මෙරට පෞද්ගලික අංශයේත්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලත් සේවකයන්ගේ අනාගත ආර්ථික සුරක්ෂිත බව රැක දෙන ප්‍රධානම විශ්‍රාමික පාරිතෝෂිකය වන සේවක අර්ථසාධක පොලිය ගෙවීමේදී සිදු වන විශාල අසාධාරණයක් අපගේ ලංකාදීප ප්‍රධාන පුවතකින් අනාවරණය කළෙමු.
රටේ සාමාන්‍ය ජනතාවට සියයට 9ක පොලියක් ලබා දීමේදී ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල තම සාමාජිකයන්ට සියයට 29ක පොලියක් ගෙවන බව එම පුවතේ සඳහන්ය. බැලූ බැල්මට පවා ඉතා විශාල අසාධාරණයක් පෙන්වන මේ ගෙවන පොලියේ විෂමතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන පෙත්සමක් මගින් අනාවරණය වී තිබේ.
මේ වන විට වත්කම ට්‍රිලියන 3.1ක් ඉක්මවා තිබෙන සේවක අර්ථසාධක අරමුදල සැලකෙන්නේ මෙරට තනි විශාලම අරමුදල වශයෙනි. දකුණු ආසියාවේ සෙසු බොහොමයක් රටවල පවතින මේ ආකාරයේ තනි අරමුදල් අතර ද ශ්‍රී ලංකාවේ අර්ථසාධක අරමුදලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. එවන් ජාතික සහ ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් අරමුදලක ප්‍රතිලාභ ගෙවීමේදී සේවකයන්ට කුඩා හැන්දකිනුත්, එම අරමුදල පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ලොකු හැන්දකිනුත් බෙදා ගැනීම බලවත් අසාධාරණයකි. එසේ ගෙවන පොලියේ විෂමතාවක් තිබීමට කුමන හේතුවක් ඉදිරිපත් කළත්, එය යුක්ති සහගත නොවන බව අපගේ අදහසයි. සංඛ්‍යා ලේඛනවලින් දැක්වෙන පරිදි, වාර්ෂිකව රුපියල් බිලියන 70කට ආසන්න ලාබයක් තම අරමුදල් කළමනාකරණයෙන් උපයන අර්ථසාධක අරමුදල මගින් තම සාමාජිකයන්ට තවදුරටත් අඩු පොලියක් ගෙවීමට හේතුව පැහැදිලි නැත.
අරමුදලේ සාමාජිකයන්ට ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කෙරුණේ ඒ සම්බන්ධයෙන් රජය මගින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙනි. රටේ ආර්ථික අර්බුදයත් සමග සිදු වූ ආර්ථික කඩාවැටීමත් සමග එතෙක් ගෙවමින් තිබූ වාර්ෂික පොලිය සියයට 13 සිට සියයට 9 දක්වා අඩු කරනු ලැබීය. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට නම්, රටේ සියලු ජනතාවට පටි තද කරගනිමින් විශාල කැප කිරීමක් කළ යුතු වන බවට කෙරුණු ප්‍රකාශවලට සමගාමීව අර්ථසාධකයේ පොලිය ද අඩු කරනු ලැබීය. දැන් සිදු වී ඇත්තේ රටේ පොදු මහජනතාව බොක්කටම තම පටි තද කරගෙන සිටියදී, අර්ථසාධක අරමුදලේ පාලකයන් කඳ බඩ පුරා ප්‍රතිලාභ භුක්ති විඳීමය. මහ බැංකුවේ අරමුදල වෙනම කළමනාකරණය කෙරෙන බැවින්, මෙසේ එහි සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලැබෙන බවට හේතු දැක්විය හැකි නමුත්, මෙතරම් බරපතළ විෂමතාවක් තිබිය නොහැකි බව කුඩා දරුවකුට වුව ද තේරුම් ගැනීමට අපහසු නැත. සියයට 9ත් සියයට 29ත් අතර වෙනස අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙක්ට හඳුනා ගැනීමට නොහැකි යැයි මහ බැංකුවේ නිලධාරීන් සිතනවා දැයි අපි නොදනිමු.
මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් වූ වහාම එහි කාර්යාල කාර්ය සේවකයෝ පටන් මහ බැංකු අධිපති දක්වාම ඉතා විශාල මට්ටමකින් වැටුප් වැඩිකර ගත්හ. ඒ පිළිබඳව රට පුරාම දැඩි කතාබහක් ඇති වුවත්, මේ දක්වා එහි වෙනසක් සිදු වී නැත. මෙරට ජනතාවට එහිදී ඇති වූ ප්‍රශ්නය වූයේ මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම නොව තමන්ට පටි තද කරගෙන රටේ මූල්‍ය තත්වය ඉහළ නංවා ගැනීමට සහාය දක්වන්නැයි කියූ මහ බැංකු නිලධාරීන්ම ජනතාවට සොච්චම් වැටුප් වැඩි කිරීමක් ලබා දෙමින් ඔවුන් මහා පරිමාණයෙන් වැටුප් වැඩි කරගැනීමය. ඒ අවස්ථාවේදී රටේ ජනතාව නිහඬ වුවත්, අර්ථසාධක අරමුදලේ මේ වන විට සිටින සාමාජිකයන් ලක්ෂ 27 ක සංඛ්‍යාවකට බලපාන පොලියේ වෙනස සම්බන්ධයෙන් ඔවුන් නිහඬව සිටිනු ඇතැයි නොසිතිය යුතුය. මේ අසාධාරණය සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම හඬ නගනු ඇත.
මහ බැංකුව මෙසේ තමන්ගේ වැටුප් පමණක් නොව අර්ථසාධකයේ පොලිය පවා මහා පරිමාණයෙන් ඉහළ දමාගෙන සිටියදී රජය මෙතරම් නිහඬව සිටීම ජනතාව දැඩි සමාජ අසාධාරණයකට ඇද දමා තිබෙන බව පැවැසිය යුතුය.
(***)
වසර තුන්දහසක පමණ ශ්රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින
එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ
“පාලකයා යනු රටේ අයිතිකරුවා නොව රටේ බාරකරුවා බව” ඉතිහාසයේ සිටම හිස් මුදුනින් පිළිගන්නා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ජාතියට ම මුසු කළ උතුම් දහම් පණිව
නිරුක්ති විද්‍යාවට අනුව ‘ගුරුවරයා’ යනු ‘‘නොදැනීම නමැති අන්ධකාරය දුරුකරන්නා’’ යන්නය. ගුරුවරයාගේ සමාජ භූමිකාව එමගින් මනාව නිරූපිත ය. එහෙයින් ඔහු අත්
රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීමක් පැහැරහැරීමක් සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමකට එරෙහිව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නඩු පවරා ඇතැයි පසුගියදා මාධ්‍ය ඔස්සේ අන
රටක සාරධර්ම නාය යෑම යනු එම රටේ ජනයාගේ සාමූහික දිවි පෙවතට අදාළ අධ්‍යාත්මයේ වැහැරීම වේ. ආධ්‍යාත්මය වැහැරී ගිය පසු රැකගැනීමට කිසිවක් ඉතිරි නොවන බව ඒකාන්ත
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත්ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ්රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප්රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්රී පාද ස්ථ
මහ බැංකු නිලධාරීන් මෙහෙම බෙදාගැනීම හරිද?
himal Wednesday, 22 May 2024 01:50 PM
ලංකාවේ යම් ආයතනයකට තමන්ගේම සේවක අර්ථ සාධක අරමුදලක් නීත්‍යානුකූලව පවත්වා ගැනීමට හැකි බවත් එහෙම පවත්වාගන්නවා නම් සාමාන්‍ය අර්ථ සාධක අරමුදලෙන් දෙනවාට වඩා වැඩි ප්‍රතිලාභ එම සේවකයින්ට දිය යුතු බවත් දන්නේ නැද්ද? ඕනෑ නම් වෙනත් පුද්ගලික බැංකු වල පවත්වා ගෙන යන අර්ථසාධක අරමුදල් ගැන හොයලා බලන්න.
AmarabanduWednesday, 22 May 2024 03:25 PM
මෙය සත්‍යයකි... ඊපීඑෆ් එක සහ මහ බැංකුවේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක වෙන වෙනම පවතින අරමුදල් 2 කි.
බන්ඩාර Wednesday, 22 May 2024 09:10 PM
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනෙ.