IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අවමන් කළ සුද්දාට කනේ පාරක්

සර් ජෝන්ගේ නොපළ කතා

 

 

අප එංගලන්තයට ළඟා වුව ද අපේ සිතේ තිබූ යුද බියනම් කිසිසේත් ම අවසන් වූයේ නැත. දින කිහිපයකට පසු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත්වන්නට විය. නගර වැසියෝ හිස් ලූ ලූ අත පලා ගියහ. ඔවුන් ආරක්ෂක ස්ථානවල සැඟවෙද්දී අපි දෙදෙනා අහස දෙස බැලීමු. ජර්මනියේ සෙපලින් යානයක් ඉතා පහතින් ගමන් කරයි. බි්‍රතාන්‍ය ගුවන් හමුදාවේ යාත්‍රා ද ඒ දෙසට වේගයෙන් පියාසර කරයි. වෙඩි හඬ අහස ගිඟුම් දෙයි. යුද්ධය දැන් මා ඉදිරිපිටය. සිතේ ඇතිවන්නේ බියට වඩා සිත කිළිපොවන අමුතුම රසයකි. 


ජර්මන් යානය වෙඩි වැදී බිම පතිත වී ගිනිගෙන විනාශ විය. එය බිම හෙලූ රොබින්සන් නමැති බි්‍රතාන්‍ය ගුවන් නියමුවාට නිර්භීතකමට පිරිනමන වික්ටෝරියා පදක්කම් දෙකක් ලැබුණු බව පසු දිනක පුවත්පත්වල පළවී තිබිණි. ඔහුගේ මේ වීර ක්‍රියාව මගේ සිතේ කා වැදිණි. ඔහු මෙන් කවදා හෝ මම ද මගේ මව්බිම වෙනුවෙන් සටන් කරන්නෙමැයි ඉටා ගත්තෙමි. 


ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා තම සටහන්වල තබා ඇත්තේ එකල ද ලන්ඩන් නගරය ලාංකිකයන්ගෙන් හිස් නොවූ බවයි. 1915 සිදුවූ කෝලාහලවලින් පසු තම ජනතාවට සිදුවූ බලවත් අසාධාරණ හා අකටයුතුකම් ගැන යටත් විජිත බාර මහ ලේකම්ට කරුණු කියා දීමට පැමිණි ලාංකිකයන් කිහිප දෙනකු ම ඔහු ලන්ඩන් නගරයේ දී හමුවී තිබිණි. 
“මට මතකයි මේ පිරිස අතර සිටියා ඊ. ඩබ්ලිව්. පෙරේරා. එතුමා ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් කළ දේශප්‍රේමීන් අතර ඉතාම වැදගත් තැනක් දිනාගෙන සිටි අයෙක්. ලංකාවෙන් එංගලන්තයට ගිහින් ඉගෙනුම ලබන අය කෙරෙහි මෙතුමා මහත් කරුණාවක් දැක්වුවා. ඔහුට හරිහැටි සිංහල කතා කරන්න හැකියාවක් නැතත් ලාංකික සිසුන් සමග කවදාවත් ඉංග්‍රීසියෙන් කතා කළේ නැහැ. එයා තමයි අපිට එංගලන්තයේ බොහෝ දේ කියා දුන්නේ”
මේ පාඩම් අතර තිබූ සුවිශේෂී පාඩමක් වූයේ ලන්ඩන් නගරයේ පොළොව යටින් වැටී ඇති දුම්රිය මාර්ගයේ දී ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වන ආකාරයයි. මේ දුම්රිය මාර්ග ගැට කපන්නන්ගේ රජදහන් යැයි ජෝන් කොතලාවල දැනගත්තේ ඊ. ඩබ්ලිව්. පෙරේරාගෙනි. අවිවාහකයකු වූ පෙරේරා මහතා සෑම සිසුවකුට ම පියකු මෙන් සෙනෙහසින් උපදෙස් දුන්නේය.


දුම්රිය මාර්ගයේ දී ගැට කපන්නන් අතට අසුවුවහොත් මුදල් පසුම්බිය, ටයි කටු පමණක් නොව බඳ පටි ඇතුළු සියලු දේ අහිමිවන බව ඔහු කොතලාවලට කියා තිබිණි. දිනක් ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වී සිටීමේ මනා හැකියාව ගැනත් තම පළපුරුද්ද ගැනත් ඊ.ඩබ්ලිව්.පෙරේරා මහත් ගර්වයෙන් කතා කරමින් සිටියේය. නමුත් වෙනදා ඔහුගේ ඇඳුමේ දක්නට ඇති රන් කටුව දක්නට නැත. කොතලාවල මේ ගැන ඇසුවේය. 
අවාසනාවකි. තම රටෙන් පැමිණි ආධුනිකයන්ට ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම්වීමේ පාඩම් කියා දෙන ඔහුගේ රන් කටුව ද ගැටකපන්නන් විසින් පැහැරගෙනය. ආධුනිකයන් සිනාසෙද්දී අත්දැකීම් බහුල පෙරේරා මහත් ලජ්ජාවට පත්වූයේය. 


එංගලන්තයේ ඉගෙනුම ලැබූ කාලයේ දී කොතලාවලට යුරෝපයේ අන් රටවල සංචාරය කිරීමේ අවස්ථාව ද ලැබිණි. මේ කාලයේ ප්‍රංශ භාෂාව කතා කිරීමට ද ඔහු සමත්කම් දැක්වීය. වරක් ඔහු ප්‍රංශයට ගොස් සිටියේය. ඔහු ප්‍රංශ ජාතික කාන්තාවක සමග කතා කරමින් සිටින අතරතුර ඇය හිටි හැටියේ සිගරැට්ටුවක් ඉල්ලුවාය. ඉක්මනින් ම කබාය ඇතුළේ තිබූ රනින් කරවන ලද සිගරැට් හෙප්පුව ඇදි ඔහු එය ඇයට දික්කළේය. නමුත් එහි සිගරැට් තිබුණේ නැත. 

 

 


අසල සිටි හැඩි දැඩි ඇමෙරිකන් ජාතිකයකු පැමිණ ඔහුගේ සිගරැට් හෙප්පුව අර කාන්තාවට දික්කළ ද ඉල්ලීමක් නොමැතිව ලැබුණු මේ සැලකිල්ල ඇය ප්‍රතික්ෂේප කළාය. 
‘කළු මිනිහගේ සිගරැට්වලට වඩා සුදු මිනිහාගේ සිගරැට් හොඳයි’ ඔහු කීවේ අනපේක්ෂිත ලෙස වර්ණ භේදය මතුකරමිනි. 
‘එකම කර්මාන්තශාලාවක හදන එකම වර්ගයේ සිගරැට් වලින් ඔය හෙප්පුවට හොඳ ඒවා වැටෙන්නේ කොහොමද ?’ යැයි මම ඇසුවෙමි. 
ඔහු තවත් මොනවාදෝ කියාගෙන ආවා මට මතකය. කළු ජාතීන් හෑල්ලුවට ලක්කරමින් කතා කරන මේ සුදු ජාතික උද්දච්ච මිනිසාට පාඩමක් ඉගැන්විය යුතුයැයි සිතා මම වේගයෙන් නැගිට්ටෙමි. 


‘මගේ මව් බිම ප්‍රංශය නෙවෙයි. ප්‍රංශය උඹේ මව්බිමත් නෙවෙයි. ඒ නිසා ප්‍රංශය අපි දෙන්නාට ම එකයි. කළු මිනිහාගේ සිගරැට් කොහොම වුණත් කළු මිනිහාගේ පාරක් සුදු මිනිහෙකුගේ පහරකට දෙවැනි වෙන්නේ නෑ.’ කියූ මම හිතා ගැනීමටවත් බැරි වේගයකින් ඔහුගේ හක්කට පහරක් දුන්නෙමි. ඔහු විසිවී ගොස් බිම ඇද වැටිණි. 
මේ කලබලය දුටු ප්‍රංශ ජාතිකයෝ එතැනට රොක් වූහ. මට ප්‍රංශ භාෂාව කතා කළ හැකි නිසා ප්‍රංශ ජාතිකයන්ගේ සහය මට ලැබිණි. ඇමෙරිකානුවාට කතා කළ හැකි වූයේ ඇමෙරිකානු ඉංග්‍රීසි පමණි. 


අවසානයේ අප දෙදෙනාම ප්‍රංශ පොලිස් නිලධාරියකු ඉදිරිපිටට යැවිණි. මේ දබරයට හේතුව ඇසූ පොලිස් නිලධාරියාට මා කීවේ මට අපහාස කළ බැවින් මා හක්කට ඇන්න බවයි. 
ප්‍රංශයේ දී රණ්ඩු නොවී ලංකාවට හෝ ඇමෙරිකාවට හෝ ගොස් රණ්ඩු වෙන්නැයි ඔහු අපට කීවේය. 


මා යළි ලංකාවට ආවේ පස් වසරකට පසුවය. යුරෝපීයයන් කෙරේ දැඩි පිළිකුලක් මගේ සිතේ ඇති නොවුන ද වෙනදාට වඩා මහන්සියෙන් කටයුතු කිරීමටත්, වෙනදාටත් වඩා හොඳින් ජීවත්වීමටත් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තෙමි.

 

 

සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

අවමන් කළ සුද්දාට කනේ පාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 194 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site