ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රජාතන්ත්‍රවාදය සහ ත්‍රස්තවාදය පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී වටිනා ප්‍රකාශයක් කර තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා පිළිගන්නා නමුත් විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියා රජය ප්‍රතික්ෂේප කරන බව එම ප්‍රකාශයේ සඳහන් විය. පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කර රට ඉදිරියට ගෙන යාම රජයේ ලොකුම බලාපොරොත්තුව බවද කියා තිබූ අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා එකතු වන ලෙසට විපක්ෂයේ සියලු‍ම දේශපාලන පක්ෂවලට සහ ඒවායේ මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනයක්ද කළේය.

ත්‍රස්තවාදය හරහා විනාශයේ මකර කටට ඇදී ගිය රටවල් අතුරින් ශ්‍රී ලංකාව කප් ගැසූ රටක් බවට කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුව තිබේ. 1959 සැප්තැම්බරයේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රස්තවාදී ක්‍රියාව විය. ඒ යුගයේ ත්‍රස්තවාදය යන වචනය මෙරට භාවිතයේ පවා නොතිබිණි. එය දේශපාලන ඝාතනයක් වශයෙන් ඉතිහාසයට එක් විය. ත්‍රස්තවාදය සැබෑ ලෙස නිර්වචනය කෙරුණේ 71 ජවිපෙ කැරුල්ල හේතුවෙනි. නීත්‍යනුකූලව මහජනතාවගේ ඡන්දයෙන් පත්වූ රජයක් ආයුධ සන්නද්ධ අරගලයක් හරහා පෙරළා දැමීමට කටයුතු කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වශයෙන් හඳුන්වනු ලැබූ අතර එම ත්‍රස්තවාදී කැරැල්ල ආණ්ඩුව විසින් සියලු‍ බලය යොදා මර්දනය කරනු ලැබීය. ඉන්පසුව 1987-88 කාලයේදී යළිත් එවැනිම කැරැල්ලක් වඩාත් සාහසික මුහුණුවරකින් ඇති විය. එයද ඒ හා සමාන සාහසික මර්දනයක් හරහා ව්‍යර්ථ කරනු ලැබීය. මේ අවස්ථා දෙකේදීම ත්‍රස්තවාදී කැරැල්ල මැඬ පැවැත්වීමට රජය මගින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වුවද පොදුවේ බහුතරයක් මහජනතාව සහාය පළ කළේ එවකට බලයේ සිටි ආණ්ඩුවලට බව පැහැදිලි විය.

1983න් පසුව උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා රජයට එරෙහි බෙදුම්වාදී යුද්ධයක් දක්වා වර්ධනය විය. යුද්ධයට පෙර වසර ගණනාවක් උතුරේ සිදුවූ ඝාතන සහ විවිධ ක්‍රියාකාරකම් හඳුන්වනු ලැබුවේ ආණ්ඩුවට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියා වශයෙනි. පසුව එය යුද්ධයක් දක්වා ව්‍යාප්ත වීමත් සමඟ ත්‍රස්තවාදය වචනයකට පමණක් සීමා විය. යුද්ධය ජය ගැනීමට රටේ විශාල බහුතරයකගේ සහාය ලැබුණු බවද යුද්ධය ජයගැනීමට දේශපාලන නායකත්වය ලබාදුන් රාජපක්ෂ රජය සහ එහි නිලධාරීන් මහජනතාවගේ ගරු බුහුමන් වලින් පිදුම් ලැබූ බවද සඳහන් කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019දී රටේ ජනාධිපති ධුරයට තෝරා පත්කරගනු ලැබීමට ප්‍රධානම සාධකය වූයේ ඔහු යුද ජයග්‍රහණයේ පුරෝගාමී චරිතයක් වීමය. අනෙක රාජපක්ෂ සහෝදරයකු වීමය.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියා සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා පිළිබඳව අර්ථකථනයක් කරද්දී රටේ මේ අතීතය අමතක කළ නොහැක. ඔහු මේ ප්‍රකාශය සිදුකළේ පසුගිය මාස කිහිපය තිස්සේ රට ඇතුළේ වර්ධනය වෙමින් තිබූ උද්ඝෝෂණ සහ විරෝධතා මහජන ඡන්දයෙන් තෝරා පත්කරගනු ලැබූ ජනාධිපතිවරයකු සහ අග්‍රාමාත්‍යවරයකු බලයෙන් පහ කිරීමට හේතුවූ මහජන අරගලයක් දක්වා වර්ධනය වීම සම්බන්ධයෙන් බව පැහැදිලිය. ඔහුගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ කේන්ද්‍රස්ථානය බවද සඳහන් කර තිබිණි. ජනාධිපති සහ අගමැති ඒ ආකාරයට ඉවත් කරනු ලැබීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යාමක් බව ඔහු එම කතාවෙන් පෙන්වා දී තිබිණි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යාම ත්‍රස්තවාදයක් වශයෙන් හැඳින්වීම වැරැද්දක් නොවේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ කේන්ද්‍රස්ථානය තුළ මහජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට ජනතාවට තිබෙන අයිතිය ත්‍රස්තවාදී ක්‍රියා වශයෙන් හැඳින්විය නොහැක. රටේ ජනතාව උසුලාගත නොහැකි දැඩි පීඩාකාරී තත්ත්වයකින් කල් ගෙවන බව අග්‍රාමාත්‍යවරයා නොදැන සිටීමට හේතුවක් නැත. සැබෑ ලෙසම ත්‍රස්තවාදී ක්‍රියා සිදුකොට රජය බිය ගැන්වීමේ අරමුණින් විවිධ කණ්ඩායම් අරගලයට එකතු වී සිටියද එම සමස්ත ක්‍රියාදාමය ඇරඹුණේ රටේ ජනතාව මුහුණ දෙන බරපතළ ආර්ථික අර්බුද හේතුවෙන් බව යටපත් කළ නොහැකි සත්‍යයයි.

රසායනික පොහොර තහනම් කිරීමෙන් ඇරැඹුණු රටේ ගොවි ජනතාවගේ දුක් අඳෝනා ගැන ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. ආර්ථිකය කඩා වැටෙද්දී ඒ ගැන රටේ ස්වාධීන ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවද්දී ආණ්ඩුව ඒ තත්ත්වය නිවැරැදි කිරීමට කිසිම පියවරක් ගත්තේ නැත. රටපුරා ජනතාව තෙල්, ගෑස් පෝලිම්වලට ගාල් වෙද්දී එම පෝලිම්වල මිනිසුන් මැරී වැටෙද්දී ආණ්ඩුව සිටියේ නෑසූ කන් ඇතිවය.

ඒබ්‍රහම් ලින්කන් 1858 අගෝස්තු 01 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුන්නේ මහජනතාව විසින් මහජනතාව සඳහා පිහිටුවා ගනු ලබන මහජනතාවගේ ආණ්ඩුව වශයෙනි. ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීමක සඳහන් වන්නේ ආණ්ඩුවකට හෝ එහි පුරවැසියන්ට හෝ එරෙහිවද පුද්ගලයන්ට හෝ දේපළවලට හෝ එරෙහිවද ප්‍රචණ්ඩකාරී හෝ බලහත්කාරයෙන් හෝ නීති විරෝධී ලෙස බලය යෙදීම වශයෙනි. කිසිදු ආණ්ඩුවක් මේ දෙක පටලවා නොගත යුතුය. නැතහොත් තමන් පත්කර ගත් ආණ්ඩුවක් මහජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉවත් කරනු ලැබීමට සිදුකරන බලපෑම්ද ත්‍රස්තවාදය වශයෙන් හඳුන්වාදීමට ඕනෑම ආණ්ඩුවක් පෙළඹීමටත් බැරි නැත.

 

(***)