IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සමාජය මේ තරමටම පිරිහෙන්නේ ඇයි?

ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් තිබෙන්නේ ද යන සැකය තීව්‍රවන සිදුවීම් බහුලවෙමින් තිබේ. නීතියේ ආධිපත්‍ය පොදු සමාජ අපේක්ෂාව වුවද එය යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීම අතිශයින්ම දුෂ්කර අභියෝගයක් බවට පත්ව ඇති සෙයකි. ඒ බව පසක් කරන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනි අවි සහ හෙරොයින් සොරාගෙන පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු, ඊට අනුබල දුන් අයකු ඇතුළු තිදෙනකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉකුත් 2 වැනිදා අත්අඩංගුවට ගත් බවය.

නීතියේ දෙවඟන වැඩවසන අධිකරණ සංකීර්ණයක් සැලකෙන්නේ ශුද්ධ භූමියක් ලෙසය. එම අධිකරණ පරිශ්‍රය තුළ ඉතා සංවර මෙන්ම ගෞරවණීය ලෙස හැසිරීමට සියල්ලන්ටම සිදුව තිබෙන්නේ එහෙයිනි. එම සංවර මෙන්ම ගෞරවණීය හැඟීමෙන් පිළිබිඹු වන්නේ නීතියට ඇති භය පක්ෂපාතීත්වය විනා අන් යමක් නොවේ. සමාජයක පැවැත්ම, සන්සුන් සංහිඳියාව ආරක්ෂා වන්නේ නීතියට ඇති එම භය පක්ෂපාතීත්වයේ ප්‍රමාණය අනුවය. එවන් ශුද්ධ භූමියක් චෞර කප්පිත්තන්ගේ ග්‍රහණයට හසුවී තිබේ නම් එමගින් රටේ අනාගතය සම්බන්ධයෙන් ඇතිවිය යුත්තේ තිගැස්මකි.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරිය දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. ඒ මුදලට කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවටය. බොහෝ අධිකරණ සංකීර්ණ මහ රාත්‍රියේ සොරුන්ගේ ප්‍රහාරයට ලක්වන පුවත් ද බහුලය. එහිදී සොරුන්ගේ අවධානයට ලක්වන්නේ විවිධ නඩුවලට සම්බන්ධ වැදගත් ලිපි ගොනුය. මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වන්නේ එම අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි සහ හෙරොයින් සොරාගෙන දකුණේ ක්‍රියාත්මක පාතාල කල්ලිවලට රුපියල් ලක්ෂ ගණනකට විකුණා ඇති බවය.

අප ප්‍රවෘත්තියට අනුව සොරාගන්නා ලද ගිනි අවි සහ හෙරොයින් විකිණීමට ආධාර අනුබල දුන් බව පැවසෙන පුද්ගලයකු සහ නඩු බඩු කාමරයෙන් සොරාගත් විදේශයේ නිෂ්පාදිත රිවෝල්වරයක් රුපියල් දෙලක්ෂ අසූදහසක මුදලකට මිලදී ගත් බව කියන බෝට්ටු හිමිකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවය. දකුණේ උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ දික්වැල්ල ප්‍රදේශයේ දී පාතාලයට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගත් අයකු ළඟ තිබී සොයාගත් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවිය ද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයෙන් සොරාගන්නා ලද එකක් බවය.

දිවා රෑ වෙනසකින් තොරව පාතාලයන් මරාගනිද්දී ‘පොලිසිය මර නින්දේ’ යැයි ඇතැමෙක් චෝදනා කරති. බැලූ බැල්මට එහි සත්‍යතාවක් තිබේ. එහෙත් මෙහිදී පොලිසියට ද සාධාරණය ඉටුවිය යුතුය. පොලිසිය විමර්ශන සිදුකර අතිදුෂ්කර මෙහෙයුමකින් පසුව ගිනි අවි සමග පාතාලයන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කරයි. සැකකරුවන් බන්ධනාගාරයට යැවෙන අතර නඩු භාණ්ඩ අධිකරණයේ නඩු බඩු කාමරයට යැවෙයි. එසේ නඩු බඩු කාමරයට ගිය ගිනි අවි සහ මත්ද්‍රව්‍ය හොර පාරෙන් යළිත් පාතාලයන් අතට පත්වේ නම් ප්‍රශ්නය ඉතාම බරපතළය. දකුණේ ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ඉකුත් සමයේ වෙඩි පත්තු වූයේ කෙසේදැයි දැන් පැහැදිලිය. එහෙයින් මෙම චෞර කප්පිත්තන් සිදුකර තිබෙන්නේ කෙතරම් බරපතළ වරදක්ද යන්න පැහැදිලිය. මොවුන්ට හැකි ඉහළම දඬුවම් පැමිණවීම හැර වෙනත් විකල්පයක් නැත.

(***)

 



අදහස් (0)

සමාජය මේ තරමටම පිරිහෙන්නේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site