මෙරට දේශපාලනඥයන්ට මල්වතු මහා විහාරයේ දොර වැසීමත් එසේ වැසී ගිය දොර කොළඹ ගාලු‍මුවදොර පිටියේ ගෝඨාගෝ ගම විරෝධතා අරගලයේ නිරතව සිටින පිරිස නියෝජනය කරමින් ගිය පිරිසකට විවෘත වීමත් පසුගියදා මාධ්‍යයේ සිරස්තල මැවීය. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන් දේශපාලනඥයන්ට තමන්වහන්සේ බැහැදැකීමට අවසර ලබා නොදීමේ තීරණයට එළඹ ඇත්තේ මෙරට පොදු මහජනතාව විඳිමින් සිටින දුක් පීඩාවලට මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී දේශපාලනඥයන් කල් මරමින් සිටීම හේතුකොටගෙනය.

තම තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් මල්වතු මහා විහාරයට ගොස් මහා නා හිමියන් බැහැදැක උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබීම මාධ්‍ය සංදර්ශනයක් බවට හරවාගත් දේශපාලනඥයන්ට මේ තීන්දුව සිත් වේදනාවට හේතුවන බවට සැකයක් නැත. එසේම අරගලයේ නියෝජිතයන් පිරිසකට මල්වතු මහා    නාහිමියන් බැහැ දැකීමට අවසර ලබා දීම එම වේදනාව වඩාත් තීව්‍ර කිරීමටද හේතුවනු ඇත. තමන්ගේ වගකීම් අමතක කරමින් ජනතාව දුකට හෙළීමේ පාපකර්මයේ කොටස්කරුවන් වන දේශපාලනඥයන්ට මේ තීන්දුව අමතක නොවන පාඩමක් බව කිව යුතුය. එහෙත් කරුමය වන්නේ මේ රටේ බොහොමයක් දේශපාලනඥයන් කවදාවත් පාඩම් ඉගෙන නොගන්නා බැවිනි. ඔවුන් සෑමවිටම උත්සාහ ගන්නේ තමන් දන්නා පාඩම් වලින් වැඩ ගැනීම පමණි. එවැනි ඇතැම් වැඩ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හෙළිදරව් කරනු ලැබීය. මේ හෙළිදරව් කළ තොරතුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගැනීමෙන් පසුව දේශපාලනඥයන්ට මල්වතු මහා විහාරයේ දොර වැසීමට ගත් තීන්දුව ප්‍රමාද වූවාදැයි මහ නාහිමිට සිතෙන්නටත් ඉඩ තිබේ.

රට පෙළමින් තිබෙන බරපතළ අර්බුද එකිනෙක ලිහාගැනීම සඳහා සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා 06ක් ඇතුළත් කර සකස්කොට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කර ඇති ලියැවිල්ලට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබීමද මහ නාහිමියන්ගේ මෙම තීන්දුවට හේතු වී ඇතැයිද සඳහන්ය. මේ තීන්දුවෙන් නොනැවතී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහනා හිමිවරුන් තීන්දුවක් ගෙන ඇතැයිද සඳහන්ය. කොතරම් සාකච්ඡා කළත් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මිස රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට එවැනි සාකච්ඡා දේශපාලන නායකයන් කොතරම් දුරකට යොදාගන්නවාද යන්න නම් ප්‍රශ්නාර්ථයකි. එවැනි සාකච්ඡා ඵලදායී ලෙස යොදාගත්තා නම් අපේ රටට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්වීමට ඉඩක් නැත.

මහජන ඡන්දයෙන් බලයට පත්වූ සැණින් කන්ද උඩරටට එක පිම්මේ යන දේශපාලන නායකයෝ මහනා හිමිවරුන් ඉදිරියේ බොහෝ සන්සුන් ලෙස හැසිරෙමින් තමන් රටේ සහ ජනතාවගේ ප්‍රගතිය වෙනුවෙන් ඉටු කිරීමට නියමිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරති. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනාද ලබති. ඒ බව අප දකින්නේ මාධ්‍ය හරහා පමණි. එම වැඩපිළිවෙළ හෝ අනුශාසනා හෝ මත ක්‍රියා කරන බවක් අප දකින්නේම නැත. මල්වතු මහ නාහිමියන් විසින් ඒ හේතුවෙන්ම ගන්නා ලද තීන්දුව සෙසු මහනායක ස්වාමීන් වහන්සේලාද ගනු ලබන්නේ නම් ඒ ගැන මේ රටේ ජනතාව නම් කිසිසේත් උරණ නොවන බව කිවයුතුය.

පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමකින් තොරව ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම නිෂ්ඵලය. පාර්ලිමේන්තුව ඇතුළේ බල අරගලයක නියැළෙමින් ආණ්ඩුවත් විපක්ෂයත් ආණ්ඩුවෙන් කැඩී ගිය කණ්ඩායමත් සර්වපාක්ෂික, අන්තර්වාර සහ ජාතික එකඟතා ආණ්ඩු හැදීම ගැන මහා පරිමාණයේ කතා කළ පමණින් ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ජනතාවට සහන දෙන බවට සිදුකරන ප්‍රකාශ වචනවලට පමණක් සීමා වී තිබේ. සියල්ලටම ප්‍රථමයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතිකර ගැනීමට ක්‍රියා කළ යුතුය. මහ නාහිමිවරුන් විසින් යොමුකරන ලද ලිපියෙන් ඒ සඳහා හොඳ ප්‍රවේශයක් ලබාගැනීමට අවස්ථාව තිබිණි. නිරන්තරයෙන් මහ නාහිමිවරුන් බැහැ දැකීමට යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පමණක් නොව විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයන්ද එම අවස්ථාවට පිටුපෑම මේ රටේ ජනතාවගේම අවාසනාවක් බව සඳහන් කළ යුතුය.

ගාලු‍ මුවදොර පිටියේ අරගලයේ නිරතව සිටින මහජනතාවද මහනා හිමිවරුන්ගෙන් තම නියෝජිත පිරිස හරහා ලැබෙන අවවාද, අනුශාසනා කෙරෙහි සංවේදී විය යුතු බවද පෙන්වා දෙනු කැමැත්තෙමු. මේ රටට මේ ආකාරයට දිගටම ඉදිරියට ඇදී යා නොහැක. මේ බව රටේ අනාගතය වෙනුවෙන් තමන් අරගල කරන බව ප්‍රකාශ කරන ගාලු‍ මුවදොර ජනකාය විසින්ද තේරුම් ගත යුතු වෙයි. දැඩි අධිෂ්ඨානයකින් යුතුව අරගලය කරගෙන යන්නා සේම අවශ්‍ය අවස්ථාවේදී නම්‍යශීලී වීමද සිදුවිය යුතුය. අරගලය සාර්ථක වන්නේ එවැනි සමතුලිත ආකාරයේ වැඩපිළිවෙළකින් පමණි.

රටේ ශක්තිමත් අන්තර්වාර හෝ සර්වපාක්ෂික හෝ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුවට සහ විපක්ෂයට මීටත් වඩා දැනෙන ලෙස මහා සංඝරත්නයට බලපෑම් කළ හැකි නම් එයින් රටට යහපතක්ම සිදුවන බව පෙන්වා දිය යුතුය.

(***)