IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගමට අඩු සැලකිලි යථාර්ථය පෙන්වන මැදදුම්බර ජන දුක

අපගේ ලංකාදීපය ඊයේ (05) මුල් පිටුවේ පළ කළ ඡායාරූපය සියලු පාඨකයන්ගේ හදවත් කම්පනයට පත් කළ බවට සැකයක් නැත. . පාතදුම්බර අරත්තන හා මැදදුම්බර ඇල්ලියද්ද යන ගම්මාන යා කරන හුළු ගඟ තරණයට මෙම ගම්වැසියන් අත්වැල් බැඳගෙන සැඩ පහර මැදින් ගමන් කරන අයුරු එම ඡායාරූපයෙන් දැක්විණි.

හුළු ගඟ හරහා ඉදිකර තිබූ පාලම කැඩී ගොස් තිබීම මේ ත්‍රාසජනක අත්දැකීමට ගම්වැසියන් තල්ලු කර ඇති බව ද ඡායාරූප විස්තරයෙහි සඳහන් ය. ඔවුන්ට මහවැසි මැද වුව ද තමන්ගේ දෛනික අවශ්‍යතා ඉතා දුෂ්කරතා මැද පිරිමසා ගන්නට සිදුව තිබේ. ඒ සඳහා පරදුවට තැබීමට ඔවුන් සතුව ඇත්තේ තම ජීවිතය පමණි. ඔවුන් පසුගියදා පරදුවට තබා තිබුණේ එම වටිනා ජීවිතයි.

මේ පාලම කැඩීගොස් මේ වනවිට වසර දොළහක් ගතවී තිබෙන බව ද සඳහන් වෙයි. එම ගෙවීගිය වසර දොළහ තුළ ආණ්ඩු ගණනාවක් බලයට පත් විය. ලොරි ගාණකට පොරොන්දු දී බලයට ආවත් ගම් දෙකක් යා කරන පාලමක් හදා දීමට ඒ කිසිදු ආණ්ඩුවකට නොහැකිවීම ගැන අපට නම් දැනෙන්නේ ලජ්ජාවකි. එහෙත් ලජ්ජාව යන වචනය නම් ශබ්දකෝෂයෙන් කපාහැර තිබෙන දේශපාලකයන් නම් මෙවැනි සිදුවීම් ගැන මොහොතක් හෝ කම්පා වෙන්නේ නැති බව සහතිකය. ඔවුන්ට කාර් පර්මිට්, බාර් ලයිසන් පවුලටම රක්ෂණාවරණ ලබා ගැනීම වැනි ‘ඉතා වැදගත්’ කාරණා සම්බන්ධයෙන් වද වීමට කාලය අවශ්‍යය. ඒ හේතුවෙන් පොදු මහජනතාව මේ දුක් විඳිය යුතු ය.

ගමක ඇති පාලමක් කැඩීයාම  ගැන එකවර බලධාරීන්ගේ අවධානය යොමු නොවීම සාමාන්‍ය තත්වයකි. එහෙත් ගම් දෙකක් යා කරන පාලමක් කැඩී යාම විශාල පිරිසකට බලපාන ගැටලුවකි. වඩාත් පුදුමයට කාරණය නම් මේ පාලම කැඩීගොස් වසර 12ක් ගතවනතුරු ඒ බව කිසිදු බලධාරියකුගේ අවධානයට ලක් නොවීම ය. අඩුම තරමින් මේ කාලයේ නැතත් ඒ කාලයේ ක්‍රියාත්මකව තිබූ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ හෝ අවධානයට මේ පාලම ලක්නොවූයේ මන්දැයි සොයා බැලිය යුතු නොවේ ද? එම ඡන්දය කල් දමා ගැනීමට පසු කාලයේ දැඩි උනන්දුවක් දැක්වූ දේශපාලකයන්ට නම් මෙවැනි පාලමක් ගැන වෙහෙසවීමට කාලය නැති වූවා විය හැකිය. ඇතැම් ඡන්දදායකයන් තම පළාත් මන්ත්‍රීවරයා එනතුරු කොස්ස, ඉදල රැගෙන බලා සිටින කාටුන් පුවත්පත්වල පළ වෙන්නේත් මෙවැනි කාරණා හේතුවෙනි.

සංවර්ධනය සම්බන්ධයෙන් විවිධ ආණ්ඩුවල මැති ඇමැතිවරුන් සිදුකරන පුරාජේරු  කතා මෙරට වැසියන්ට හොඳ හැටි පුරුදුය. කනගාටුව වන්නේ එවැනි කතා සිදු කළත් පාලමක් හැදීම වැනි මහා පරිමාණ නොවන සංවර්ධන කටයුත්තක් ඉටු කිරීමට පවා පළාතේ මැති ඇමැතින් උනන්දුවක් දක්වා නොතිබීමයි. මෙහිදී එම ගම්මානවල පරිපාලන කටයුතු භාර රජයේ නිලධාරීන් ද මේ සිද්ධියට වගකිව යුතු බවද අපි සිතමු. දේශපාලන අධිකාරිය සමග රජයේ නිලධාරීන්ද එක්වී පවත්වන සංවර්ධන කමිටු සාකච්ඡාවලදී හෝ ගම් දෙකක් යා කරන පාලමක් කැඩීගොස් තිබීම සාකච්ඡාවට නොගත්තා නම් එය එම නිලධාරීන් අතින් සිදුවූ බරපතළ වැරැද්දකි. එහෙත් රජයේ නිලධාරීන් මේ සිද්ධිය පෙන්වාදී තිබියදීත් ඒ ගැන අවශ්‍ය කටයුතු සිදු නොකළා නම් ඒ සම්බන්ධයෙන් දේශපාලකයන්ට එහි වගකීම පැවරීම වැළැක්විය නොහැක.

පාලමක් කැඩීගොස් තිබීම පාතදුම්බරට සහ මැදදුම්බරට පමණක් සීමා වී නැත. මෙය එවැනි එක් සිද්ධියක් පමණි. එහෙත් මෙහි ඇති වඩාත් බරපතළ කාරණාව වන්නේ මේ දෙගම්වැසියන්ට සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමේදී පාලම  නොමැතිවීම දැඩි ලෙස බලපාන අඩුපාඩුවක් වීමයි. දැඩි ලෙස වැස්ස ඇතිවන කාලයකදී එම අඩුව දෙගුණ වන බව අපගේ ඡායාරූපය නිහඬව පෙන්වා දෙන යථාර්ථයයි.

රටේම අවධානයට යොමු වූ මේ අඩුපාඩුව සම්පූර්ණ කර දීමට රාජ්‍ය නිලධාරීන් සහ රජයේ බලධාරීන් නොපමාව ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තමන්ගේ ජීවිතය ද පරදුවට තබමින් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියා කරන එම දෙගම්වැසියන්ගේ අප්‍රතිහත ධෛර්යයට උපහාරයක් වනු ඇත. එසේම මේ සිද්ධිය මෙවැනි අඩුපාඩු මත වාඩිවී පුටු රත්කරන රජයේ නිලධාරීන්ගේත් දේශපාලකයන්ගේත් ඇස් ඇරීමට හේතුවනු ඇතැයි අපේක්ෂා කරමු.

(***)



අදහස් (0)

ගමට අඩු සැලකිලි යථාර්ථය පෙන්වන මැදදුම්බර ජන දුක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31128 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13258 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 49 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site