තම දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන තරුණයකුට එය නවත්වන ලෙසට තරුණියගේ පියා තදින් කළ ඉල්ලීමකට සාවධානව ඇහුම්කම් දී ඊට දෙපැත්තම බේරෙන නුවණක්කාර ප්‍රතිචාරයක් අදාළ තරුණයාගෙන් ලැබුණු පුවතක් පසුගිය දිනක බස්නාහිර පළාතේ ගමකින් අසන්නට ලැබුණි.
එම පුවතට අනුව තරුණිය අදාළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන්නියක වන අතර අදාළ තරුණයාද තරුණිය සේවය කරන ආයතනයේම ප්‍රවාහන අංශයේ රියැදුරකු වශයෙන් සේවය කරනු ලබයි.
ඒ අනුව තරුණියට සේවයට යාමට හා ඒමට ප්‍රවාහන පහසුකම් සැපයෙන වෑන් රථය පදවනු ලබන්නේ මෙම තරුණයා වන අතර කාලයාගේ ඇවෑමෙන් මෙම තරුණ රියැදුරා හා තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගී ඇත. එය කොතෙක් දුර දිග ගොස් ඇත්ද යත් මුලින් හොර රහසේ පැවැති එය පසුව තරුණයා අන් අයගේ උසුළු විසුළු මැද වුවද තම රියැදුරු අසුන ළඟ අසුන උදේ හවා සිය පෙම්වතිය වෙනුවෙන්ම වෙන්කර තැබීමට තරම් කාරුණික වී ඇත.
කෙසේ හෝ සිය දියණියගේ මෙම ආදර කතාව කනින් කොනින් මුලින් ඇගේ මවටද ආරංචිවී ඇති අතර එහිදී මව වැඩි කලබලයක් නොකර එය තහවුරුකර ගැනීම සඳහා උදේ හවා දියණිය ගැන සෙවීමට උපාය දූතිකාවක් පවා යෙදවීමට පවා පියවර ගෙන ඇත.
ඒ අනුව සිය දියණිය ගැන කනින් කොනින් ඇසෙන කතා සත්‍ය බව දැනගත් මව ඒ බව සුළු ව්‍යාපාරිකයෙකු වූ සිය සැමියාටද පවසා සිටියාය. විවාහයක් සඳහා දියණියගේ කල වයස හරි වුවද ඒ සඳහා සුදුසු තරුණයකු සිටිය යුතු බව තරයේ සිතට ගෙන සිටි තරුණියගේ පියාද අදාළ තරුණයා පිළිබඳව වැඩිදුරටත් කරුණු කාරණා සොයා බලා ඇත්තේ ගැළපෙන තරුණයෙකු නම් ඊට තම විරුද්ධත්වයක් නොපානා බව සිතමින්ය.
නමුත් ඔහු සොයා බලා තහවුරුකරගත් තොරතුරුවලට අනුව අදාළ තරුණයා ඔහුගේ නිර්ණායකවලට අනුව කිසිසේත්ම තම දියණියට ගැළපෙන අයකු නොවන බවට තහවුරු විය. එම නිසා තරුණයා හා දියණිය අතර පවතින සම්බන්ධතාවය කෙසේ හෝ නැවැත්වීමට ඔහු ඉටා ගත්තේය.
ඒ සඳහා ඔහු වැඩි කලබලයක් නැතිවම විවිධ උපක්‍රම භාවිත කර ඇතත් ඉන් පලක්වී නැති තැන බිරිය මාර්ගයෙන්ද සිය අකමැත්ත හා ඊට හේතුව දියණියටද දැනුම්දීමටද කටයුතුකර ඇත. නමුත් වැඬේ තාවකාලිකව යටගොස් මිසක නැවතී නැතිබව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි ඔහුට පසුව දැනගන්නට ලැබී ඇත.
ඒ අනුව තව දුරටත් මේක ඇද ඇද ඉන්න එකේ තේරුමක් නැතැයි සිතූ තරුණියගේ පියා දිනක් මේ පිළිබඳව අදාළ තරුණයා හමුවී කෙළින්ම සිය අකමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කළේය.
ඒ අනුව සුදුසු වේලාවක් බලා තරුණයා හමුවූ තරුණියගේ පියා තම දියණිය සමග පවත්වන ආදර සම්බන්ධය නවත්වන ලෙසට තරුණයාගෙන් දැඩි ලෙස ඉල්ලීමක් කළේය. ඊට බොහෝ සාමකාමීව සිය ඇහුම්කම්දී නිහඬවම එම ස්ථානයෙන් පිටවී යාමට පෙම්වත් තරුණයා එහිදී පියවර ගෙනද ඇත.
මෙසේ මාස දෙක තුනක් ගතවී ඇති අතර ඒ අතර කාලය තුළ පෙම් යුවළ වෙන්වී ඇති බවක් අන් අයට පෙනෙන්නට තිබී ඇත. වෙනකක් තබා තරුණයා තමන් පැදවූ වාහනය වෙනුවට එම ආයතනයේම වෙනත් ගමන් මාර්ගයක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන වෑන් රථයක සේවයට මාරුවන තරමටම සිද්ධිය වෙනස් වී ඇත.
ඒ අනුව සතුටුව සිටි තරුණියගේ මවුපියන්ට දිනක් ඉහමොළ රත්වන සිදුවීමක් වුවද එය ඉවසා දරාගෙන සිය දියණියට පමණක් නොව ඇගේ පෙම්වතා වූ තරුණයාට ද ආශීර්වාදකර ගෙට ගැනීමට සිදුවී ඇත්තේ ඒවනවිට තිබූ තත්වය අනුව ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවක් කළ නොහැකි තත්වයක සියල්ලෝම සිටි නිසාය.
ඒ අවස්ථාව වනවිට තරුණිය සහ තරුණයා සිය කැමැත්තට විවාහ වී ඒ බව දන්වා මව්පිය ආශීර්වාද ලබා ගැනීමට පැමිණ සිටි නිසාය.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
532
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රේම සම්බන්ධය නතර කරන්න ගිහින් ඉහ මොළ රත් වෙලා