IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විනාශය ක්ෂණිකය ඒත් ගොඩනැගීම අසීරුය

විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීමේ වන්දිය ඉකුත් 9 වැනිදා මුළු රටම ගෙව්වේය. තුන්කල් දක්නා ඉසිවර නුවණින් නිසි කලට නිසි ලෙසට විසඳුම් සෙවීමට අසමත් වීමේ විපාකයට මුළු රටම ගොදුරු විය. පැරැණි පන්නයේ ත්‍රාඩ, තුච්ඡ පිළිවෙතට ප්‍රහාර එල්ල කිරීමේ හා ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේ මාදිලිය රටක් වශයෙන් අප සිටින පසුගාමීත්වය පෙන්නුම් කළේය. රටම නොනිමෙන ගිනි මැලයක් බවට පත්ව ඇති අනතුරුදායක තත්ත්වය හෘදය සාක්ෂියක් සහිත සියලු මිනිසුන්ට අලුත් සිතීමකට බලකර ඇත.

රටේ පැවැති තත්ත්වය සම්බන්ධයෙන් නිවැරැදි කියවා ගැනීමක් බලධාරීන්ට තිබූ බවක් නොපෙනේ. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා පැවැති සටන එක්කෝ දේශපාලන පක්ෂ මෙහෙයවූ සටන් විය. නැතහොත් ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති නායකත්වය දුන් සටන් විය. එහෙයින් එම සටන්වල දිග පළල සම්බන්ධයෙන් මැනීමක් කිරීම පහසු විය. එහෙත් මෙවර සටන එසේ නොවීය. මෙවර සටනේ විශේෂත්වය වූයේ රටේ සෑම බිම් අඟලකම ජීවත් වන සෑම මිනිසකුටම දැනෙන ප්‍රශ්න මත සටන නිර්මාණය වීමය.

ඉන්ධන ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, භූමිතෙල් ප්‍රශ්නය, විදුලිය කප්පාදුව මෙන්ම දරා උසුලා සිටිය නොහැකි ජීවන බර හුස්ම ගන්නා සෑම මිනිසෙකුටම දැනුණි. එහෙයින් ඒ සියල්ලන්ගේම ආශිර්වාදය එම සටනට ලැබිණි. එම නිසාම මුළු රටම සටන් බිමක් බවට පත්විය. සටන ඇත්තේ ‘‘ගෝඨා ගෝ ගම’’ තුළ යැයි සිතීම ඉහත තත්ත්වය මුළුමනින්ම අමතක කිරීමකි. පැරැණි ත්‍රාඩ ක්‍රමයෙන්ම විසඳුම් ඉදිරිපත් කිරීමට පෙළඹීම යථාර්ථයක් වන්නේ ඒ අනුවය.

මෙම සිහිපත් කිරීම රටේ ප්‍රශ්න විසඳීමේදී පාලක පන්තියේ අවධානයට යොමු කිරීමය. පාක්ෂික දාස භාවයේ කරවටක් ගිලී සිටින අතවැසියන් ලවා ඕනෑම තුප්පහි වැඩක් කරවාගත හැකිය. බත් පැකට් එකට, රුපියල් දාහට හා අරක්කු කාලට සිය ආධ්‍යාත්මය පාවා දෙන දේශපාලන පිසාචයෝ එදත් සිටියහ. අදත් සිටිති. එහෙත් එම දේශපාලන පිසාචයන් වටහාගත යුතු වැදගත්ම කරුණ වන්නේ එම යුගය අවසන් වී ඇති බවය. එම ක්‍රමය අභාවයට ගොස් සෑහෙන කාලයක් බවය. එම අවි වර්තමානයට වලංගු නොවන බවය. එය තේරුම් නොගන්නා මුග්ධ නායකයන් සිටිත්නම් ගලා හැලෙන සෑම රුධිර බින්දුවකම වගකීම ඔවුන් බාර ගත යුතුය. එමෙන්ම එසේ බාරගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් නිසි වන්දියක් ගෙවීමට සිදුවන බවත් එළැඹ ගත් සිහියෙන් යුතුව තේරුම් ගත යුතුය.

උද්ඝෝෂකයන් මෙන්ම පොදු මහ ජනතාවද වටහා ගත යුතු වඩාත්ම වැදගත් කරුණක් තිබේ. එනම් සටන්වලට ජනතාවගේ සහයෝගයත් ආශිර්වාදයත් හිමිවන්නේ එම සටන් උපරිම සාධාරණ පදනමින් හා යුක්තිගරුක භාවයෙන් පවතින්නේ නම් පමණි යන්නය. ‘‘ප්‍රහාරය ම්ලේච්ඡ වූ විට ප්‍රතිප්‍රහාරයෙහි ම්ලේච්ඡ බව ගැන නොසොයන්නැයි’ මුහුණු පොත හරහා සංසරණය වන අදහසකි. සැබැවින්ම මේ මොහොතට අවශ්‍ය වන්නේ ආවේගවලට අමතන කුපිතකාරී වදන් නොව තෙවැනි ඇසක්ව මග පෙන්වන අරුත්බර වදන්ය. සැබැවින්ම ගිනි තැබීම පහසුය. එහෙත් එම ගිනි නිවාලීමට කොතෙක් කලක් ගතවේදැයි අනාවැකි කිව නොහැකිය. 1983 කළු ජූලියේ ගින්න නිවා දැමීමට වසර තිහකට වඩා වැඩි කාලයක් ගත විය. ඒ මුළු කාලයම මේ රට ගිලී තිබුණේ ලේ කුහරයකය. අනන්තාපරිමාණ ජීවිත අහිමිවීම සිදුවිය. මිනිය නොහැකි ගිණිය නොහැකි දේපළ විනාශයක් සිදු විය. සියවස් ගණනාවක රට ආපස්සට ගියේය. අද රට වැටී තිබෙන අර්බුද සුළියට මෙම තත්ත්වයත් ඍජුවම බලපෑවේය. ඉතිහාසය නිවැරැදිව කියවාගත යුත්තේ එහෙයිනි.

රටේ තත්ත්වය අතිශයින්ම භයානකය. ආර්ථික, අර්බුදය අවසන් නැත. දේශපාලන අර්බුදයෙන් රට අස්ථාවර වී ඇත. සමාජ කැලඹීම ප්‍රචණ්ඩත්වයේ වා සුළියක ගසා යමින් තිබේ. රට කපිතාන්වරයකු නැති නෞකාවකි. කවර ගල්පරයක වැදී කුමන මාදිලියේ විනාශයක් අත්පත් කර ගනු ඇද්ද යන්න පුරෝකථන හැකියාවෙන් එපිටය. අවශ්‍ය වන්නේ එම විනාශයෙන් රට මුදවා ගැනීමට සමත් එළැඹුමකි.

සියලු දේශපාලන පක්ෂ, සර්ව ආගමික නායකත්වය, වෘත්තිය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, විද්වතුන්, උගතුන්, වෘත්තියවේදීන්, කලාකරුවන්, නීතිඥ ප්‍රජාව මෙන්ම සමාජ ක්‍රියාකාරීන් මේ මොහොතේ සියලු නොගැළපීම්, අසමානතා අමතක කර රට ගැන සිතිය යුතුය. රට මේ සැහැසි අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා එකාවන්ව පෙළ ගැසිය යුතුය. රටට මග කියන නැකැත් තරුවක්ව මතුවිය යුතුය. රට වළපල්ලට වැටෙන්න ඉඩ දී බලා සිටීමට කිසිවකුට අයිතියක් නැත.

(***)



අදහස් (0)

විනාශය ක්ෂණිකය ඒත් ගොඩනැගීම අසීරුය

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 76 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 128 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 241 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 998 7

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 206 2

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 524 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site