 2009 දී පමණ දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු අප මෙවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට යන බවත්, ඒ සඳහා රජයේ වෛද්‍ය සභාවේ නිර්ණායක කවරේ ද දැයි ලිඛිතවම විමසා ඇත. එහෙත් එම ලිපිය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ එවකට සිටි ප‍්‍රධානියාගේ පිළිතුර වී තිබෙන්නේ එවන් ”නියාමනයක්” අප සතුව නොමැති බවයි. මේ නිසා දොස්තර නෙවිල් තමන්ට දැනුම් තේරුම් ඇති ”නියාමන” යටතේ ”සයිටම්” අරඹා තිබේ. මීළඟට ඔහු දෙවැනි ලිපිය වෛද්‍ය සභාවට යොමු කරන්නේ එසේ නම් අපට රුසියානු විශ්ව විද්‍යාලයක් හා සම්බන්ධ වී වෛද්‍ය උපාධිය පිරිනැමීමට අවසර දෙන ලෙසයි. ඊට පිළිතුර සපයන රජයේ වෛද්‍ය සභාවේ ප‍්‍රධානියා එවැන්නක් අවශ්‍ය නොවන බවත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ලියා පදිංචියක් ලබා ගන්නා ලෙසත් දන්වා යවමින් එම ලිපියේ පිටපතක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට යවයි.

අවසානයේ මාලබේ ”සයිටම්” උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ පරීක්ෂණවලට හා කොන්දේසිවලට යටත්ව අවසර ලැබේ. ඊට විශ්වවිද්‍යාලවල මණ්ඩපාධිපති වරුන්ගේ ද අනුමැතිය ලබාගැනීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සමත්ව ඇත. රජයේ වෛද්‍ය සභාවේ බලධාරීහු අද මේ අතීතය අමතක කර තොත්ත බබාලා වශයෙන් රැල්ල යන අත බලා හැසිරෙති. තමන්ගෙන් විමසීමක් කර තිබිය දී ඇවැසි නියාමන ලබා නොදීමට සමත් වූ ආයතනයකට (රජයේ වෛද්‍ය සභාවට) පසු කලෙක මාලබේ සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමේ සදාචාරාත්මක අයිතියක් තිබේ දැයි ප‍්‍රශ්න කිරීමට අපට සිදුවේ.

රජයේ වෛද්‍ය සභාව යනු ජනතාවගේ මුදලින් නඩත්තුවන ආයතනයකි. මේ වන විට රජය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල සිසුන් හා සයිටම් ආයතනයේ සිසුන් මෙතරම් බරපතළ අර්බුදයකට ඇද දමා තිබෙන්නේ රජයේ වෛද්‍ය සභාව බව පැහැදිලිය. ඊට එහි වත්මන් සභාපතිවරයා වගකිව යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මීට වසර 6කට පෙර එහි සභාපති වශයෙන් පත්කරන්නේ මේ සියලූ ප‍්‍රශ්න විසඳා, රටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නියාමනයක් සකසා, සයිටම් ප‍්‍රශ්නය විසඳීමටය. ඔහු නොකරන්නේ ද ඒ ටිකමය.

මහාචාර්ය කාලෝ කීර්තිමත් උගතෙකි. හොඳ ගුරුවරයෙකි. කලාකාමී පරිචයක් ඇති වියතෙකි. ඒ පිළිබඳ විවාදයක් නැත. එහෙත් ඔහු මේ ආයතනය තුළ පසුගිය සමයේ කටයුතු කර තිබෙන්නේ විටින් විට එකිනෙකට පටහැනි ප‍්‍රකාශ නිකුත් කරන වගකීම් විරහිත හුදු කතාකාරයකු ලෙසිනි. විටෙක ඔහුට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙනුණේ එල්.ටී.ටී.ඊ මෙන් ත‍්‍රස්ත සංවධානයක් ලෙසිනි. මේ මහාචාර්යවරයා වත්මන් රජය යටතේද නැවත පත්වී විශ‍්‍රාම යන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ”නියාමනයක්” සැකසීමට නොහැකි වූ වත්මන් ගැටලූවේ එක් පාර්ශ්වකරුවකු වන අසාර්ථක සභාපතිවරයකු ලෙසිනි.

මේ වන විටත් අපේ රටේ වුවද පෞද්ගලික අංශයේ උපාධි පිරිනමන ආයතන 27ක් පමණ කි‍්‍රයාත්මක වේ. වෛද්‍යවරයකුට වැරදුණොත් මිය යන්නේ එක් රෝගියෙකි. පෞද්ගලික උපාධිධාරී ඉංජිනේරුවරයකුට වැරදී ගොඩනැගිල්ලක් කඩා වැටුණොත් සියගණනක් මිය යා හැකිය. අද  අවැසි වන්නේ උපාධිය ලබා ගන්නා ආයතනය  රජයේද, පෞද්ගලික අංශයේද කියන කාරණය නොව  එය කුමන ”නියාමනයකට” ”ප‍්‍රමිතියකට” යටත්ද යන්නය. මේ බව දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව ඩෙඟානටන වත්මන් වෛද්‍ය උගතුන් වටහා ගැනීම රටේ උන්නතියට වැදගත් වේ. මේ නිසා අප සටන් කළ යුත්තේ යම් ආයතනයක නියාමන  හා ප‍්‍රමිතිය ස්ථාපිත කිරීමට, රැක ගැනීමට කටයුතු කිරීම මිස විනාශ කිරීම උදෙසා නොවේ.

(වසන්ත පි‍්‍රය රාමනායක)



අදහස් (9)

ප‍්‍රශ්නයට මූණ නොදී පස්ස ගැහීම

kumar (galf) Thursday, 06 July 2017 06:08 AM

වසන්ත පි‍්‍රය රාමනායක ඔබ පැවසුවා හරි, ඔබට සුභ පැතුම්.

:       0       140

wedage Thursday, 06 July 2017 07:27 AM

ඉංජිනේරුවරුන්ට වරදින්න විදිහක් නෑ. මොකද ඩිසයින් කරන්නේ සේෆ්ටි ෆැක්ටර් එකක් සමග තවත් ටිකක් අතින් දමලනේ... වැල්ලවත්තේ බිල්ඩිම කඩා වැටුනේ ඉංජිනේරුවරයෙක් නොමැති නිසාය.

:       0       233

mangala Thursday, 06 July 2017 08:13 AM

ඔබ හරියටම කවුදැයි මා නොදනිමි. එහෙත් සිදුවිය යුත්තේ එයයි. හරි නියාමනයකට මේ සියලු සරසවි යටත් විය යුතුයි. එහෙත් මේ සයිටම් ප්‍රශ්නය කරලියට එන තෙක් එය සිදුවුණාද? එක මේ දුෂිත ආණ්ඩු වලින් බලාපොරොත්තු විය නොහැකියි. ඔවුන් මුදලට ඕනෑම දෙයක් කරන ජාතියකි. සමහරවිට එය ඔබද තේරුම් ගෙන ඇතැයි සිතමි. එ්ක නිසා දේශපාලකයන් සමඟ එකතු වී යමක් කරන්න බලන්න.

:       0       128

Sena Thursday, 06 July 2017 08:31 AM

මෙම ලියුම් කරු පමණක් නොව රජයේ පාර්ශවයේ බොහෝදෙනා තවම ගැටලුව හඳුනාගෙන වත් නොමැත. මොවුන් මෙය සිල්ලර දේශපාලන ව්‍යාපෘතියකට ලඝු කරන්න හදනවා. එක් මහඇමතිවරයෙක් නම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසද හැඳින්වූවා. මෙයින් පෙනෙන්නේ මේ වන විට ජාතික ගැටළුවක් බවට ඇති සයිටම් ගැටලුව ගැන අපේ නූගත් නායකයින්ගේ කියවීමයි. මොහුට අනුව සියලු වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාල සිසුන් සහ අනෙකුත් විශාල පිරිසක් වෘත්තිකයන්, මහජනතාව, දෙමාපියන්, පුජ්‍ය පක්ෂය වගේම ආණ්ඩුවේම ප්‍රභල ඇමතිවරුන් පිරිසකුත් දේශපාලන කුමන්ත්‍රණකරුවන් බවට පත්වෙලා. මෙය නිතැතින්ම අවසන් කාලයේ ගරාවැටුණු රාජපක්ෂ පාලනයේ ජනතා ගැටළු වලට පිළිතුරු ලබාදුන් ආකාරයම සිහිගැන්වේ. එහිදීත් සිදු වූයේ නූගත් මන්ත්‍රීවරුන් විසින් සියලු ගැටළු ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙස හඳුන්වා, රෙජීමය මගින් සියලු ජනතා බලවේග උණ්ඩයෙන් මර්ධනය කිරීමයි. මෙම රජයද උතුරු කොළඹ වැනි ගැටළුවක් දක්වා මෙය වර්ධනය වීමට ඉඩහැර ඇතිබව පැහැදිලියි. ඒවගේම මෙවැනි තැන්වලදී කල දුටුකල වල ඉහ ගැනීමට බලා සිටින විපක්ෂ අවස්ථාවාදීන් එක්වීම නොවැළැක්විය හැකියි.

:       237       353

dingirala Friday, 07 July 2017 01:48 AM

මේ ලිපියද මීට පෙර මෙහි පළවූ සයිටම් ගැටලුව පිළිබඳව ලියවුනු ප්‍රබුද්ධ විචාරාත්මක අපක්ෂපාතී ලිපි කිහිපය මෙන්ම වටිනා ලිපියකි. එහෙත් මේ මොන ප්‍රබුද්ධ විචාරයක් ඉදිරිපත් කලත් එය හරි හැටි තේරුම් නොගෙන ඊට ගරහන අනුවණයන් සුලබය.ඔවුන් කරන්නේ ශෛලොක් මෙන් මස් රාත්තලම ඉල්ලා සිටීමය. GMOA එක JVP ය සහ පෙරටුගාමීන් යන මන්ද මානසික ශෛලොක්ලා මේ රටට කරන හානිය රටේ ජනතාවට තේරුම් යාමට තව සෑහෙන කලක් යනු ඇත. අපි සයිටම් ගැටලුව මොහොතකට පැත්තකින් තබමු. අපොස උසස් පෙළ ප්‍රතිපල වලින් ඉහලම ලකුණු වලින් තෝරා ගත්, රාජ්‍ය විශ්ව විද්‍යාල වල උගැන්වූ, සම සෞඛ්‍ය පාඨමාලා හදාල, සිසුන්ට ශායනික පුහුණුව ලබා නොදී GMOA එක කරන ඉරිසියාකාර දුර්දාන්ත කාර්යයේ අර්ථය කුමක්ද? එම පාඨමාලා නිදහස් සෞක්‍ය සේවාවට කවර තර්ජනයක්ද? JVP සහ පෙරටුගාමී අනුගාමිකයන් ඒගැන කියන්නේ කුමක්ද? ඔවුන් කතාකරන සාධාරණ කම කොහෙද? හැබවින් නිදන්නන් අවදි කල හැක. එහෙත් බොරුවට නිදන්නන් කිසිදිනක අවදිකළ නොහැක. මේ ඊනියා දේශප්‍රේමීන්ට ජනතාව නිසි පිළිතුරු දීමට ඉදිරියේදී සුදානම් විය යුතුය.

:       50       472

ලුම්බිණි Friday, 07 July 2017 02:28 AM

මෙතන තිබෙන්නේ පන්ති අරගලයක්. සයිටම් එකට විරුද්ධ වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ තත්වය රැක ගැනීමට ගන්න නිවට උත්සාහයක් නිසා. ජනතා විමුක්ති පෙරමුණත්, පෙරටු ගාමිනුත් මේකට එකතු වීමෙන් එය මනාවට පැහැදිලි වෙනවා. පුදුමය කියන්නේ බංගලාදේශයේ, චීනයේ වෛද්‍ය උපාධි අරගෙන ආපු අයත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බැඳුන ගමන් සයිටම් එකට විරුද්ධයි.

:       1       223

Jenny Friday, 07 July 2017 06:08 AM

මෙලොව හොඳ සෞඛ්‍ය වැඩපිළිවෙලක් ඇති කිසිම රටක සෞඛ්‍ය අධ්‍යාපනය මුදලට විකිණෙන්නේ නැත​. නරක සෞඛ්‍ය වැඩපිළිවෙලක් ඇති රටවල් කීපයක්ම එය මුදලට විකුණයි. අනතුර ඇත්තේ කොතැනදැයි තවමත් නොතේරෙන්නේ නම් පුදුම අයෙකු වියයුතුය​. චීනයේ අධ්‍යාපනය මුදලට විකුණන්නේ නැති අතර එ්ක අමූලික බොරුවකි. එහෙත් ඔවුන්ට චීනයේ වෛද්‍යවරයකු විය නොහැක​.

:       134       66

Kalyana Jayawardena Friday, 07 July 2017 11:36 PM

චීනය වැනි දැවැන්ත සමාජවාදී රාජ්‍යයක වුවද තිබීම විහිළුවක්නේ. මහ දවල් ගැමි තරුණියන් පැහැරගන්නා චීනයේ කොහෙද අද සමාජවාදයක් තියෙන්නේ?

:       51       0

latha Monday, 10 July 2017 02:05 AM

යකෝ - ගොඩ ඉංජිනේරුවෝ හිටියට අන්තිම තීරණය ගන්නේ මොරටුවේ /පේරාදෙණිය සිවිල් ඉංජිනේරු උපාධිය තියෙන උන් කියල දන්නේ නෙද්ද?

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3727 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11169 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1874 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 627 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 776 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site