IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඩික්සන්ගේ පිම්ම

වසර 2000 දී පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළේය. එවර පොදුජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ධුර 107 ක් ලැබී තිබුණ අතර ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රී ධුර 89 කි. ඒ අනුව පො.එ.පෙට ආණ්ඩු බලය හිමි වුවද වැඩි කලක් නොයවාම ආණ්ඩුවට තිබූ පාර්ලිමේන්තු බහුතරය පිරිහී යන බවක් පෙනෙන්නට තිබුණේය.

ඒ සඳහා මුල් වූයේ ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ, නාවික හා මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැති රාවුෆ් හකීම් මහතා ජනාධිපතිනිය විසින් ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ සිද්ධියකි.


ඇමති රවුෆ් හකීම් එ.ජා.ප නායකයා සමග රහසින් සම්බන්ධකම් පවත්වනවා! යි සඳහන් බුද්ධි අංශ වාර්තාවක් ඒ වන විටත් චන්ද්‍රිකා ජනාධිපතිය අතට ලැබී තිබුණේය. එම බුද්ධි අංශ වාර්තාව දැකීමෙන් කෝපයට පත් චන්ද්‍රිකා මැතිනිය තමන් සතු විධායක බලතල යොදවා ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කළාය.


එයා නැති වුණාට මොකද? ෆේරියල් අපිත් එක්ක ඉන්නව නේ... යි සිතූ ජනාධිපතිනිය මුලින් ඒ ගැන සැලකුවේ ඉතා සැහැල්ලුවෙනි. එහෙත් රාවුෆ් හකීම් ඇමැති ධුරයෙන් ඉවත් කර පැය කීපයක් ඇතුළත ජාතික සමගි පෙරමුණ හරහා ආණ්ඩු පක්ෂයට එක්ව සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙක්ම විපක්ෂයට ගොස් තිබුණහ.


එම තත්ත්වය තවත් බැරෑරුම් අතට හැරුණේ ජනාධිපතිනියගේ සමීපතයෙකු වූ එස්. බී. දිසානායක ඇමැතිවරයා කුමන හෝ අපැහැදිලි හේතුවක් මත චන්ද්‍රිකා මැතිනිය සමග විරසක වී ඇමැති මණ්ඩල රැස්වීම් පවා වර්ජනය කිරීමට පෙලඹී සිටි බැවිනි. ඔහු පමණක් නොව තවත් මැති ඇමතිවරුන් කීපදෙනෙකුම ඒ වන විටත් එජාපය සමග රහසින් සම්බන්ධකම් ගොඩනගාගෙන ඇති බවටද දූෂමාන ආරංචි පැතිරෙමින් තිබුණේය.
මේ අතර ආණ්ඩුව තමන් විසින් පත්කළ සර්ව පාක්ෂික සමුළුව මගින් සකස් කරන ලද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා අරඅඳිමින් සිටියේය. මුලින් ඒ සඳහා එකඟත්වය පළ කළ එජාපය විධායක ජනාධිපති ධුරය අහෝසි කරන කාලසීමාව පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගෙන ඊට විරෝධය පළකර තිබුණද ආණ්ඩුව ඒ ගැන තැකීමක් නොකළේය.


ඒ අනුව ආණ්ඩුව සූදානම් වූයේ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයක් පවත්වා ජනමතය උරගා බැලීමටය.


පැකේජ් එක ජනමත විචාරණයෙන් සම්මත වුණොත් රනිල්ටත් ඊට පක්ෂව ඡන්දය දෙන්න වෙනවා. යි කී චන්ද්‍රිකා මැතිනිය යෝජිත ජනමත විචාරණය පැවැත්විය යුතු දිනවකවානු පවා තීරණය කර තිබුණාය.
මේ අතර ආණ්ඩුවේ අදහස ඉවෙන් මෙන් වටහාගත්  එජාපය කළේ අණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයාට බාරදීමය. එම තත්ත්වයත් සමග ජනාධිපතිනියට බලවත් සැකයක් හටගෙන තිබුණේ තමන් සතු පාර්ලිමේන්තු බහුතරය පිළිබඳවය. එම සැකය වඩාත් උග්‍ර අතට හැරුණේ එජාපය ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් බිලීබා ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන අනාවරණය වීමෙනි. මේ අතර අහවලා ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරිලා. අහවලා විපක්ෂයට යන්න හදනවා ආදී වශයෙන් වූ දේශපාලන ඕපාදූප රටපුරා පැතිරෙමින් තිබුණේය. එලෙස නම සඳහන් එක් අයකු වූයේ කොළඹ දිස්ත්‍රික් පො.එ.පෙ. මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරාය.
තමන්ගේම ගමේ අසල්වැසියෙකු වු චන්දන කත්‍රිආරච්චි මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයෙන් විශේෂ සැලකිලි හිමිවීම ඇතුළු තවත් කරුණු කීපයක් මත ඩික්සන් ජනාධිපතිනිය  කෙරෙහි අප්‍රසාදයකින් පසුවූ බව ප්‍රකට කරුණක් විය. මේ අතර කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රීවරයෙකු වූ සැම්සන් සිල්වා හරහා එජාපය ඔහු සමග සම්බන්ධතා ගොඩනගාගෙන සිටියේය.


ඊට අමතරව මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද විජේසේකර, බන්දුල ගුණවර්ධන සහ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ යන මැති ඇමතිවරුන්ගේ නම් ද ජනාධිපතිනිය සතුව තිබූ පනින්නට යන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව තිබුණේය.


එම තත්ත්වය යටතේ කවුරුන් පනීද? කවුරුන් රැඳේද? යන ප්‍රශ්නය ජනාධිපතිනියගේ සිතට දැඩි ලෙස වධ දුන්නේය. එම ප්‍රශ්නය වඩාත් බැරෑරුම් අතට හැරී තිබුණේ එජාපය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක අනුර බණ්ඩාරනායක මහතාට බාරදීමෙන් පසුවය.


මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ඔවුන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එජාපය මගින් රැගෙන ගොස් රහසිගතව සඟවා තැබීමේ වැඩ පිළිවෙළක් ගැනද අසන්නට ලැබුණේය. එමගින් එජාපට අවශ්‍ය වී තිබුණේ ආණ්ඩු පක්ෂය සතුව තිබෙන පාර්ලිමේන්තු බහුතරය අඩු කිරීමටය. මේ අතර එ.ජා.පයේ එම වෑයම අසාර්ථක කිරීම සඳහා උපක්‍රමික වැඩ සටහනක්ද ආණ්ඩු පක්ෂයෙන් ක්‍රියාත්මක කෙරුණු බව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරූ වත්මන් බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, ඉඩම් සහ සෞඛ්‍ය ඇමැති ගාමිණී තිලකසිරි මහතා පැවසීය.


ඒ සැරේ අපේ මැති ඇමතිවරුන් කට්ටියක් පක්ෂයේ වියදමෙන් කොළඹ ගලධාරි හෝටලයේ නතර කෙරුවා. ඒ සතියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන හැමදාම ඒ අය ගෝල්ෆේස් පිටියේ ඉඳලා පාර්ලිමේන්තුව දක්වා ගෙනිහින් බැස්සුවේ හෙලිකොප්ටර් එකකින්. හවසට ආයෙමත් අපිව ආපහු ගලධාරි හෝටලයට ගෙනාවෙත් ඒ විදියටමයි. ඒ අය අතරේ මමත් හිටියා. ඩික්සන් ජේ. පෙරේරාත් හිටියා. ඒ කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් හෝටලයෙන් එළියට යන්න ඉඩක් දුන්නේ නෑ. ඒක ජනාධිපතිගේ නියෝගයක්.


ගාමිණී තිලකසිරි එසේ කියන්නේ එජාපයෙන් පැහැරගෙන යාමට ඉඩ ඇතැයි සැක කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දින 4 ක පමණ කාලයක් කොළඹ තරුපහේ හෝටලයක නතර කරගෙන සිටි ආකාරය ගැන සඳහන් කරමිනි. එවකට සංස්කෘතික නියෝජ්‍ය ඇමති ධුරය දැරූ ටී.බී. ඒකනායක මහතා ද ඒ අතර සිටි බව හෙතෙම පවසයි.


කෙසේ වෙතත් එම මැති ඇමතිවරුන් පිරිස ගලධාරි හෝටලයේ නතර වී සිටි තුන්වැනි දවසේ උදෑසන කාලයේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තුවට ගිය ඩික්සන් ජේ. පෙරේරා සවස් කාලයේ ආපසු නොපැමිණියේය.
අපි ආපහු හෝටලයට එන්න සූදානම් වෙලා බලනකොට ඩික්සන් නෑ. මිනිහ අතුරුදන් වෙලා. දැන් අපි වහාම ඒ ගැන බාලපටබැඳි මහත්තයා හරහා ජනාධිපතිනියටත් දැනුම් දුන්නා. ඒක අහලා ජනාධිපතිතුමියටත් හොඳටම තරහ ගියා යි කියන ගාමිණී තිලකසිරි වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ අනුව එජාපය විසින් ඩික්සන් රැගෙන ගොස් ඇතැයි යන්න සක්සුදක් සේ පැහැදිලි වූ බවය.


මේ අතර ගාමිණී තිලකසිරිටත් එවකට නියෝජ්‍ය ඇමැතිවරයෙකුව සිටි ජනක බණ්ඩාර තෙන්නකෝන්ටත් ජනාධිපතිනියගෙන් කැඳවීමක් ලැබී තිබුණේය.


ඔය දෙන්නා ඩික්සන්ලගෙ ගෙදරට යන්න. එයා ගෙදර හිටියොත් කොහොම හරි මා ළඟට එක්කර ගෙන එන්න. නැත්තං එයාගෙ නෝනට කරුණු පැහැදිලි කරලා ඉන්න තැනකින් එවන්න කියලා කියන්න.
ඊට පස්සේ අපි ගියා ඩික්සන්ලගෙ ගෙදරට. හැබැයි එයා ගෙදර හිටියේ නෑ. ඒ සැරේ අපි එයාගෙ නෝනට ජනාධිපතිතුමියගේ පණිවුඬේ කියන්න ගියාම තමයි අලි ජංජාලයක් වුණේ.


ගාමිණී තිලකසිරි එසේ කියන්නේ සිනාසෙමිනි. අන්තිමේදී ඔවුන් දෙදෙනාට සිදුවූයේ ඩික්සන් ජේ. පෙරේරා මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් බඩ පුරා බැණුම් අසා හිස් අතින් ආපසු ඒමටය. ඊට පසුදිනම පාර්ලිමේන්තුවට පැමිණි ඩික්සන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේ විපක්ෂය පැත්තට ගොස් අසුන් ගත්තේය. එස්.බී. දිසානායක සහ මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට ගොස් තිබුණේ ඉන් අනතුරුවය.

 

 

 

 


නිහාල් ජගත් චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

ඩික්සන්ගේ පිම්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17505 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site