පාතාලයට සහ කුඩු ජාවාරම්කරුවන්ට එරෙහි යුක්තිය මෙහෙයුම මේ වනවිට දින ගණනාවක් තිස්සේ ක්‍රියාත්මකව පවතී. අපගේ ලංකාදීප ප්‍රවෘත්තියකට අනුව පළමු දින හත තුළ දී පාතාලයන් සහ කුඩු ජාවාරමුන් 13,666කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. එසේම පාතාලයන් සතු රුපියල් කෝටි ගණනාවක සුඛෝපභෝගී නිවාස සහ වාහන ඇතුළු දේපළ විශාල ප්‍රමාණයක් ද වැටලීම්වල දී සොයාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක වෙමින් තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ප්‍රකාශ කර තිබුණේ එම සැකකරුවන් 174 දෙනකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවත් මතට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් පුනරුත්ථාප මධ්‍යස්ථාන කරා යොමුකර ඇති බවත්ය. ඒ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම විශේෂ පාතාල මර්දන සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විශේෂ මෙහෙයුම්වල දී කොළඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම අපරාධකරුවන් සතු බව කියන බස් රථ ඇතුළු වාහන රැසක් පරීක්ෂා කිරීම සඳහා ද සහභාගි වී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ආරම්භ කරනු ලැබ ඇති මෙම කුඩු සහ පාතාල මර්දන මෙහෙයුම්වලට ඔහුගේ මිතුරන්ගේ පමණක් නොව සතුරන්ගේ ද සහාය ලැබෙනු ඇති බවට සැකයක් නැත. පාතාල කෙරුම් සහ කුඩු ජාවාරම ඒ තරමට මේ රට වෙළාගෙන පවතින මහා ව්‍යසන දෙකක් වීම ඊට හේතුවය. එහි පවතින අනතුරේ බැරෑරුම් බව අවබෝධ කර නොගත් කිසිවකු මේ රට තුළ සිටිනු ඇතැයි අපි නොසිතමු.
එසේ වුව ද මෙවැනි මෙහෙයුම් මීට පෙරද ක්‍රියාත්මක වූ බව අපි දැන සිටිමු. කුඩු වැටලීමක් පාතාල මර්දනයක් යනු ඕනෑම දේශපාලකයකුට සහ ආණ්ඩුවකට තමන්ගේ ගැටලු වසා ගැනීමටත් ජනතාව අතර පිරිහෙමින් පවතින ජනප්‍රියත්වය රැක ගැනීමටත් යොදාගත හැකි හොඳ ඇස්බැන්දුමකි. මෙවැනි වැටලීම්වල දී බොහෝදුරට දැලට කොටු වෙන්නේ සැබෑ කුඩු මුදලාලිලා නොව කුඩාවට කුඩු විකුණන නරුමයන් සහ කුඩු ‘සික්’ කාරයන් බව නොරහසකි. සැබෑ කුඩු මුදලාලිලාට අත තැබීම ‘යුක්තිය’ මෙහෙයුම් එකවර දහසක් ක්‍රියාත්මක කළත් පහසු කාර්යයක් නොවේ. දැනට කොටු වී සිටින වෙලේ සුදාලා මට්ටමේ මහා පරිමාණ කුඩු ජාවාරමුන් කිහිප දෙනකු හැර අන් සියලුදෙනාම සිටින්නේ නිදැල්ලේය. ඇතැමෙක් මැද පෙරදිග ඇතුළු සැප රටවල්වල බින්න බැසගෙන කුඩු ජාවාරම සහ පාතාලය මෙහෙයවති. ඔවුන්ගෙන් ඇතැම් දෙනා මෙරට පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ සමීප සගයන් බවට හෙළි වූ අවස්ථා ද ඇත. තවන් පිරිසක් මහා පරිමාණයෙන් කප්පම් ලබා ගනිමින් ඒවා පරිහරණය කරන බවද හෙළි වී තිබේ. පොලීසියේ ඇතැමුන් ද මේ දූෂිත වළල්ලේ රැඳී සිටින බව ප්‍රසිද්ධ රහසකි.
එවැනි නිලධාරීන් සිටියදීත් මෙවැනි මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයාත්, වැඩබලන පොලිස්පතිවරයාත් දරන වෙහෙස සම්බන්ධයෙන් ඔවුන්ට ජනතාවගේ ප්‍රශංසාව හිමිවෙයි. එහෙත් මේ මෙහෙයුම නිකම්ම මාධ්‍ය සංදර්ශනයක් නොවිය යුතු බව ද ඒ සමඟ පෙන්වා දිය යුතුය. පසුගිය දිනවල මුද්‍රිත මාධ්‍ය සිරස්තල ඔස්සේත් රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය හරහාත් පොලීසියේ විශාල පිරිසක් මේ මෙහෙයුම්වල යෙදෙන ආකාරයත් පොලිස් සුනඛයන් යොදා ගනිමින් මත් ජාවාරමුන් අල්ලා ගැනීමට දැල එළන අයුරුත් දක්නට ලැබිණ. මෙවැනි මෙහෙයුමකට එවැනි මාධ්‍ය ආවරණයක් අවශ්‍ය වුවද එපමණක් ප්‍රමාණවත් නැත. මෙරට කුඩු ජාවාරමත් පාතාලයත් දේශපාලනයේ ඇතැම් බලවත් පුද්ගලයන්ගේ ආශිර්වාදය සහ රැකවරණය යටතේ ක්‍රියාත්මක වන බවද ප්‍රසිද්ධ රහසකි. මේ මෙහෙයුමෙන් ජනතාවට සැබෑ යුක්තිය, ඉටුවීමට නම් එම දැලට පාතාලයේ ගෝඩ් ෆාදර්ලාත් කුඩු ජාවාරමේ තෝරු මෝරුත් හසු කරගත යුතුය. කුඩු ගහන පිරිසක් අල්ලා සිරගත කිරීමෙන් පමණක් කුඩු ජාවාරම හෝ පාතාලය මර්දනය කළ හැකි යැයි යමකු සිතන්නේ නම් එය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව පෙන්වා දිය යුතුය.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාල මර්දන සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විශේෂ මෙහෙයුම්වල දී විද්‍යුත් මාධ්‍ය යොදාගැනීම නිසා යම් අවස්ථාවක් එම කටයුතුවල නිරත වන නිලධාරීන් සියල්ලන්ම / ඔවුන් කරන්නාවූ මෙහෙයුම් සියල්ල මාධ්‍ය මගින් හෙළිවීම සිදුනොවිය යුතුවේ. ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසු මාධ්‍ය මගින් ප්‍රචාරණයක් ලබා දීම වෙනත් කාරණයකි. මෙම සමාජ ව්‍යවසනයක් වූ මත්ද්‍රවය ජාවාරම වැටලීම් අගය කළයුතු අතර දිවයින පුරා සියලුම private tuition classes හදිසි වැටලීම් කළයුතුවේ සහ පාසල් සිසුන් "යම්" මත්ද්‍රව්‍යයක් ඔවුන්ගේ මුඛයේ රඳවා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. එම නිසා පාසල් ආරම්භයට පෙර වැඩිහිටියන් විසින් දරුවන්ගේ මුඛය පරීක්ෂාවක් නිවසේදීම කළයුතු බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය මගින් නිවේදනයක් නිකුත්කළ යුතුවේ... හෝ රටපුරා සෑම පාසලකම සිසුන්ගේ මුඛ පරීක්ෂාවක් පන්ති බාර ගුරුවරයා විසින් සිදුකර යම් වෙනසක් ඇත්නම් ඒ පිළිබඳව සිසුන්ගේ වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක විය යුතුවේ. මෙය ආරක්ෂක අංශ මගින් පමණක් පාලනය කළ නොහැකි ජාතික අවශ්‍ය තත්වයක් සේ සලකා මත්ද්‍රව්‍ය මැඩලීම සිදු කළහොත් සියල්ලන්ගේම සහයෝගය ලබාගැනීමට හැකිවේ.
ජනතාව කොහොමත් සහාය දෙනවා. හැබැයි, මෙයා කියලා තියෙනවා වගේ දේශපාලකයින් තමයි මේක පිටිපස්සේ ඉන්නේ...!
ජනතා සහයෝගයක් ගැන අමුතුවෙන් ආයේ මොනා කතා කරන්නද? ඒ කාලේ මීගමුවේ පැත්තේ ගෙදරකට පැනලා කුඩු ඇල්ලුවාම, රටේ ජනාධිපති හා ඇමැතිලා හෙලිකොප්ටර් වලින් බැහැලානේ පොලිසියට උදව් කළේ.. අන්න එහෙම පිළිවෙලකට කළ උදව්වල ප්‍රතිඵල තමයි මේ... කාටද ආඩම්බර...? කොහේද ඉතින් අපේ සිංහලයින්ට ඉතිහාසය ඇලජික්නේ...!