IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


පුතා වෙනුවෙන් කඩේ නොගිය ඇමැති තාත්තා

ඩඩ්ලි සේනානායක තුන්වැනි වරට ලංකාවේ අගමැති තනතුරට පත්වූ අවස්ථාවේ දී ඔහුගේ රජයේ ඇමති මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 17කි. ඔහු තුන්වැනි වරටත් අගමැති තනතුරට පත්වයේ 1965 මාර්තු 25 වැනිදාය. මේ මා ලියන්නේ ඔහු ගැන නොවේ. ඔහුගේ ඇමතිවරුන් අතර සිටි විශිෂ්ටයෙකු පිළිබඳවය.


එම විශිෂ්ට පුද්ගලයා යු. බී. වන්නිනායකය. නැතහොත් උක්කු බණ්ඩා වන්නිනායකය. ඇම්. ඩී. බණ්ඩා, ඩබ්ලිව්. දහනායක. සී. පී. ද සිල්වා, ඊ. ඇල්. බී. හුරුල්ලේ, පිලිප් ගුණවර්ධන, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල, ජේ. ආර්. ජයවර්ධන, අසෝක කරුණාතිලක, ඇම්. එච්. මොහොමඩ්, ඇම්. පී. පී. පීරිස්, ආර්. ප්‍රේමදාස, වී. ඒ. සුගතදාස, ඇම්. තිරුචෙල්වම්, ඒ. එෆ්. විජේමාන්න ආදි එම ඇමතිවරුන් අතර ඇම්. ඩී. බණ්ඩාර මෙන්ම ගැමියෙකු වූ  යු.බී. වන්නිනායක, ඩඩ්ලි අගමැති විසින් මුදල් ඇමති ලෙස පත් කිරීම ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කළ සිද්ධියකි.


යටකී කැබිනට් මණ්ඩලයට මොන්ටේගු ජයවික්‍රම සහ ඇම්. ඩී. එච්. ජයවර්ධන ආදීහු ද ඇතුළත් වී සිටියහ. ඩඩ්ලි සේනානායක සහ යු. බී. වන්නිනායක අධ්‍යාපනය ලැබුවේ එකම විදුහලකය. ඒ කොළඹ ශාන්ත තෝමස් විදුහලේය. දෙදෙනා හඳුනාගත්තේ එහිදීය. වන්නිනායක ඩඩ්ලිට වඩා වසර 6ක් වැඩිමහල්ය. ඩඩ්ලි තම පාසල් මිතුරාට සැලකුවේ තම රජයේ ප්‍රබලම ඇමති තනතුර වශයෙන් හඳුන්වන මුදල් අමති තනතුර ලබා දෙමිනි. මෙය ඩඩ්ලි තම පාසල් මිතුරා වෙනුවෙන් සිදුකළ සැලකීමක් නොව ජේ. ආර්. ජයවර්ධනගේ ජනප්‍රියත්වය හීන කිරීමට ගත් ක්‍රියා මාර්ගයක් බව කියනු ලැබේ. ජේ. ආර්. සහ ඩඩ්ලි අතර මතභේද ඇතිවීමට මෙම සිද්ධිය බෙහෙවින් බලපෑ බව ද කියනු ලැබේ. 


ජේ. ආර්. ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිය. ඩඩ්ලිගේ පියා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායක 1947 දී තම කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති තනතුර ලබා දුන්නේ ජේ. ආර්.ටය. පියාගේ ඇවෑමෙන් පසු අගමැති වූ ඩඩ්ලි ජේ. ආර්.ට මුදල් ඇමති තනතුර ලබා දුන්නේ නැත. ඔහුට ලබා දුන්නේ නවක ඇමති තනතුරක් වූ රාජ්‍ය ඇමති තනතුරයි. මුදල් ඇමති තනතුර අගමැති තනතුරට නොදෙවැනි ප්‍රබල තනතුරකි. ඩඩ්ලි මෙන්ම සර් ජෝන් කොතලාවල ද එදා සිටම යු.ඇන්.පී. පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට මෙන්ම ලංකාවේ අංක එකේ තනතුර ලබා ගැනීමට ජුනියස් රිචඩ් ජයවර්ධන බාධාවක් වනු ඇතැයි සිතාගෙන සිටියහ. ඩඩ්ලි, ජේ. ආර්. ට මුදල් ඇමතිකම නුදුන්නේ මේ නිසාය. ජේ. ආර්. ද ඩඩ්ලිට වඩා වසර 6ක් වැඩිමහල්ය.


ඇමෙරිකානු ආර්ථික විශේෂඥයෙකු වූ ජෝන් එක්ස්ටර්ගේ (JOHN EXTER) මාර්ගෝපදේශකත්වයෙන් ලංකාවේ මහ බැංකුව ස්ථාපිත කිරීමට මුල් වූයේ එදා මුදල් ඇමති වූ ජේ. ආර්.ය තම පියාගේ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති වශයෙන් ජේ. ආර්. කළ සේවය ඩඩ්ලි අගමැති ගණන් ගත්තේ නැත.


මෙසේ වන්නිනායකට මුදල් ඇමතිකම ලබාදීම, ජේ. ආර්. කොන්කිරීමේ සිද්ධිය තුළින් ජේ. ආර්. සහ ඩඩ්ලි ආර නයිමුගටි සටන ඇරඹුණේය. යු. බී. වන්නිනායක නිරහංකාර ගැමියෙක් විය. වසර 5ක් මුදල් ඇමති තනතුර දැරුවත් මුදල් පස්සේ හඹා නොගිය, මහ බැංකුව, මහා භාණ්ඩාගාරය මෙන්ම රාජ්‍ය බැංකු හිස් නොකළ, දූෂණය වංචාව පිටු දකිමින් පොදු ජනතාවගේ උන්නතිය තකා උදාර සේවයක් ඉටුකළ ජනතා පුත්‍රයෙකි. ඔහු ප්‍රථම වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ මීට වසර 77කට පෙර පුත්තලමෙනි. ඉන්පසු කීප වරක්ම නිකවැරටිය අසුනෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. අයවැය වාර්තා 5ක්  ඉදිරිපත් කර ලංකාවෙන් දරිද්‍රතාවය තුරන් කිරීමට මේ හිටපු විදුහල්පතිවරයා උදාර සේවයක් සිදු කළේය. 


කුරුණෑගල ඉපදී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති වශයෙන් 1930 සිට 1947 දක්වා ඔහු සිදුකළ සේවය අති විශිෂ්ටය. ඔහු මුදල් ඇමතිකම අනුසාරයෙන් ඔලුව උදුම්මවා ගත්තේ නැත. මුදල් මඩිස්සල ගැහුවේ නැත. ඔහුගේ පුත්‍රයා ලංකා බැංකුවේ ලිපිකරු තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ගිය විට බැංකුවේ බලධාරීන් පුතා ගැන විමසා සිටි අවස්ථාවේදී ඊට මැදිහත්වීම තමාගේ ධුරයට ඇතුළත් කාර්යයක් නොවන බව කියා සිටියේය. ඔහු වැනි දේශපාලකයන් රටට  ආශීර්වාදයකි. සම්පතකි.
මෙවැනි දේශපාලකයන් නන්නත්තාරවී ඇති ශ්‍රී ලංකාවේ දේශපාලන කාන්තාරයට ආදර්ශයක් නොවන්නේ ද ? දේශපාලනය අනුසාරයෙන් කිසිවක් හරිහම්ම කර නොගත් මේ නිකවැරටියේ ගැමියා 68 වියේදී එනම් 1973 අගෝස්තු 21 වැනිදා කොළඹ රජයේ රෝහලේ දී අවසන් හුස්ම හෙළුවේය. ඩඩ්ලි මැතිඳුන් මියගියේ ඊට මාස 5කට පෙරය. මෙවැනි හිතකාමී දේශපාලකයන් ලංකාවේ කවදා බිහිවේද?

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

පුතා වෙනුවෙන් කඩේ නොගිය ඇමැති තාත්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 362 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16597 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 630 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site