IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආනන්දයේ කොල්ලන්ට ඩඞ්ලිගෙන් ගෝරනාඩුවක්

මෙ රට 60 සහ 70 දශකයේ ශිෂ්‍ය සංගම් ව්‍යපාරය තුළ බලය අත්පත් කරගෙන සිටියේ වාමාංශික දේශපාලන පක්ෂවලට අයත් ශිෂ්‍ය සංගම්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ජාතික ශිෂ්‍ය සංගමය ඒ අතරින්ද පෙරමුණේ පසුවූවේය.


මුලින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුල්කරගෙන ගොඩනගාගත් ජාතික ශිෂ්‍ය සංගමය ක්‍රමයෙන් තම අඬුපඬු විහිදවමින් අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ පාසල් බොහොමයකට තම ශාඛා සමිති පිහිටුවමින් බලය අල්ලාගෙන සිටියේ අත්දැකීම් අඩු ශිෂ්‍ය පරපුර තම ග්‍රහණයට නතුකර ගනිමිනි.


ඒ කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුණ සිසුන් කීපදෙනෙකු විසින් අරඹා තිබූ ජාතික ශිෂ්‍ය සංගමය ක්‍රමයෙන් බලවත් වෙමින් තිබුණේය. ඒ හැර වෙනත් දේශපාලන පක්ෂයකට ආනන්ද විද්‍යාලයීය සිසුන් තම ග්‍රහණයට නතුකර ගන්නවා තබා ඒ ගැන සිතීමටවත් නොහැකිවූ බව වත්මන් රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. එකල ආනන්ද විද්‍යාලයේ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඔහු ඇතුළු ඉමිටියාස් බාකර් මාකර්, සිතේන්ද්‍ර සේනාරත්න, ශර්මාල් සේනානායක සහ රොහාන් අබේවික්‍රම යන සිසුන්ගේ සහයෝගය හිමිවූයේ එජාප යටය. පාලිත පැල්පොල ඒ අතර සිටි තවත් සිසුවෙකු විය.


අපි මෙහෙම ඉඳල හරියන්නෙ නැහැ. අපිත් අපේ පක්ෂයේ ශිෂ්‍ය සංගම් ශාඛාවක් පිහිටුවාගන්න ඕනෑ යි දිනක් සවස්වරුවේ ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍ය නේවාසිකාගාරය තුළ සුහද පිළිසඳරක යෙදී සිටි ඉමිටියාස් තම සගයන්ට යෝජනා කළේය. විශේෂයෙන්ම එම අවස්ථාවේ එවැනි අදහසක් ඇදී ආවේ ඒ වනවිට ආනන්ද විද්‍යාලයේ සිසුන් අතර තම බලය පතුරුවාගෙන සිටි ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවක් පෙනී ගොස් තිබුණු බැවිනි. එකල කොළඹ ආනන්ද විද්‍යාලයීය ජාතික ශිෂ්‍ය සංගමයේ කැපී පෙනුණ නායකයා වූයේ සරත් කෝංගහගේ බවද රංජිත් මද්දුම බණ්ඩාරට මතකය.


කෙසේ වෙතත් එකල ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාවූ කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ මහතා තම සිසුන් ඉගෙනීමේ කටයුතු අතපසු කරමින් දේශපාලන කටයුතුවල නියැළීම ගැන ඉතා තදින්ම විරුද්ධවූයෙන් ඔවුන්ටද තම ශිෂ්‍ය සංගම් කටයුතුවල යෙදීමට සිදුවූයේ රහසිගතවය.


මේ අතර ජාතික ශිෂ්‍ය සංගමය අයත්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ශිෂ්‍ය දේශපාලනය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද්දේ තරමක ලිහිල් පිළිවෙතකි. එහෙයින් කෝංගහගේලාට විදුහලේ ප්‍රධානීන්ගෙන් කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් නම් විවිධ ඇප උපකාර ලැබෙමින් තිබුණේය. ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වූයේ එවකට අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ධූරය දැරූ බී. වයි. තුඩාවේ මහතා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු වීමයි. එලෙස රාජ්‍ය අනුග්‍රහය ලැබූ කෝංගහගේලා සිසුන් අතර සිවිල් බලයක්ද ආරෝපණය කරගෙන සිටියේ විද්‍යාලයේ ශිෂ්‍ය විධායකයන්ගේ බලතල පවා අතික්‍රමණය කරමිනි.


“මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කරපු අපි කට්ටිය කතා කරගත්තා ආනන්ද විද්‍යාලය තුළත් එජාපයට සම්බන්ධ සමවාදී ශිෂ්‍ය සංගමයේ ශාඛාවක් පිහිටුවන්න. දැන් ඔන්න අපි ඒ රැස්වීම සඳහා දිනයක් හා වෙලාවකුත් වෙන්කරගත්තා. ඒ දවස්වල ආනන්ද විද්‍යාලයේ එහා පැත්තෙ කෙළවරේ තිබුණා ටිකක් පාළු තැනක්. ළමයි එතෙන්ට කිව්වේ ගල්ඔය කියලා. දැන් අපි දන්න දන්න අයටත් කියලා පවත්වපු මුල්ම රැස්වීමට ළමයි 15 ක් 20 ක් විතර ඇවිත් හිටියා. ඒක අපේ හිතටත් ලොකු ධෛර්යයක් වුණා”යි කියන රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරන්නේ එදින තමන් ඇරඹූ නව ශිෂ්‍ය සංවිධානය සඳහා නිලධාරී මණ්ඩලයක් ද පත්කරගත් බවය.


පසු කාලයකදී ගාමිණී දිසානායක ඇමැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයාවූ පාලිත පැල්පොල තමයි සභාපති. සිතේන්ද්‍ර සේනාරත්න ලේකම්, ඉමිටියාස් ප්‍රධාන සංවිධායක, මම භාණ්ඩාගාරික හැටියට පත්වුණා. දැන් අපට අවශ්‍ය වූයේ එජාපයට අනුබද්ධව පිහිටුවාගත් අපේ ශිෂ්‍ය සංවිධානයට එජාපයෙන් නිල වශයෙන් පිළිගැනීමක් ලබාගන්නයි.”
ඔහු සඳහන් කරන අන්දමට එකල එජාප නායකත්වය දරන ලද්දේ ඩඞ්ලි සේනානායක මහතා වූ අතර තම ශිෂ්‍ය සංවිධානයට එජාපයෙන් නිල පිළිගැනීමක් ලබාගැනීමට නම් පක්ෂ නායකයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය විය.


“හරි අපි යමු ඩඞ්ලි සේනානායක මහත්තයා හම්බවෙන්න. ගිහින් කියමු අපේ ශාඛාවට පක්ෂයේ නිල අනුමැතිය දෙන්න කියලා. මම කොහොම හරි ලොක්ක හම්බවෙන්න අපොයිමන්ට් එකක් අරගන්නං” යි කී පාලිත ඒ පිළිබඳ සියලු වගකීම තමන් වෙත පවරා ගත්තේය.


එකල පාලිත සිටියේ රංජිත්ලාට වඩා ඉහළ පන්තියකය. ඊට දින කීපයකට පසු පාසලේ විවේක කාලය තුළ හමුවූ ඔහු කියා සිටියේ ලබන සෙනසුරාදා උදේ 10.00 ට බොරැල්ලේ වුඞ්ලන්ඞ්ස් මන්දිරයේදී ලොක්කා මුණගැසීම සඳහා අවස්ථාවක් ලබාගත් බවය.


“අපි අපේ ඉල්ලීම ඉන්රයිටින් දෙමු. මම ඒක ඉංග්‍රීසියෙන්ම ටයිප් කරගෙන එන්නං”යි කී පාලිත ඊළඟ තත්පරයේදී සිසුන් අතරට වැදී නොපෙනී ගියේය.


දැන් ඔන්න ලබන සෙනසුරාදා වෙනකං අපි ඇඟිළි ගැන ගැන ඉන්නේ. අපි කට්ටියම ගිහින් හොස්ටල් එකේ වෝඞ්න්ගෙනුත් අවසර ගත්තා පබ්ලික් ලයිබි්‍රයට යනවයි කියලා. දැන් අපි හත්අටදෙනාම පයින්ම ගියා බොරැල්ලට. වුඞ්ලන්ඞ්ස් මන්දිරයට ගිහින් බෙල් එක ගැහුවම කරෝලිස් දුවගෙන ආවා. එතකොටත් ඉමිටියාස් ගැන කරෝලිස් හොඳට දන්නවා බාකීර් මාකර් මන්ත්‍රීතුමාගේ පුතාය කියලා.


“පුංචි මහත්තයලා මොකද මේ පැත්තේ? අපේ ඩඞ්ලි හාමු මහත්තයා හම්බවෙන්නද?” යි ඇසූ කරෝලිස් ගෙතුළට ගොස් එසැණින් ආපසු ආවේය.


අන්න පුංචි මහත්තයලට අපේ හාමු මහත්තයා කතා කරනවා.


“දැන් ඔන්න අපි සේරමලා ඇතුළට යනකොට ඩඞ්ලි සේනානායක මහත්තයා හාන්සි පුටුවක දිග ඇදිලා පයිප්පයක් උර උරා ඉන්නවා. අපි දැක්ක ගමන් ආ මේ අර ආනන්ද විද්‍යාලෙ ළමයි නේද කියලා අහලා දුම් උගුරක් ඇදලා හිනාවුණා”යි කියන රංජිත් මද්දුමබණ්ඩාර ඒ සමගම සඳහන් කරන්නේ ලොක්කා තමන් සියලුදෙනාගේම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමසිල්ලෙන් බැලූ බවය. පාලිත විසින් රැගෙන ගිය ලිපිය ඔහු කියවා බැලුවේ ඉන් අනතුරුවය.


“මේ අය හැමෝම ඉගෙන ගන්න ළමයි. පාසල් ශිෂ්‍යයන්ට අවශ්‍ය නෑ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න. මම ඒකට කැමතිත් නෑ. ඒ නිසා දැන් කවුරුත් ආපහු ගිහින් හොඳට ඉගෙන ගෙන ඉවරවෙලා කැමැති නං විතරක් ආපහු එන්න” යි කී ඩඞ්ලි සේනානායක මහතා ඉමහත් බලාපොරොත්තු රැසක් පොදිබැඳගෙන තමන් හමුවීමට පැමිණි ආනන්ද විද්‍යාලයේ සිසුන් කීපදෙනා අනුකම්පා විරහිත ලෙස පන්නා දැමුවේය.


“එදා ඒ සිද්ධියෙන් පස්සේ ඩඞ්ලි සේනානායක මහත්තයා ගැන අපේ හිතේ තිබුණු ගෞරවය තවත් වැඩිවුණා”යි කියන රංජිත් මද්දුම බණ්ඩාර අදටත් ඒ ගැන සිහිපත් කරන්නේ දැඩි ළෙන්ගතුකමකිනි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ආනන්දයේ කොල්ලන්ට ඩඞ්ලිගෙන් ගෝරනාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site