දිනෙන් දින සිදුවන ජන ඝාතන විසින් සමාජය බරපතළ ලෙස සසල කරනු ලැබ තිබේ. කලින් ඉඳහිට වාර්තා වූ මනුෂ්‍ය ඝාතන දැන් දිනකට තුන හතර බැගින් සිදුවන තැනට කටයුතු යෙදී ඇත. මෑතක දී සිදු වූ මෙවන් ඝාතන අතර කොළඹ සරසවියේ සිසුවියක සිය පෙම්වතා විසින් බෙල්ල කපා ඝාතනය කිරීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමකි. එය විශාල සමාජ ඛේදවාචකයක පැතිකඩක් විදහා දක්වයි.

අනාගතයේ රටට විද්‍යාර්ථින් බිහි කරන සරසවි භූමියකින් මෙබඳු සංවේගදායක සිදුවීමක් වාර්තා වීමෙන් මතුවන ප්‍රශ්නය වන්නේ අප රටේ තාරුණ්‍යය කුමන අන්තයක් කරා යොමුව ඇත්තේ ද යන්නයි. මෙයට වසර ගණනාවකට පෙර 1992 පමණ මෙවන් ඝාතනයක් කැලණිය සරසවියෙන් වාර්තා විය. එහි ශිෂ්‍යාවක සිය පෙම්වතා විසින් මේ ආකාරයටම පිහියෙන් ඇන ඝාතනය කරනු ලැබුවාය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල ද මෙවැනි බල අපරාධ ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු කාරණා ගණනාවකි. ඉන් ප්‍රධාන වන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ඝාතනයි. පාතාල කල්ලි අතර සිදුවන ඝාතන, පැරණි කෝන්තර මත සිදුවන ඝාතන, ක්ෂණික කෝපය, මානසික රෝග ව්‍යාධි, ව්‍යාපාරික ආරවුල් හා දේශපාලන ප්‍රචණ්ඩත්වය ද සාහසික මනුෂ්‍ය ඝාතනවලට තුඩු දෙන බව ප්‍රකටය.

ශ්‍රී ලංකාවට බලවත් හිසරදයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඝාතනවලට මෙන්ම තවත් සාහසික අපරාධ සඳහා ද බලපෑමක් සිදු කරන බව සක්සුදක් සේ පැහැදිලිය. දැනට සරසවිවල පමණක් නොව සාමාන්‍ය පාසල්වල ද අයිස් භාවිතය බරපතළ අර්බුද රැසක් නිර්මාණය කිරීමට හේතුවක් වී තිබේ.

මනුෂ්‍ය ඝාතන, අපරාධ ක්‍රියා බහුල වීමට බලපාන තවත් හේතුවක් වන්නේ දේශපාලන ප්‍රචණ්ඩත්වයයි. මැතිසබයේ සිට ගමේ ප්‍රාදේශීය සභාව දක්වාම පත්ව සිටින මහජන නියෝජිතයන්ගෙන් ඇතැමුන් ක්‍රියා කරන්නේ තමුන්ට ලැබුණ තාවකාලික ජනවරම හිතුවක්කාරකමේ බලපත්‍රයක් ලෙස සලකමිනි. මේ දිනවල ගෙවී යන්නේ ද මැතිවරණ සමයකි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ නාමයෝජනා බාරදීම ආරම්භ වීමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ ඡන්ද අපේක්ෂිකාවක් සහසික ලෙස ඝාතනය කරනු ලැබ ඇත්තේ ඇයගේ නිවෙස ද ගිනිබත් කිරීමෙනි. මැතිවරණයක් නිසි ලෙස ආරම්භ වීමටත් පෙර මෙවන් ඝාතන සිදුවේ නම් මෙරට මැතිවරණ සංස්කෘතියෙන් අපේක්ෂිත යහපත් අරමුණු සාධනය කර ගන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් පැන නගී. සෑම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් තුළම අඩුම තරමින් මනුෂ්‍ය ඝාතන හත අටක් වාර්තා වීම සාමාන්‍යකරණය වී තිබේ. එහෙත් මේ සියලු‍ දේශපාලනඥයන් ජනතාවට දස අතේ ප්‍රතිඥා දෙන්නේ තමන්ගේ එකම අරමුණ සමාජය යහපත් තැනක් බවට පත් කිරීම බව කියමිනි. එය හරියට කකුළුවා ඇදයට ගමන් කරමින් පැටවුන්ට ඍජුව ගමන් කරන ලෙස උපදෙස් දීම හා සමානය.

දේශපාලන ආරවුල්වලට අමතරව පෞද්ගලික කෝන්තර හේතු කොට ගෙන ද මනුෂ්‍ය ඝාතන සිදුවන බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. පෞද්ගලික කෝන්තර මත සිදු වූ ඇතැම් ආරවුල් නිසා පවුල් - පවුල් අතර දම්වැල් මරණ සිදුවුණු බව මෑත කාලීන අපරාධ ඉතිහාසය සාක්ෂි දරයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේත්, මිද්දෙණිය ප්‍රදේශයේත් පවුල් කිහිපයක් අතර වරින් වර ඇතිවූ මෙවැනි දම්වැල් ඝාතන සංඛ්‍යාව විස්ස ඉක්මවා ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

ව්‍යාපාරිකයන් අතර හටගන්නා ආරවුල් ද ඇතැම්විට ඝාතනවලින් කෙළවර වෙයි. මෑතක දී මාධ්‍ය විසින් උලු‍ප්පා දක්වන ලද දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය තවමත් අබිරහසකි. දේපළ අත්පත් කර ගැනීම සඳහා ව්‍යාපාරික පියකු ඝාතනය කළ පුතකු පිළිබඳව ද සංවේග ජනක පුවතක් මෑත අතීතයේ දී වාර්තා විය.

පොලිස් වාර්තා පොත්වල සඳහන් වන මෙබඳු මනුෂ්‍ය ඝාතන රැල්ලක් රට තුළ නිර්මාණය වී ඇති බව පැහැදිලි කරුණකි. ගත වූ වසරේ දින 365 තුළ ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන රැසක් සිදු වී ඇතැයි පොලිස් වාර්තා පෙන්වා දෙයි. මෙම තත්ත්වය කුරිරු සමාජ ව්‍යසනයක පෙර නිමිති පහළ කරයි. අපරාධයක් සිදු වූ විට ඒ පිළිබඳව කෑ කෝ ගසන සමාජය සුසුම් සහ හැඬුම්වලින් එම සිද්ධිය අමතක කරයි. එහෙත් සැබැවින්ම සිදුවිය යුත්තේ මෙම තත්ත්වය වළක්වා ගැනීමට යුහුසුළු වීමයි.

(***)