IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මට එරෙහිව නැගුණ දූෂණ චෝදනා

චන්ද්‍රිකා කතා කරයි

05 කොටස

 

 

ගෝල්ෆ් ක්‍රීඩාංගණය පිළිබඳ නඩුව


ආණ්ඩුවේ පාරදෘෂ්‍යභාවය සහතික කිරීමට මවිසින් නිර්මාණය කරන ලද සියලු පද්ධති විනාශ කර දැමූ සහ පසුව තමන් විසින්ම සිත් කම්පා කරවනසුලු දූෂණයන් හි නියැළුණ මගේ අනුප්‍රාප්තිකයන්ට මගේ ධුර සමය තුළ මවිසින් පවත්වා ගන්නා ලද යහපාලනය සහ මගේ පෞද්ගලික අවංකත්වය නොගැළපුන බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
ස්වකීය දූෂණ ක්‍රියාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඔවුන් හට චන්ද්‍රිකා ද අවංක නොවන්නේ යයි පෙන්වීමට සිදුව තිබිණි. මා ගැන මෙන්ම බණ්ඩාරනායකවරුන් පිළිබඳව ද පැවැති නිම් නැති වෛරය සහ ඊර්ෂ්‍යාවට අමතරව තිබූ මේ අවශ්‍යතාවෙහි ප්‍රතිඵලය වූයේ මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් මට එරෙහිව එල්ල කරනු ලැබීමයි. ඒ අනුව දැන් කුප්‍රකට “වෝටර්ස් එජ් නඩුව” නමින් හඳුන්වනු ලබනා සිදුවීම අළලා අන්තගාමී දේශපාලන පක්ෂයක සාමාජිකයන් මට එරෙහි පෙත්සමක් ද සමගින් අධිකරණය වෙත යවනු ලැබිණි.


එහිදී ප්‍රධාන වශයෙන්ම සංචාරක කර්මාන්තය නැංවීමට යයි කියමින් ගෝල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිණිස අක්කර සියයක වපසරියකින් යුත් රජය සතු ඉඩමක් මගේ මිත්‍රයෙකුට සහ ඔහුගේ සමාගමට ලබා දෙමින් අයථා වාසි පිරිනමන ලදැයි මට එරෙහිව චෝදනා එල්ල කෙරිණි.


කවරකුට වුව මට එරෙහිව දූෂණ චෝදනාවන් එල්ල කිරීමට හැකි වූ එකම අවස්ථාව මෙය වන හෙයින් මම මෙහිදී ඊට අදාළ සාධක සැකෙවින් ගෙනහැර පානු කැමැත්තෙමි. මේ කියනු ලබනා සිදුවීමේදී හෝ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරිය හෝ මහ ඇමැතිවරිය ලෙස ධුරය දැරූ සමයෙහි දී වුව කවරාකාරයේ වුව අනීතික හෝ අවිධිමත් ආකාරයකින් මගේ නිල බලය භාවිත කරමින් හෝ අන්‍යාකාරයකින් කටයුතු කර නැති බව කිසිදු චකිතයකින් තොරව මට කිව හැකිය.


මේ කරුණ සම්බන්ධයෙන් අනීතික හෝ අවිධිමත් කිසිවක් සිදුව නැති බව සනාථ කිරීම පිණිස මගේ නීතිඥවරු ඉතා පැහැදිලි, අභියෝගයට ලක් කළ නොහැකි විශ්වාසනීය සහ සමකාලික ලේඛනගත සාක්ෂි අධිකරණය හමුවේ ගෙනහැර පෑවෝය. එහෙත් අධිකරණය නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි රජයේ අධිකාරින් විසින් තමන් හමුවට ඉදිරිපත් කරන ලද මේ සියලු සාක්ෂි මෙන්ම සියලු ලේඛනගත සාක්ෂි ද නොතකා හළේය.


මේ ඉඩම් ප්‍රදානය යනු ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ වන ආයෝජන සඳහා වූ සහනයකි.


ආයෝජන මණ්ඩලය ජයවර්ධන ආණ්ඩුව සමයෙහි ආරම්භ කරන ලද දා පටන්ම රට තුළට සෘජු විදෙස් ආයෝජන ආකර්ශණය කරගැනීම උදෙසා විදෙස් ආයෝජනයන්ට සහන ලබා දීමට රෙගුලාසි පැන විය. පෙර පැවැති ආණ්ඩුව යටතේ ආයෝජන මණ්ඩලය විවිධ ප්‍රොත්සාහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. 1994 වසරේදී මා සහ මගේ ආණ්ඩුව තෝරා පත්කර ගැනීමටත් පෙර සිටම අනෙකුත් දෑ අතර රජය සතු ඉඩම් පවරා දීම ද මීට ඇතුළත්ව තිබිණි. කෙසේ වෙතත් කිසිදු ආයෝජකයකු හට උපකාර කිරීමේ අදහසින් මම ආයෝජන සඳහා සහන දීමේ සංකල්පයක් ගැන කල්පනා කිරීමට ඉක්මන් නොවීමි.


දෙනු ලබන සහනයන් හී ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමට පටන් ගත්තේ උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමගය. ඒ මෙහි ආයෝජනය කිරීමට අකැමැත්තක් දැක්වූ ආයෝජකයන් ආකර්ශනය කරගැනීමේ අදහසිනි. ඊට අමතරව ආණ්ඩුව විසින් වැදගත් යැයි සලකන ලද විශේෂිත වර්ගයන්හි ව්‍යාපෘති සඳහා විශේෂ සහන පිරිනමනු ලැබිණි.


මගේ ආණ්ඩුව විසින් යෝජනා කරනු ලදුව 1995 වසරේ ජූනි මස පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ජාතික ආර්ථික සංවර්ධන සැලසුමෙහි කොටසක් ලෙස ශ්‍රී ලංකාවට උපරිම ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමේ අදහසින් ආණ්ඩුව ආයෝජකයන් හට පිරිනමනු ලබන සහන ඉහළ දැමීමට අදහස් කළ බවට මම කරුණු ඉදිරිපත් කළෙමි.
යහපාලනය පිළිබඳ මගේ ප්‍රතිපත්ති අනුව යමින් මම පාරදෘෂ්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ශක්තිමත් කිරීමට කටයුතු කළෙමි. එහිදී ඒපීජීසී ව්‍යාපෘතියට (වෝටර්ස් එජ්) දෙන ලද සියලු පහසුකම් මෙකී මාර්ගෝපදේශ සහ රෙගුලාසිවලට සාකල්‍යයෙන්ම අනුකූල විය. මෙහිදී පහත පරිදි පනවන ලද සියලු පරිපාටි අනුගමනය කෙරිණි.
ව්‍යාපෘති ඇගයුම සහ ආයෝජන මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීම.


නාගරික සංවර්ධන අධිකාරියෙහි සහ මධ්‍යම පරිසර අධිකාරියෙහි අනුමැතිය ලබා ගැනීම.


ව්‍යාපෘතිය අධ්‍යයනය කළ මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා දීම සහ ඉන් අනතුරුව එය මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.


අමාත්‍යවරයා විසින් ඇගයීම සහ අනුමැතිය ලබා දීම.


ආයෝජන මණ්ඩල පනතේ 7 වැනි වගන්තිය මගින් උපදෙස් දෙන පරිදි අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කිරීම.


අදාළ භාණ්ඩාගාර කමිටුව මගින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඇගයුමට ලක් කරන ලද අතර අවසන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍යවරයා වෙත යැවීම.


සියලු ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා විශේෂිත හෝ වෙනත් සහන නිර්දේශ කරමින් සකසනු ලබන සෑම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ම, අදාළ නිර්දේශයන් අමාත්‍යවරයා වෙත යැවීමට පෙර ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ආයෝජන මණ්ඩලයේ පාලක මණ්ඩලය වෙතින් අනුමැතිය ලබාගත යුතු යැයි නියම කරමින් මවිසින් හඳුන්වා දෙන ලද නව රීතීන් අනුගමනය කරමින් පිළියෙල කළ යුතුය යන කරුණ අවධාරණය කිරීම පිළිබඳව මම නැවත වරක් දැඩිව පවසා සිටියෙමි. මා මේ සියල්ල අනුමත කර අමාත්‍ය මණ්ඩලය හමුවෙහි තැබුවේ සියලු පරිපාටි නිසි ලෙස අනුගමනය කිරීමෙන් පසුවම පමණි.


මෙකී ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දීමේදී සිදුව ඇතැයි චෝදනා එල්ල වූ අක්‍රමිකතාව ගැන පරීක්ෂණ පැවැත්වීම පිණිස 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවට පවා මෙලෙස ඒපීජීසී ව්‍යාපෘතිය සඳහා ඉඩම පිරිනැමීමේදී අක්‍රමිකතාවන් සිදුව ඇතැයි සාධක හමු නොවූ බව මෙහිලා සඳහන් කිරීම වැදගත් වේ. කමිටුව වාර්තා කර සිටින්නේ කිසිදු විශේෂ සහනයක් පිරිනමා ඇති බවක් සොයා නොගත් බවයි. සියලු සහන පිරිනමන ලද්දේ ආයෝජන මණ්ඩලය යටතේ වන ආයෝජනයන්වලට අදාළ වන්නා වූ පිළිගත්, සාමාන්‍ය, නීති සහ රෙගුලාසි අනුගමනය කරමිනි.


මෙකී මාර්ගෝපදේශයන්ට අදාළ සියලු ලේඛන අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද ද ඒ සියල්ල නොතකා හරිනු ලැබිණි.


අධිකරණය මා මෙම ඉඩම අදාළ සමාගමට ඉල්ලීමකින් තොරව සිය කැමැත්තෙන් පිරිනමා ඇතැයි චෝදනා කරන තැනකට යොමුවිණි.


ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ඉඩම් පිරිනමනු ලබන්නේ ආණ්ඩුවේ කැමැත්ත මත නොව ආයෝජක විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ විටක පමණක් වන නිසා මෙහිදී ඉල්ලා සිටීම පිළිබඳ සංකල්පය අදාළ නොවේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත් කල ආණ්ඩුව භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම උදෙසා ලංසු කැඳවීම සිදු නොකරයි. මෙහිදී සිදුවන්නේ ආයෝජක සිය මුදල් ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමයි. ඉන් අනතුරුව ආයෝජක ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලා සිටියි. එහෙයින් “ඉල්ලීම” පිළිබඳ ගැටලුව අදාළ නොවේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ඉඩම් පිරිනැමීමේදී කිසිදු ආණ්ඩුවක් යටතේ වුව ටෙන්ඩර් කැඳවීම කිසි විටෙකත් අවශ්‍ය නොවේ. එහෙත් මේ සරල සත්‍යය උගත් විනිසුරන් විසින් අවබෝධකර නොගැනීම මහත් කනගාටුවට කරුණකි.

 



අදහස් (0)

මට එරෙහිව නැගුණ දූෂණ චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1295 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site