හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතා හා වෙනත් වැදගත් අවස්ථාවල දී පැවැත් වූ කතා සමඟ සන්සන්දනය කරන විට ඉකුත් බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැත් වූ ඔහුගේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව අන්තර්ගතයෙන් ද අන්තර්ගයේ ප්‍රගතිශීලි බවෙන් ද සැමට ආමන්ත්‍රණය කිරීමේ ස්වභාවය අතින් ද බොහෝ ඉදිරියෙන් තිබිණි.

රටේ සියලු දේශපාලන පක්ෂ හා ජන කොට්ඨාසවලට ආමන්ත්‍රණය කෙරෙන අයුරින් එම කතාව ඉතා පරිස්සමෙන්  සකස් කොට ඇති බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් ඔහු  බලයට පත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකගේ නොරිස්සුමට ලක් විය හැකි ඇතැම් කොටස් ද එම කතාවේ ඇතුළත් විය.

එම කොටස් කතාවේ ගලා යෑමට අවශ්‍ය වන හෙයින් අනායාසයෙන් ඇතුළත් කෙරුණු ඒවා ද නැත්නම් එම ස්ථානවල දී අප සඳහන් කළ පරිස්සම ගිලිහී ගියාදැයි පැහැදිලි නැත.

අනුරාධපුරයේ දී ජනාධිපති ලෙස දිව්රුම් දීමෙන් පසු පැවැත් වූ කතාවේදී මෙන්ම ජාතිය ඇමතීමේ ඇතැම් කතාවලදී ද ආරම්භයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් බලයට කරන ලද්දේ  සිංහල බෞද්ධ ජනතාව විසින් යැයි ප්‍රකාශ කළේය. නැත්නම් එම අදහස කතාවේ අන් තැනෙක සඳහන් කළේය. අනෙකුත් ජන කොට්ඨාස සමඟින් අනායාසයෙන්ම මානසිකව ඈත්වන බව ඔහුට අවසානය දක්වාම වැටහුණේ නැත.

වික්‍රමසිංහ මහතා කළේ එහි අනෙක් පැත්තයි. තමන් වෙනස් කෙනෙකැයි කියා පෑම සඳහා කරන ලද්දක් ද නැත්නම් රටේ දැනට පවතින සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද විසඳීමේදී සියලු ජනකොටස්වල නියෝජිතයන්ගේ සහාය අවශ්‍ය යැයි සිතා එම සහාය දිනා ගැනීමේ අරමුණෙන් ඔහු සියලු ජන කොටස්වලට ආමන්ත්‍රණය කළේ ද යන්න පැහැදිලි නැත.

තමන් ජනාධිපති ලෙස තෝරා පත් කරගන්නා ලද්දේ පාර්ලිමේන්තුව විසිනැයි සිය කතාවේ ආරම්භයේදීම සිහිපත් කළ වික්‍රමසිංහ මහතා මෙම ගරු සභාව ශ්‍රී ලංකාවේ විවිධ ජන කොට්ඨාස නියෝජනය කරන්නකැයි ප්‍රකාශ කළේය. එසේම සිංහල වුවද, දෙමළ වුවද, මුස්ලිම් වුවද, බර්ගර් වුවද වෙනත් වාර්ගික කණ්ඩායමකට අයත් වුවද ඔබලා මෙහි රැස්වී සිටින්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වශයෙනැයි ද ඔහු සඳහන් කළේය.

ඒ හැර ඔහුගේ කතාවේ ප්‍රධාන කාරණා කිහිපයකට මුල් තැන දී තිබිණි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගෙන එය දියුණු කිරීමේ තම සැලැස්මේ පදනම පැහැදිලි කිරීම ඒ සඳහා ක්ෂණිකව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කිරීම හා විරෝධතා දැක්වීමේ අයිතිය මෙන්ම එහි සීමා ගෙනහැර දැක්වීම එම කාරණා කිහිපයයි.

ඔහු සිය ආර්ථික වැඩ පිළිවෙළ පැහැදිලි කළේ කතාවේ තැනින් තැන වශයෙනි. එම සැලැස්මේ මුල් අදියර ලෙස ඔහු විස්තර කළේ ඔහු අගමැති වශයෙන් පත්වන්නට පෙරම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් ඉතා ප්‍රමාදවී ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කේන්ද්‍රකරගත් ආධාර ලබා ගැනීමේ හා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළයි.

‘මූලික පියවරක් වශයෙන් වසර හතරක වැඩ සටහනක් සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළා. අපි මේ මාසයේ සිට එම සාකච්ඡා ඉදිරියට කරගෙන යනවා. කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා ඉතා ඉක්මනින් හා සාර්ථකව අවසන් කිරීම අපේ අපේක්ෂාවයි. ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශකයන් වන ලසාර්ඩ් හා ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන සමඟ එක්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම අවසන් කිරීම ආරම්භ වී තිබෙනවා. නුදුරු අනාගතයේ දී අපි මෙම සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කොට ණය ආධාර දුන් රටවල් සමඟ සාකච්ඡා කරනවා. ඉන්පසු එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා පෞද්ගලික ණය හිමියන් සමග ද සාකච්ඡා ආරම්භ කරනවා’ යැයි ඔහු සඳහන් කළේය.

ඉන්පසු සිය කතාවේ තවත් තැනෙක තම ආර්ථික සැලැස්මේ ප්‍රතිපත්තිමය පදනම ඔහු විස්තර කරයි. ‘අපගේ රට තව දුරටත් රජයට අයත් පාඩු ලබන ආයතන පවත්වාගෙන යන්නේ නම් රට ආර්ථික වශයෙන් තව දුරත් කඩා වැටෙනු ඇති. එහෙයින් මෙවැනි ආයතන අහෝසි කරන්නට අපි ප්‍රතිපත්තිමය තීන්දුගත යුතු වෙනවා. කෙසේ වෙතත් 21 වැනි ශත වර්ෂයේ අවසානයට පෙර ඉන්දු-පැසිපික් කලාපය ආර්ථික වශයෙන් ලෝකයේ බලවත්ම කලාපය වනු ඇතැයි මම සිතනවා. මේ පසුබිම තුළ අපගේ රටේ භූගෝලීය පිහිටීම උපායික වශයෙන් අතිශයින්ම වැදගත්. මෙම තත්ත්වයෙන් අප උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ. මෙම කාරණය සැලකිල්ලට ගෙන අපගේ ව්‍යාපාරික නීති හා ප්‍රතිපත්ති සකස් කළ යුතු වෙනවා.

අවසානයේ දී තමන්ගේ දීර්ඝ කාලීන සැලැස්ම එසේත් නැත්නම් අපේක්ෂාව ඔහු විස්තර කරයි. එය වසර විසිපහක් තරම් ඈතට යන නිසා එය ක්‍රියාත්මක වුව ද ඔහුගේ පරම්පරාවේ බොහෝ දෙනකු එහි සාර්ථක, අසාර්ථක බව දකින්නට ජීවත් නොවනු ඇත. තමන් සිටුවන ගසේ ඵල භුක්ති විඳින්නට තමන්ට නොහැකි වනු ඇතැයි ඔහුම සිය කතාවේ දී සඳහන් කරයි.

‘2025දී ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කිරීම අපගේ ඉලක්කයයි. 2026දී ශක්තිමත් ආර්ථික පදනමක් ගොඩනැඟීම සඳහා ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමකට ගෙන ඒම අපගේ උත්සාහයයි. දැනට රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 140ක් වෙනවා. 2032 දී මෙය සියයට සියයකට වඩා අඩු මට්ටමකට ගෙන ඒම අපගේ සැලැස්මයි.

‘ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මගින් අප අපගේ රටත්, ජාතියත් ආර්ථිකයත් ගොඩ නඟන්නේ නම්, නිදහසේ සියවැනි සංවත්සරය සමරන 2048 වසරවන විට අපට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වන්නට පුළුවන්.’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඇත්ත වශයෙන්ම මෙම අවසාන කොටස රටේ සියලු දෙනාගේ අපේක්ෂාව විය යුතු බවට විවාදයක් තිබිය නොහැකිය. එහෙත් එම කොටස පිළිබඳ විද්‍යාත්මක සැලැස්මක් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හෝ සකස් කොට ඇත්ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නිදහසේ ශත සංවත්සරය සමරන 2048දී මේ රට පූර්ණ සංවර්ධිත රටක් විය යුතුය යන්න ජනාධිපතිවරයා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීද සඳහන් කරන ලද කාරණයකි. ඒ එජාපයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද කතාවේදීය.

පෙනෙන්නට තිබෙන්නේ මෙය රටේ සියලු දෙනාගේ මෙන්ම ජනාධිපතිවරයාගේ ද අපේක්ෂාවක් හා සිහිනයක් විනා ඒ පිළිබඳ කොහේ හෝ නිසි ප්‍රායෝගික මාර්ග සිතියමක් සහිතව වැඩ පිළිවෙළක් ඇති බවක් නොවේ. උදාහරණයක් වශයෙන් දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 140ක් වන රාජ්‍ය ණය ප්‍රමාණය 2032 දී සියයට සියයකට වඩා අඩු කරන්නේ කෙසේද? යන්න පැහැදිලි කරන මාර්ග සිතියමක් කොහිවත් ඇති බවක් නොපෙනේ. එහෙත් එය ඉතා හොඳ අපේක්ෂාවකි.

ශ්‍රී ලංකාවට එවැනි දීර්ඝ කාලීන වැඩ සටහනක් තබා ඊට වඩා කෙටි කාලීන වැඩ සටහනක් හෝ නැති බව මෑතක දී ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක් මඟින්ද පෙනේ. ලෝක බැංකුව මෙරටට යම් යම් ආධාර දෙන්නට සූදානම් බවට පළවූ ඇතැම් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම බැංකුව විසින් ඉකුත් මැයි 24 වැනිදා නිකුත් කරන ලද නිවේදනයකින් කියැවුණේ ශ්‍රී ලංකා රජය ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන තෙක් ශ්‍රී ලංකාවට එවැනි මූල්‍ය පහසුකමක් දෙන්නට සැලසුම් නොකරන බවයි. එම බැංකුව විසින් ඉකුත් ජූලි 29 වැනි නිකුත් කරන ලද නිවේදනයකින් ද එම අදහසම පළ කොට ඇතැයි රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කොට තිබිණි.

ලෝක බැංකුවේ එම පළමු නිවේදනය නිකුත් කෙරෙන විට රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා විය. දෙවැනි නිවේදනය නිකුත් කෙරෙන විට ඔහු මෙරට ජනාධිපති ධුරයට පත්වී සතියක් පමණ ගතවී තිබිණි.

පසුගිය දශක ගණනාවක් තුළ විවිධ ආණ්ඩු විසින් විශේෂයෙන්ම මැතිවරණ කාලවල දී ඉතාමත් ආකර්ෂණීය සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එහෙත් ඒවා මහ පොළොවේ යථාර්ථයක් බවට පත්වූයේ නැත. එහෙයින් ඉදිරියේදීද ඕනෑම සංවර්ධන සැලැස්මක් දෙස බැලිය යුත්තේ එම සැලැස්මේ අපේක්ෂා අනුව නොව එහි ප්‍රායෝගික සම්භාවිතාව අනුවය.

ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ආසන්න වශයෙන් අනෙක් සෑම පක්ෂයක්ම පාහේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගය කොට තිබිණි. එම කතාව අවසානයේදී ජනමාධ්‍යවේදීන් ඒ ගැන හිටපු ජනාධිපති හා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු ඒ ගැන පැහැදිලි අදහසක් පළ නොකොට ඉවත්ව යනු රූපවාහිනී විකාශන මඟින් දැකගත හැකිවිය.

පොදුජන පෙරමුණට නොසතුටු වන්නට තරම් හේතු නොතිබුණාම  නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ජපාන ආධාර ඇතිව ක්‍රියාත්මක වීමට නියමිතව තිබු සැහැල්ලු දුම්රිය සේවය අවලංගු කිරීම හා ඩොලරයට නිශ්චිත රුපියල් අනුපාතයක් නියම කිරීම විදේශ  විනිමය අර්බුදයට හේතු වූ කරුණු දෙකක් වශයෙන් ජනාධිපතිවරයා සිය කතාවේ සඳහන් කොට තිබිණි. එමෙන්ම මැයි 9 වැනිදා ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට පහර දුන් අයට ද නීතිය එකසේ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව පැවසීය. සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කරන්නට යාමේ දී එල්ල වූ විරෝධතා සිහිපත් කළේය. රටක ජනාධිපතිවරයකු රජකු හෝ දෙවි කෙනකු නොවේ යැයි කීවේය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම ගැනත් දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්නට අදහස් කරන බවත් ජනාධිපතිවරයා කළ සඳහන නිසා පොදුජන පෙරමුණ අසීරුවට පත් වන්නටද ඇත. මන්දයත් තවමත් ආණ්ඩුව පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් වන නිසාය. එම පෙරමුණ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය නිසා ප්‍රශ්නයක් ඇති බව  පිළිගන්නේ නැත.

ප්‍රතිපත්ති ප්‍රකාශන කතාවේ සෑහෙන කොටසක් වෙන් වී තිබුණේ යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුවේ අවශ්‍යතාව පැහැදිලි කිරීමට හා ඊට දේශපාලන පක්ෂ යොමු කරවා ගැනීමටය. මේ වනවිට මෙතෙක් ජාතික දේශපාලනයට සෘජුව සම්බන්ධ වීමට පැකිළුණු දෙමළ ජාතික සන්ධානය ද ඇතුළුව බොහෝ පක්ෂ ජනාධිපතිවරයාගේ එම අරාධනය පිළිගන්නට සූදානම් බවක්  පෙනෙන්නට තිබේ.

දැනට ඉදිරිපත් කෙරෙන අදහස් අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවකින් අපේක්ෂා කෙරෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමය. ජනාධිපතිවරයා ඊට දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්නේ  තමන් එම අර්බුදය විසඳන්නට සැලසුම් සකස් කොට ඇති බව පවසමිනි.

මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නය නම් දේශපාලන පක්ෂවලට ආණ්ඩු පක්ෂයක් ලෙස එක්වී සහයෝගයෙන් ප්‍රශ්නවලට  විසඳුම් සෙවිය හැකි නම් එම පක්ෂවලටම පාර්ලිමේන්තුවේ දී එම ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැක්කේ මන්ද යන්නයි. එසේ ආණ්ඩු පක්ෂය  සමඟ සහයෝගීව කටයුතු කළ හැක්කේ ඇමැතිධූර ලැබෙන්නේ නම් පමණක් ද යන්නද මතුවන ප්‍රශ්නයකි.

ජනාධිපතිවරයා මේ වනවිට මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට යවා ඇති ලිපියෙන් යෝජනා කොට ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් නොව අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට පැමිණෙන ලෙස යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. එය සැබෑවක් නම් ජවිපෙට ද මෙම සාකච්ඡාවලට සහභාගි විය හැකිය.

ජවිපෙ තර්කයද ඉවත ලිය හැකි එකක් නොවේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැඟීමට පෙර අදාළ ප්‍රශ්නය විසඳීම සඳහා වූ ප්‍රතිපත්තිමය පදනමක් පිළිබඳ එකඟතාවක් හා ඒ සඳහා වූ කාල රාමුවක් අවශ්‍යයැයි එම පක්ෂය පවසයි. එසේ නැතිව තම පක්ෂය සර්ව පාක්ෂික ආණ්‍ඩුවකට සම්බන්ධ නොන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් බදාදා පැවසීය.

එවැනි ප්‍රතිපත්ති එකඟතාවක් හා කාල රාමුවකින් තොරව ගොඩනැඟෙන ආණ්ඩුවක ප්‍රතිඵලය සමහර විට දැවැන්ත ඇමැති මණ්ඩලයක් හා ඉතාමත් දුර්වල කුඩා විපක්ෂයක් පමණක්ම විය හැකිය. එසේම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ කාල රාමුව වැදගත් වන්නේ වත්මන් පාර්ලිමේන්තුව හා ජනතා අපේක්ෂා අතර විශාල පරතරයක් තිබෙන බව පසුගිය  දිනවල ඉතා පැහැදිලිව පෙනී ගිය හෙයිනි. මුලින් සිදුවිය යුත්තේ මෙම කාරණා ගැන දේශපාලන පක්ෂ අතරත් සිවිල් සමාජය තුළත් විවෘත සංවාදයක් ඇති වීමයි.

(***)