IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු

අප රටේ දේශපාලකයන් සෑහෙන පිරිසක් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති සත්‍යයකි. එසේ සුව කළ නොහැකි රෝග අතර බලයෙන් ඉදිමීම, අතීතය අමතකවීම, සිදුවීම්වලින් පාඩම් ඉගෙන නොගැනීම, බලය ප්‍රදර්ශනය කිරීමට සිත් පහළ වීම ප්‍රධාන රෝග වේ. රථගාය අමතර වශයෙනි. ඒ බව පසක් කරවන පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේ ය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියට අනුව පුත්තලම පැරැණි මන්නාරම් මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගන්නා බවට ලැබුණු පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඉකුත් 26 වැනිදා පස්වරුවේ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විජේසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා තර්ජනය කළ බවට ඔහු සිය ප්‍රධානීන්ට කර ඇති පැමිණිල්ල පිළිබඳවය.

ප්‍රවෘත්තියට අනුව මෙම ඉඩම රජයට අයත් වූවකි. කිසියම් පිරිසක් මෙම ඉඩම බලහත්කාරයෙන් අල්ලා ගැනීමට උත්සාහ දරන බවට ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි ලැබී ඇත. ප්‍රාදේශීය ලේකම්වරයා වහාම ක්‍රියාත්මකව ඇත. රාජ්‍ය දේපොළ ආරක්‍ෂා කිරීම රජයේ නිලධාරියකුට පැහැර හැරිය නොහැක. එබැවින් ඔහු එම ඉඩම කම්බි ගසා වෙන්කර ඇත. ප්‍රාදේශීය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා එතැනට ගොස් ඇත්තේ එම ඉඩමට කිසියම් පිරිසක් ඇතුළු වී ඇති බවට ලැබුණු පැමිණිල්ලකට බව ද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පවසන්නේ එම ඉඩම ප්‍රදේශයේ ජනතාවට අයත් බව ය. එසේනම් මෙම කාරණා නිරවුල් කර ගතයුත්තේ නිවැරැදි අධිකරණමය ක්‍රියාමාර්ගයක් මගින් ය. එසේ නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී බලය අතට ගෙන රාජ්‍ය සේවකයකු වන ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කරමින් චණ්ඩිකම් ප්‍රදර්ශනය කිරීම තම දේශපාලන නිරුවත ප්‍රදර්ශනය කිරීමකි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එහි සේවකයකුගේ කකුල පාගා කනට ගැසූ රාජ්‍ය ඇමැතිවරයකු සම්බන්ධ ජුගුප්සාජනක සිද්ධියට තවම දෙසතියක්වත් කල් ඉක්ම ගොස් නැත. අත්අඩංගුවට ගත් තම පාක්‍ෂිකයන් වහා නිදහස් කරන්නැයි පොලිස් ස්ථානයට කඩා වැදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ අසුනෙහි වාඩිවී පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කළ මදාවි දේශපාලකයන්ගේ අපකීර්තිමත් හැසිරීම් අතීතයේ එමට ය. රාජ්‍ය ආයතනවලට කඩා පැන රජයේ නිලධාරීන්ට ‘‘තග’’ දාන, රාජ්‍ය සේවකයන් ගස් බැන්ද අමන දේශපාලකයන්ට සම්බන්ධ සිදුවීම් ද නොවැහැරුණ මතකය අතර තවම වේ. ප්‍රජාතන්ත්‍රවාදී අභිලාසයන්ගෙන් සමන්විත සාතිශය බහුතරයක් වන ශිෂ්ට ජනයා මෙවැනි සිද්ධි මිනිස් කසළ මෙන් බැහැර කරන බව දේශපාලකයන් තරයේ සිතට ගත යුතු ය.

අගමැති ධුර, ඇමැති ධුර අතහැර සිය නිවෙස්වලට පල්ලම් බැසීමට සිදුවූයේත් රටින් බැහැරව ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවීමට විධායක බලතල සහිත ජනාධිපතිවරයකුට සිදුවූයේත් මහජන මතය හිස එසවීම නිසාය. එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදීව බහුතර මහජන කැමැත්තෙන් බලයට පත්වූවන් ජනඝෝෂාවලින් බලයෙන් පහකිරීම සාධාරණ ද යන ප්‍රශ්නය ද නැගේ. දේශපාලනඥයන් මෑත අතීතයේ සිදුවූ දේශපාලන සිද්ධි ගැන මැදහත් සිතින් සලකා බැලිය යුතුය. එය අමතක කර කටයුතු කරන්නේනම් එබඳු මුග්ධ දේශපාලනඥයන්ට හිමිවනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කිය පමණි. අලි සබ්‍රි රහිම් මන්ත්‍රීවරයා යළි යළිත් ඔප්පු කර තිබෙන්නේ මුග්ධ බව සාඩම්බර පළඳනාවක්ව පැළඳීමට රිසි පිරිස් තවත් සිටින බව ය.

තම ආසනයේ හෝ දිස්ත්‍රික්කයේ හෝ ඇති දේපොළ තමාගේ නින්දගම් යැයි සිතා කටයුතු කරන දේශපාලනඥයෝ සිටිති. අමාත්‍යංශය, අමාත්‍යංශයට අයත් ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල පක්‍ෂ කාර්යාල යැයි සිතන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් බිහිවන්නේ මෙම පරිසරය තුළ ය. එහෙත් ඒ කිසිවක් සදාකාලික නොවන බවත් මහජන බලය ඉදිරිපිට දණ නැමීමට සිදුවන බවත් මෙම දේශපාලනඥයන් ඉගෙනගත යුතු ය. බොහෝ දේශපාලනඥයන් තවමත් නූගත් පාඩම ද එය ම ය.

(***)



අදහස් (0)

බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31303 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13498 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 107 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 932 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site