IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හොරෙන් කැපූ කෙහෙල් කැන අයිතිකරුටම විකුණලා


හසලක සුනිල් ඒකනායක



සොරෙකු විසින් ගෙවත්තකින් රාත‍්‍රි කාලයේ කපා ගෙන ගොස් කඩේකට විකුණා තිබු කෙසෙල් කැනෙන් කොටසක් කෙසෙල් කැන අයිති ගෙවත්තේ ගොවියාටම මිලදී ගැනීමට සිදුවු සිද්ධියක් හසලක ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
ඔහු ගොවිතැන් බතින් ජිවත්වෙන ගොවි මහතෙකි. කුඹුරු ගොවිතැනට අමතරව තමන්ට හිමි ගෙවත්තේ පොල්, කොස්, කෙසෙල්, කිරිඅල, මඤ්ඤොක්කා ඇතුළු විවිධ බෝග වගා කර තිබේ. මෙම වගාවන්ගේ ඵල නෙළා ගෙන අලෙවි කිරිමෙන් ලැබෙන ආදායම සිව් දෙනෙකුගෙන් යුතු ඔහුගේ පවුලේ ජීවත්වීමට ප‍්‍රමාණවත්ය.


මෙම වගාවන්ට හොර හතුරන්ගෙන්ද සිදුවෙන හානිය අති මහත්ය. ඇතැම් විට ගස්වලින් පොල් පුවක් හෝ කෙසෙල් කැන් අතුරුදන්වෙයි. ඇතැම් වර්ෂා දිනවල බොහෝවිට කිරිඅල, මඤ්ඤොක්කා පඳුරු පිටින්ම අතුරුදන් වූ අවස්ථාද නැතිවා නොවේ. මෙවැනි අවස්ථාවල ඔහු කම්පා වන්නේ නැත. එවැනි සිද්ධියක් දැන ගැනීමට ලැබුණු විටදි ඔහු පවසන්නේ ”ආ නැති බැරි කමටනේ ඔය හොරකම් කරන්නේ. ඔහේ අරගෙන ගිහිල්ලා කාපුදෙන්. විකුණා ගද්දෙන්. ඕවා වගා කරපු උඹලට පිං සිද්ධවෙයි.” කියා පවුලේ අයට පවසා සිටීමට තරම් ඔහු කාරුණික වෙයි. එපමණක් නොව ගමේ පොදු වැඩ කටයුතුවලදි ඔහු තම ගෙවත්තේ ඇති බුලත් පුවක් කෙසෙල් කැන් නොමසුරුවම දෙයි. ඒ තරමටම ඔහු උසස් මිනිස් ගුණ ඇත්තෙකු බව ගමම දනී. 
ගොවි මහතාගේ කුඹුර පිහිටා ඇත්තේ පදිංචි නිවසේ සිට කිලෝ මීටර් 4ක පමණ දුර මිනිපේ මහ ගොවි ජනපදයේය. මෙදින ඔහු කුඹුරට ගොස් කුඹුරේ කටයුතු නිම කර දහවල් නිවස බලා එන අතරේ අතර මඟ තිබු තේ කඩයට ගොඩ වුණේ ගමනේ මහන්සියට මඳක් ගිමන් හැර කහට තේ එකක් පානය කිරිමටය. වඩයක් කා කහට කෝප්පයක් පානය කරමින් සිටින විට ඔහුගේ නෙත ගැටුනේ කඩය පිටු පස එල්ලා තිබූ හොඳට වැඩුණු ගෙඩි ඇති පැසුණු කෝලිකුට්ටු වර්ගයේ කෙසෙල් කැනක් වෙතය. මේකෙන් ඇවරියක් දෙකක් ගත්තා නම් ලොකු දුවලට ගිහිල්ලා දෙන්න පුළුවන්. පොඩිවුන් කෝලිකුට්ටුවලට ආසයිනේ. යැයි ඔහු සිතුවේය.
”මුදලාලි මේ කෙහෙල් කැනෙන් මෙන්න මේ ඇවරි දෙක කපලා දෙන්නකෝ.” මිලදි ගත් කෙසෙල් වලට සහ පානය කළ තේවලට මුදල දෙන ගමන් පැවසුවේ. ”කොහෙන්ද මුදලාලිට මේ කෙසෙල් කැන හම්බවුණේ.” කියාය. ”ආ ඕක අර එහා ගමේ ..... ගෙනත් දුන්නේ ”. කියා කියන විට ගොවි මහතා පැවසුවේ ”මේක නම් ටක්කෙටම කාගේ හරි වත්තකින් හොරට කපාගෙන ආපු එකක්. මොකද මිනිහා කවදාක්වත් වගාවක් කරන කැත්තක් උදැල්ලක් අල්ලන එකෙක් නෙවෙයිනේ” කියාය.
ගෙදර ගිය ඔහු සවස් යාමේ වත්ත පැත්තට ගියේ වගාවන් ගැන විපරම් කර බැලීමටය. වත්තේ ඇවිදිමින් සිටින විට ඔහුගේ නෙත ගැටුණු දෙයින් සිත මදක් නැවතුණි. ඊයේ හවස යසට මෙතන තිබුණු කෝලිකුට්ටු කෙසෙල් ගහේ කෙසෙල් කැනට මොකද වුණේ ? මොකාද මේක කපාගෙන ගියේ. හරි මට වැඩේ තේරුණා. එහෙනම් මේකා තමයි මගේ කෙසෙල් කැන කපාගෙන ගිහින් තියෙන්නේ. යැයි තමන්ටම කියා ගනිමින් නිවස කරා පැමිණියේ දැඩි ශෝකාකූල බවකිනි. ‘‘මොකද මේ කවදාකවත් නැතිව මුහුණ මැලිකරගෙන.” යැයි ඔහුගේ එම වෙනස දුටු බිරිඳ විමසුවාය. 
එවිට ඔහු පැවසුවේ ‘‘අර ගමේ .... මං දුක් මහන්සියෙන් වගා කරපු මගේ කෙසෙල් කැන මේකා හොරට කපා ගෙන ගියා විතරක් නෙවෙයි කෙසෙල් කැනේ පළමු ඇවරියම සල්ලිවලට මටම ගන්නට මේකා සැලැස්සුවානේ. මේකා නං ගමේ තියන්ට වටින එකෙක් නෙවෙයි.” යැයි කියා නිවැසියන්ට පැවසුවේ තමන් දහවල් කුඹුරට ගොස් එන විට රැගෙන ආ මේසය මත තබා තිබූ කෙසෙල් ඇවරි දෙක පවුලේ අයට පෙන්වමිනි.

 



අදහස් (0)

හොරෙන් කැපූ කෙහෙල් කැන අයිතිකරුටම විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site