දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමේදී එක්තරා අමාත්‍යාංශයක ලේකම්වරයකු යැයි කියාගත් අයකුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමෙන් උරණ වූ එම තැනැත්තා පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අදාළ සිදුවීම ඒ මොහොතේ එතැන සිටි පුද්ගලයකු වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැර ඇත.
මෙම සිදුවීම් මාලාවේ අතිභයානකම සිදුවීම වන්නේ එම සිදුවීමෙන් විසි හතර පැයක් ගතවීමට මත්තෙන් එම පොලිස් නිලධාරියා වෙනත් ස්ථානයකට මාරුකර යැවීමය. ඒ අනුව අධිවේගී මාර්ගයට පිවිස ඇත්තේ ‘ලොක්කෙකු’ බව පැහැදිලිය. නොඑසේ නම් පොලිස් කොමිසම තිබියදී, රටේ පොලිස්පතිවරයකු සිටියදී රාජකාරිය අකුරටම ඉටු කළ පොලිස් නිලධාරියකු විසි හතර පැයක් ගතවීමට මත්තෙන් මෙසේ මාරුකිරීමට නොහැකිය. මේ ලොක්කා තම ‘ලොකුකම’ පාවිච්චි කර තිබෙන්නේ රාජකාරිය අකුරටම ඉටු කළ එඩිතර පොලිස් නිලධාරියකුට ස්ථාන මාරුවක් ලබාදීමටය.
පොලිස් නිලධාරියා සිදුකර තිබෙන්නේ රාජකාරියකි. ඒ ඔහුට පවරා ඇති රාජකාරියකි. ඔහු සිදුකර තිබෙන්නේ රියැදුරු අසුනේ සිටි තැනැත්තාගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටීම පමණි. රියැදුරු බලපත්‍රය ලබා නොදී ඔහුගේ ලොකුකම ඉදිරිපිට දණින් වැටෙන පොලිස් නිලධාරීන්ට කතා කරමින් පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කර තිබේ. තමන් අහවල් අමාත්‍යාංශයේ දෙවැනියා බවත් ඒ හෙයින් තමන්ගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරියාට බලයක් නැති බවත්ය. පොලිස් නිලධාරියා එයට පිළිතුරු වශයෙන් පවසන්නේ ‘ඩිරෙක්ටර් මහත්තයා කියලා තියෙන්නේ ඔබතුමන්ලා දැනුවත් කරන්න කියා’ යනුවෙනි. හරි ඔබතුමාගේ විස්තර ටික ගත්තා. ෂීට් බෙල්ට් එක දාගෙන වේගෙන් යන්න එපා. සීයයිනේ. යනුවෙන් උපදෙස්ද දී ඇත. ඒ ඔහුගේ රාජකාරියට අයිති කොටස්ය. එහෙත් දිගින් දිගටම ‘ලොක්කා’ තප්පුලන විට පොලිස් නිලධාරියා පවසන්නේ ‘ඉතින් මහත්තයා මෙහෙමනේ. ඩොක්ටර් බෝඩ් එක ගහගෙන ඩොක්ටර්ලා නොවන අය යනවා. අමාත්‍යාංශ ලේකම් බෝඩ් එක ගහගෙන අමාත්‍යංශයේ ලේකම් නොවෙයි යන්නේ යනුවෙනි.
තමන් තනතුරු තාන්න මාන්න අතින් කෙතරම් ගලිවර් කෙනකු වුවද මෙම එඩිතර පොලිස් නිලධාරියා ඉදිරිපිට ලිලිපුට්ටකු වූ බව දැනුණ හෙයින් එම ලජ්ජාවෙන් බේරීමට ඔහු සිදුකරන්නේ පොලිස් නිලධාරියාව වහාම වෙනත් ස්ථානයකට මාරු කරවීමය. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ වාහනයේ සිටි කාන්තාවක්ද පොලිස් නිලධාරියාට ‘පාට්’ දැමීමය.
නීතිය ඉදිරිපිට සියල්ලෝම සමාන වෙති. මේවා ගරු කටයුතු ශිෂ්ට සම්පන්න සමාජ තුළ ඉහළ සම්භාවනාවන්ට පාත්‍ර වන සම්ප්‍රදායන්ය. එහෙත් අප රටේ තුට්ටු දෙකේ ලොක්කන් නිසා මෙම ගරු කටයුතු පිළිගැනීම් බලු මයිල් ගාණට වැටේ. තමන් ලොක්කෙකු නිසා සියල්ල තමන්ට අවශ්‍ය පරිදි හැසිරිය යුතුය යන මෝඩ ලාමක සිතුවිලි තුට්ටු දෙකේ ලොක්කන්ට සිතෙන්නට පටන් ගනී. නීතිය තමන්ට උඩින් නොව තමන්ට යටින් තිබිය යුතු බව සිතති. එසේ සිතා එසේ හැසිරෙති. එහෙත් අවසානයේ සිදුවන්නේ මුළු මහත් සමාජයම ඉදිරිපිට තමන් නිරුවත් වන බව ඔවුහු නොදනිති.
නොදන්නාකම විනාශය වළක්වන්නේ නැත. මෙම සිදුවීමෙන් ඒ බව මනාව පැහැදිලිය. අදාළ ලොක්කා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මූලස්ථානය පවසයි. එහෙත් ලොක්කෙකු නිසා එම පරීක්ෂණ සාධාරණව, විනිවිදව සිදුවේදැයි සැකයකි. තමාගේ රියදුරු බලපත්‍රය ඉල්ලූ පොලිස් නිලධාරියා විසි හතර පැයක් ඉක්මයාමට මත්තෙන් වෙනත් ස්ථානයකට මාරුකර යැවීමට තරමට බලයක් ඇති ‘ලොක්කාට’ පරීක්ෂණ තමන්ටම අවශ්‍ය පරිදි මෙහෙයවිය හැකි යැයි අපි සිතමු.
මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කළ බවය. එහෙත් මෙයින් මෙහි පව් නොසේදේ. රට ඉල්ලා සිටින්නේ බලවතුන් ඉදිරිපිට නොනැමෙන පොලිසියකි. කෙළින් වැඩ කරන අදූෂිත පොලිසියකි. එබඳු පොලිස් නිලධාරින්ට දඬුවම් ස්ථාන මාරුවීම් ලබා දී දඬුවම් කරන්නේ නම් අපගේ සිහින ලෝකයේ ඇති පොලිසිය සිහිනයක්ම වනු ඇත.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට පෙර නවසීලන්තයේ අගමැතිණියකට වේගසීමාව ඉක්මවා වාහනය පැදවීම නිසා දඩගෙවීමට සිදුවුණා. එහෙත් ලංකාවේ ආහාර කුක්කන් පුස්පාට් දානවා. මෝඩකමනේ...
මටනම් හිතෙන්නෙ මේ අගෙ ඉඳන් කන කන අයයි පවතින ආණ්ඩුවෙන් වරප්‍රසාද අරගන්න ගමන් එහි ඉහලම මිනිස්සු අපහසුතාවයට පත් කරන්න මේ අකරයෙ මෝඩ වැඩ කරනවා වෙන්නත් පුලුවන්
2001 වසරේ නවසීලන්තයේ වූ සිදුවීමක් මෙසේය. එරට පොලිස්පති රාජකාරි වලින් බැහැරවී යෙහෙළියක සමග පුද්ගලික ගමණක් යමින් සිටින අතර ඔවුන්ගේ රථය පොලිස් නිලධාරියෙක් නතර කළේය. රථය පැදවූයේ කාන්තාවය. ඇයගෙන් යම් ප්‍රශ්න කිරීමක් කරන අතර පොලිස් පති රථයෙන් බැස පැමිණ තමා පොලිස්පති බවට නිලධාරියාට පැවසීය. නිලධාරියාට තම තත්ත්වය මගින් බලපෑමක් කිරීමට උත්සාහ ගත්තේයැයි මාධ්‍යය විසින් තදින්ම හඬ නංවනු ලදුව පොලිස්පති තනතුරින් ඉල්ලා අස්වීය. අපරටේ සිදුවූ මෙම සිදුවීමේ ඉතිරි කොටස මාධ්‍යයට පැවරී ඇත. මෙවැනි කාරණා ඉස්මතු කිරීම ගැන ලංකාදිපයට ස්තුති වන්ත විය යුතුය.
මේ ලේකම්ව ඒ වගේ තනතුරක තියන්න බෑ වගේ. එක්කෝ තදබල අනතුරු ඇඟවීමක් ඉහල නිලධාරීන්ගෙන් ඔහුට ලැබෙන්න ඕන ආයෙමත් මෙවැනි දේ නොකරන්න කියා සහ ඊළඟට කරොත් ලැබෙන දඬුවම සඳහන් කරලා. නැත්නම් ඔහුව බලය අඩු තනතුරකට පහළ දමන්න ඕන. ඒ වගේම ඔහුගේ කියමනට පොලිස් නිලධාරියා මාරු කරපු අනිත් ඉහල පොලිස් නිලධාරියා හෝ නිලධාරීන් ගැනත් පියවර ගන්න ඕන. රට හදන්න නම් දේශපාලකයන් විතරක් නොවෙයි ඉහල නිලධාරීන් පවා හැදෙන්න ඕන. අපි දේශපාලකයන් ගැන කියලා බැනලා විතරක් හරි යන්නේ නෑ. සරත් වීරසේකර මහතා මාරුව විතරක් අවලංගු කරලා නිකං ඉන්න හදනවනම් එහි ලොකු අඩුවක් තියනවා. අදාළ ඇමතිවරු දෙදෙනාම මේ ගැන පියවර ගත යුතුයි.
මේවා ගැන කතාකරලා මේවායේ කොටලා කාලේ නාස්ති කරගැනීම පාපයක්... නමුත් මේ රටේ, මේ සංස්කෘතිය, කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ. මොකද මිනිස් ඝාතකයින්ට සමාව දීලා එළියට දමලා මහතැන්වලින්ම ආදර්ශය දීම අපේ සංස්කෘතික ලක්ෂණයක් නොවැ... එහෙම එකේ මේවා මොනවාද?