වසර ලක්ෂ 800ක් පැරණි ඩයිනෝසර ෆොසිලයකින් ශිරා රුධිර නාළ සොයාගැනීමට හැකි වූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති.

ඉතා සිහින් මේ රුධිර වාහිනී සොයාගන්නා ලද්දේ අඩි 30ක් පමණ දිගැති බ්‍රැචිලොෆොසාරස් කැනඩෙන්සිස් නම් ඩයිනෝසර විශේෂයට අයත් වූ පාද අස්ථියකිනි.

උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ මෙම සොයාගැනිමෙන් ඩයිනෝසරයන්ගේ සිරුරු අභ්‍යන්තරයේ පද්ධති සැකසී තිබූ ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට උත්සාහ ගන්නා බවයි.

මෙතෙක් කරන ලද පර්යේෂණ අනුව සත්ත්ව පරිනාමයේ දී අතීත ඩයිනෝසරයන්ට වඩාත් සමීපයැයි විශ්වාස කරන කුරුල්ලන්ගේ රුධිර නාළ පද්ධතිය හා මේ හමුවූ රුධිරවාහිනී පද්ධතිය සන්සන්දනය කිරීමට ද ඔවුහු අපේක්ෂා කරති. පර්යේෂණ කණ්ඩායමේ ටිම් ක්ලෙලෑන්ඩ් මහතා පවසන්නේ කුකුළන්ගේ අස්ථිවල ඇති ප්‍රෝටීන හා මේ රුධිර නාළවලින් ලබාගත් ප්‍රෝටීන අතර යම් සමානකමක් ඇති බවයි.

මෙම අධ්‍යයනය ලෝකයේ ඩයිනෝසරයන්ගේ රුධිර වාහිනි සම්බන්ධයෙන් කරනු ලබන ප්‍ර‍ථම අධ්‍යයනයයි. එම පර්යේෂණවලින් ප්‍රෝටීන සාම්පල හා පටක සාම්පල නිවැරදිව ලබා ගැනීමට හැකි වුවහොත් ඩයිනෝසරයන්ගේ ෆොසිලගත වූ අතීතයට වඩා වෙනස් යමක් අනාගතයේ දී දැකගත හැකිවේයැයි ද විද්‍යාඥයෝ කියති.

Dinosur veins 1 Dinosur veins 2 Dinosur veins 3