හසලක සුනිල් ඒකනායක



සිය නෑ හිත මිතුරන් සමග මනමාලියක කැන්දාගෙන යාමට මංගල උත්සවයකට පැමිණි තරුණයකුට කසාදයට අත්සන් කිරිමට සුදානම් වු අවස්ථාවේ මනමාලිය මෙම මඟු‍ලට කැමති නැතැයි කියමින් එම ස්ථානයෙන් පිටවී දිව ගොස් ඇයගේ පෙම්වතා යැයි කියන අයකුගේ මෝටර් රථයක නැගි පලා ගිය හෙයින් ඇයගේ ඥාති නැගණියක මනාලිය වශයෙන් කැන්දන් යාමට මනමාලයකුට සිදුවු පුවතක් පිළිබඳ සිද්ධියක් දුම්බර ප‍්‍රදේශයේ නගරයකින් වාර්තාවිය.
සීතල කඳුකර නගරයකට ආසන්නයේ පදිංචි පෞද්ගලික ආයතනයක රැකියාව කරනු ලබන තරුණයකු විවාහ වීමට කල වයස හරි ගොස් තිබු හෙයින් ඔහුගේ මව්පියන් මගුල් කපුවකුගේ මාර්ගයෙන්  දුම්බර ප‍්‍රදේශයේ පදිංචි පවුලක පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන සම වයසේ පසුවු තරුණියක දෙපාර්ශ්වයේ ආ ගිය ගමන් වලින් පසු සහකාරියක වශයෙන් තෝරාගෙන තිබුණි.
මෙම නව යුවළගේ අතිනත ගැනීමේ මංගල උත්සවය මනමාලිය පදිංචි ගමට ආසන්න නගරයේ හෝටලයක ගැනීමට දෙපාර්ශ්වයේ කැමැත්ත මත කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙම මංගල කටයුත්ත සඳහා මනමාලයාගේ පාර්ශ්වයේ සහ මනමාලියගේ පාර්ශ්වයේ නෑ හිතමිතුරෝ රැසක් සහභාගි වී සිටියහ.


පෝරුවේ මංගල කටයුතු ඇතුළු අනෙකුත් චාරිත‍්‍ර වලින් අනතුරුව එළැඹියේ විවාහ සහතිකයට අත්සන් තැබීමය. ඒ අනුව පැමිණ සිටි විවාහ ලේකම්වරිය නව යුවළට සහ සාක්ෂියට අත්සන් තැබීමට සුදානම්ව සිටි අයට පිළියෙළ කර තිබු අසුන්වල හිඳගන්නා ලෙස දැනුම් දී ඇයට හිමි අසුනේ වාඩි වෙනවාත් සමගම මනමාලයා අසල අසුනක වාඩිවී සිටි මනමාලිය මම මෙයා විවාහ කර ගැනීමට කැමති නැහැ යැයි පවසා අසුනෙන් වහා නැගිට හෝටලය ඉදිරිපිට ඇති මාර්ගය කරා දිව යන්නට වූවාය. ඒ සමගම ඇය දිවයන මාර්ගයට පැමිණි මෝටර් රථයකට ගොඩ වු ඇය එම රථයේ නැගී ගියේ මංගල උත්සවයට පැමිණි දෙපාර්ශ්වයේ නෑ හිත මිතුරන් සහ මනමාලයා ද අන්ද මන්ද කරවමිනි.
සිදුවු සිද්ධියෙන් දෙපාර්ශ්වයේම නෑ හිත මිතුරන් කම්පාවටත් අපහසුතාවයටත් පත් වු අතර සිදුවු අපහසුතාවයට හා අවමානයට තමන්ට සමාව දෙන ලෙස මනමාලියගේ ඥාතීන් මනමාලයාගේ ඥාතීන්ගෙන් සමාව ඉල්ලා සිටියත් මනමාලියක නොමැතිව තමන්ට ගමට යෑමට නොහැකි බව මනමාලයා තරයේම පවසා ඇත. එම නිසා නැවතත් දෙපාර්ශ්වයේ පැවැති සාකච්ඡාවේදි තීරණය කළේ මනමාලියගේ ඥාති අවිවාහක තරුණ නැගණියක ඔහුට සහකාරිය වශයෙන් ලබා දීමටය. එම යෝජනාවට ඇයගේද අකමැත්තක් නොවුයෙන් චාරිත‍්‍රානුකූලව එහි කටයුතු සිදුකර නව මනමාලිය ගමට කැන්දාගෙන යාමට මනමාලයාට හැකිවිය.