IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


එකිනෙකාට දොස් නොකියා එක්වී ප්‍රශ්නයට මූණ දෙන්න

‘ඉන්නේ වෙඩිබෙහෙත් ගබඩාවක නම් දෙවියන්ගේ නාමයෙන් වුවද ඉටිපන්දම් පත්තු නොකරන්නැ’ යි කතාවක් තිබේ. අපේ රටේ නායකයන්ට මේ අවස්ථාවේදී සරලම ආකාරයෙන් දිය හැකි ප්‍රබලම පණිවුඩය මෙය බව අපගේ විශ්වාසයයි. පසුගිය ඉරිදා සිදුවූ මෙරට ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුව රට ඉදිරියට ගෙනයාමට නම් රටේ කොතැනකවත් “වෙඩි බෙහෙත්” ගබඩා තිබිය යුතු නැති බවට ජනතාවට සහතිකයක් තිබිය යුතුය. එය කළ හැක්කේත් කළයුතු වන්නේත් ආණ්ඩුවයි. එම වගකීමෙන් මිදීමට ආණ්ඩුවට කිසිම හැකියාවක් හෝ යුතුකමක් නැත.


පාස්කු ඉරිදා දේව මෙහෙය මෙරට අන්තවාදී කල්ලියකගේ කුරිරු වුවමනාවක් ඉටුකර ගැනීමට යොදවා ගැනීම මෙරට සිදුවූ බිහිසුණු ඛේදවාචකයක් බව කිව යුතුය. ප්‍රහාරය කොතරම් දරුණු වුවද වේදනාත්මක වුවද අප රටක් වශයෙන් යළිත් නැගී සිටිය යුතුය. යුද්ධයෙන් පසුව වසර දහයක් තිස්සේ මේ රටේ ජනතාව භුක්ති විඳි අප්‍රමාණ වූ නිදහස යළි අහිමි කරගැනීමට මේ රටේ කිසිදු ජාතියකට හෝ ආගමකට හෝ අයත් කිසිම පුද්ගලයකුට හෝ අවශ්‍යතාවක් ඇතැයි අපි මොහොතකටවත් නොසිතමු. මේ අවස්ථාවේ “තව්හීඞ් ජමාත්” සංවිධානයේ ක්‍රියා හේතුවෙන් බලවත් අසීරුතාවකට පත්ව සිටින මෙරට මුස්ලිම් ජනතාව වුවද රටේ සෙසු ජනතාව සමඟ එම නිදහස භුක්ති විඳීමට විරෝධයක් දක්වනු ඇතැයි අපි කිසිසේත් නොසිතමු. ඒ ආකාරයට රට තුළ නිදහසේ කටයුතු සිදුකර ගැනීමට තිබිය යුතු වාතාවරණය යළි ඇති කර ගැනීමට සියලු ජනතාවගේ සහයෝගය ලැබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එය යථාර්ථයක් කර ගැනීමේ පුරෝගාමී මෙහෙවර ඉටුවිය යුත්තේ ආණ්ඩුව අතිනි.


තව මාසයකට නොඅඩු කාලයකදී වෙසක් සමය එළඹෙයි. මෙවර වෙසක් උළෙල සැමරීම කොයි ආකාරයකට සිදුවන්නේදැයි දැන්ම කිව නොහැකි වුවද ඒ දින කිහිපය කොළඹ ඇතැම් ප්‍රධාන නගර ජනතාව වැඩියෙන් ගැවසීම වැළැක්විය නොහැක. එවැනි අවස්ථාවකට මුහුණ දීමට නම් රටේ ආරක්ෂාව ඒ වනවිට ඉතාමත් ශක්තිමත් තත්ත්වයක පැවැතිය යුතුය. බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ජනතාවගේ සිත්සතන් බියෙන් සැකෙන් තොරව පැවතීම අවශ්‍යය. ඒ තත්ත්වය උදාකරදීමට නම් ආණ්ඩුව නිසි සැලසුම් අතැතිව කල්පනාකාරීව, තිර අදිටනින් යුතුව ක්‍රියාත්මක විය යුතුය. පුරාජේරු කතා කීම පමණක් ප්‍රමාණවත් නැත.


රට තුළ දැනට පවතින දැඩි පීඩනයෙන් මිදී, කඩා වැටුණු දේවස්ථාන, සංචාරක හෝටල් ඇතුළු ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කොට, ජනතාවගේ මනස යළි හැඩගස්වා ගැනීමට නම් ඒ ආකාරයට සියලු_ ජාතීන් එක්වීම අවශ්‍යය. කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට මින් ඉදිරියේදී කිසිම ඉඩකඩක් නොතැබිම අරමුණු කරගත යුතුය. එසේම බෝම්බ ප්‍රහාරවලට වගකිවයුතු කිසිම ආගමික හෝ ආගමික නොවන හෝ අන්තවාදී හෝ මෙකී නොකී සියලු කණ්ඩායම්වල පිරිස්වලට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම් සිදුවෙද්දී එක් එක් ප්‍රදේශවලින් තමන්ට ලැබෙන ඡන්ද කුට්ටි දෙස බලාගෙන වැරදිකරුවන් මුදාගැනීමේ තුච්ඡ ක්‍රියාවලින් වැළකීමට සියලුම දේශපාලනඥයන්ගේ වගකීමය. එවැනි බලපෑම්වලින් එළියට පැනගත් පුද්ගලයන් මරාගෙන මැරුණු බෝම්බකරුවන් අතර සිටි බවට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගෙන්ම හෙළිවන තොරතුරු මත මේ බව ප්‍රකාශ කිරීමට සිදුවීමත් අපට කනගාටුවකි. එහෙත් යථාර්ථය එයයි.


මේ රට තුළ 350කට අධික මරණ සංඛ්‍යාවක්ද 500කට අධික තුවාලකරුවන්ද සිටින මොහොතක එම ඛේදවාචකය ගැන කතා කිරීමට කැඳවනු ලැබූ පාර්ලිමේන්තු රැස්වීමේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ලැජ්ජා සහගත බවද මෙහිදී පෙන්වාදීම අවශ්‍යය. මේ රට සිටින්නේ තමන්ගේ විකට ජවනිකා නැරඹිය හැකි තත්ත්වයක නොවන බව ඇතැම් මැති ඇමැතිවරුන්ට නොතේරීම මහත් අවාසනාවකි. අඩුම වශයෙන් සිදුවූ මරණ සහ තුවාල හේතුවෙන් අතිශය වේදනාවට පත්ව සිටින මේ රටේ දහස් ගණනක් වන පවුල් සාමාජිකයන් පිළිබඳව හෝ ඔවුන්ගේ අවධානය යොමු විය යුතුව තිබිණි. එහෙත් ඒ වෙනුවට අප දුටුවේ දේශපාලන පක්ෂ වශයෙන් එකිනෙකට පහර ගසා ගැනීම්ය. රට යථා තත්ත්වයට පත්කර ගැනීමට නම් ඊට වඩා පුළුල් අරමුණු මත පිහිටා කටයුතු කිරීම අවශ්‍ය බව පෙන්වා දෙමු. ඒ සඳහා පූර්වාදර්ශය පැමිණිය යුත්තේ දේශපාලන පක්ෂ නායකයන්ගෙනි.


බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම බාරගෙන සිටින්නේ අයි.එස්. සංවිධානය බව දැන් ප්‍රකාශ වී තිබේ. එහෙත් එවැන්නක් මේ රට තුළ සිදුවීමේ වගකීම බාරගත යුත්තේ කවුදැයි යන ප්‍රශ්නය හමුවේ තවම පැහැදිලි පිළිතුරක් නැත. මේ වගකීම පොලිස්පතිවරයාගේ, එසේත් නැත්නම් ආරක්ෂක ලේකම්වරයාගේ හෝ එසේත් නැත්නම් වෙනත් ආරක්ෂක නිලධාරීන්ගේ පිටින් යවා අත සෝදාගැනීමට ආණ්ඩුවට හැකියාවක් ඇතැයි අපි නොසිතමු. එවැනි වගකීමක් බාරගැනීම ඉදිරි කාලය තුළදී රටේ ආරක්ෂාව වඩාත් ශක්තිමත් කරගැනීමට ලොකු රුකුලක් බව අපගේ පිළිගැනීමයි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රමුඛ මෙරට ආණ්ඩුවේ ලොකුම වගකීමය. එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීමෙන් හෝ නිවේදන නිකුත් කිරීමෙන් හෝ කමිටු පත්කිරීමෙන් හෝ එම වගකීම ඉටුවන්නේ නැත. ඒ සඳහා තමන් තුළ තිබෙන කැපවීම සහ අධිෂ්ඨානය නායකයන් විසින් පෙන්විය යුත්තේ කථාවෙන් නොව ක්‍රියාවෙන් බව අපි දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

 



අදහස් (2)

එකිනෙකාට දොස් නොකියා එක්වී ප්‍රශ්නයට මූණ දෙන්න

Raveendra Friday, 26 April 2019 10:27 AM

තම තමන්ගේ වාසිය වෙනුවෙන් "ඉටිපන්දම්" නොව පැට්‍රල් දමා ගිනි පත්තුකරන්න තරම් මෙම " නිහීන හිඟන දේශපාලකයන්" පසුබට නොවන බව නොතේරීම කණගාටුවකි. අහිංසක නිරායුධ පුරවැසියන්ගේ මළමිනී උඩින් හෝ තම මූසල ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට පසුබට නොවන මෙම 225 ක් වූ අය පිළිබඳව අප සත්‍ය පැවසීම අපගේ මාතෘභූමියට කරන සේවයකි. එබැවින් මේ පාදඩයින් 225ම හැකි ඉක්මණින් එළවා දැමිය යුතුමය. තවදුරටත් මහජන මුදල් වලින් වතුර පොදක් වත් බීමට මේ අයට අයිතියක් නැති බවත්, නොබියව දන්වන්නෙමු.

:       0       428

Lakshman Saturday, 27 April 2019 08:10 AM

ඉතාම හොද අදහසකි. අපි සැවොම එක්වෙමු මේ දේශපාලකයන් පන්නන. අපි බැනර් ගසා උඹල අපේ මහජන නියෝජිතයෝ නෙමෙයි තවදුරටාත් කියල පාර්ලිමේන්තු වට යැව්මේ ඉන්න අවශ්‍යයි.

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site