IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අබරන් සීයාගේ මිනී වළ උඩ කළු මහත්තයාට සිහි නෑ

 

(මුලටියන එස්. බාලසූරිය)

අතීත ගැමි සමාජයේ හොල්මන්, අවතාර, යක්ෂ, ප්‍රේත, භූත, දිෂ්ඨ පිළිබඳව පැවැතියේ දැඩි විශ්වාසයකි. එකල සොහොන් භූමි, නාන ගංතොට, පාළු ස්ථාන අසලින් ඉර මුදුන් යාමයේ ගොම්මන් යාමයේ මැදියම් යාමයේ තනියම ගමනක් බිමනක් යන්නේ බොහොම කලාතුරකිනි. ඒ තරමටම එවැනි ස්ථාන කෙරෙහි දැක්වූයේ දැඩි බියකි.


 දකුණු පළාතේ මාතර පිටිසරබද ප්‍රදේශයක පිහිටි නෙරලම්පිටිය ගම්මානයේ  මිනිරන්වළ නමැති ස්ථානය යක්ෂ, ප්‍රේත, භූත, දිෂ්ටි අරක්ගත් තෝතැනක් බවට ගම්වාසීන්ගේ දැඩි බියක් පැවතුනි. මෙකල මෙන් ජනාකීර්ණ පෙදෙසක් නොවූ අතර මුලටියන, දෙයියන්දර කරත්ත පාරද වැටී තිබුණේ මිහිරන්වළ ආසන්නයෙනි. මෙම ස්ථානය හරහා තනියම ගිය ඇතැමුන් අමනුෂ්‍ය දෝෂයන්ට මුහුණ දුන් බවත් ප්‍රකට කරුණකි. 


දකුණු පළාතේ ප්‍රකට යකැදුරකු වූ සේදිරිස් ගුරුන්නාන්සේ තමා සුවපත් කළ ආතුරයකු පිළිබඳව මෙසේ කීවේය.


නෙරලම්පිටිය ගම්මානයේ පදිංචි ධනවත් පවුලක සාමාජිකයකු වූ ජයනේරිස් කළුමහත්තයා පාංශු දේහධාරී, යකාටවත් බය නැති හිත හොඳ මනුස්සයෙක්. ඔහු තම මිතුරන් පිරිවරාගෙන රෑ මැදියම් වනතුරු කිතුල් රා අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ එක් අංගයක්. තොවිල් පවිල් නොමැති දිනවල ඔහු හා මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදෙමින් පොඩි අඩියක් ගැනීමේ පුරුද්දක් මට තිබුණා.
එදා කෙම්මුර දවසක්. මාත් හැන්දෑ සමයේ කළුමහත්තයාගේ නිවසට ගියේ හීන් අඩියකුත් ගහලා ටිකක් සතුටු වෙන්නයි. ඉතින් ඒ වේලාවේ කළුමහත්තයාගේ මිතුරන් කීප දෙනකුත් එතන හිටියා. දැන් කාටත් ටිකක් වැඩියි. කළුමහත්තයාත් සුපුරුදු ලෙස ඔහුගේ ගාම්භීරත්වය, නිර්භීත බව පිළිබඳව පුරසාරම් දොඩමින් සිටියා. මාත් නිකමට වාගේ කළුමහත්තයාට කීවා, කළුමහත්තයා මහසෝනාටත් බය නැති කෙනානේ. පුළුවන් නම් මිනිරන්වළ ළඟට තනියම ගිහින් පෙරේදා මිහිදන් කළ සොහොන්වළ ළඟ තිබෙන  අරලිය ගහෙන් මල් කිනිත්තක් කඩන් එන්න කියලා. ටිකක් වෙරිමර ගාතේ හිටපු කළුමහත්තයා. ඒ බං සේදිරිසෝ තෝ මගේ හැටි දන්නේ නැද්ද? මං මහසෝනා තියා ඊරි යකාටත්වත් බය නැති මිනිහෙක් බව. ඔහොම හිටපං මං සුටුස් ගාලා ගිහින් මල් කිනිත්තක් නොවෙයි අරලිය අත්තම කඩාගෙන ඇවිත් තොගේ මුණට ගහනවා කියලා! සරමත් කෙටි කරගෙන පිම්මේ දිව ගියා. මේ වන විට තේ ෆැක්ටරියේ දොළහේ කනිසමත් වැදෙනවා ඇහුනා. විනාඩියකින් එනවා කී මිනිහා පැයක් විතර ගියත් ආවේ නැහැ. කෙම්මුර දවසක් නිසා මට හිතුනා කළුමහත්තයාට මහසෝන් දිෂ්ටිය වැටෙන්න ඇති. ඒ නිසා ගිහින් බලන්න ඕනෑ කියලා. කළුමහත්තයාගේ මිතුරන්ට කීවා. හොඳටම වෙරි මර ගාතේ හිටපු ඔවුන් එහෙනම් ගිහින් බලමු කියලා පන්දම් කීපයක් පත්තු කරගෙන මිනිරන්වළ පැත්තට ගියා. කළුමහත්තයෝ කියලා අඬ ගැහුවත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කොහොම හරි මිනිරන්වළ පැත්තේ මුළු කැලෑ රොදම පීරලා බැලුවත් කළුමහත්තයා පේන්න හිටියේ නැහැ. එකත් එකටම මහසෝනා  කළුමහත්තයාට ගහලා ඇති කියලා හිතුණු නිසා මන්ත්‍රයක් ජප කරමින් අසුරු පාරක් ගැහුවා විතරයි මීට දින කීපයකට පෙර මිහිදන් කළ අබරන් සීයාගේ සොහොන්වළ මත කළුමහත්තයා සිහිසුන්ව සිටිනවා දුටුවා.


වෙච්ච සංගෙඩිය මට තේරුණු නිසා සිහිසුන්ව සිටි කළුමහත්තයාත් ඔසවා ගෙන ඔහුගේ නිවසට ආවා. ඇවිත් දිෂ්ටිය ඉවත් කිරීම සඳහා දින නියම කරගෙන ඇප නූලක් බැන්දා.


නියමිත දිනයේදී තොවිලයක් කිරීම සඳහා කටයුතු සූදානම් කරන්න කියලා නිවසේ අයට කියලා මා ගියා. මහසෝන් දිෂ්ටිය වැටුනු කෙනකුගේ ඒ දිෂ්ටිය ඉවත් කිරීම ලේසි පහසු කාර්යයක් නොවේ. ඒකට තවත් දක්‍ෂ යකැදුරන් දෙදෙනකුත් අවශ්‍යයි. ඒ නිසා වැලිගම-තිත්තවැල්ලේ ගුරුන්නාන්සේත්. පනාකඩුවෙ මලවි ගුරුන්නාන්සේත් මේ වැඬේට යොදා ගත්තා. කළුමහත්තයා හිතහොඳ මිනිහෙකු නිසා පිරිවර අඩුවක් නැහැ. කළුමහත්තයාට සිදුවී තිබෙන අකරතැබ්බය පිළිබඳව ගම්වාසීන් ශෝකයෙන් හිටියේ. මගේ කීමටයි ඔහු එදා මිනිරන්වළට ගියේ. ඒ ගැනත් මට කනස්සල්ලක් තිබුණා. කොහොම හරි කළුමහත්තයාට වැහී තිබුණු මහසෝන් දිෂ්ටිය ඉවත් කිරීමේ ශාන්ති කර්මය සඳහා එදා උදේ හිටන් කළමනා සූදානම් කළා. මහසෝන් දිෂ්ටිය එළවන එක ලේසි කාරියකුත් නොවේ. ඒ නිසා මාත්  අනෙක් ඇදුරන් දෙදෙනාත් දිෂ්ටි මන්ත÷්‍ර ජප කරමින් මැදි රැය වනතුරු වත්පිළිවෙත් කළා. කළුමහත්තයා ඒත් තවමත් නිහඬයි. වෙනදා තිබෙන ගාම්භීර බව එදා නැහැ. හරියටම රාත්‍රි 12 කනිසම වැදෙන විට කළුමහත්තයා ‘හූ’ හඩ තුනක් තියා ගෙන යක්ෂාවේෂයෙන් නැට්ට්ටා. එතන තිබුණු මෝල්ගහක් අතට අරගෙන මට ගහන්න හදනවා. ඒක අතට ගත්තට ගහන්න බැරි බව දන්න නිසා කළුමහත්තයෝ මොකද වුණේ කියලා මං ඇහුවා. ඒ බොල කට්ටඩියෝ තෝ මං ගැන දන්නවද? මං තමයි මිනිරන්වළට අධිපති මහසෝන් දේවතාව කියලා මහා හයියෙන් ගෝරනාඩු කළා. මෙවැනි වෙලාවල්වල බොහොම ආරක්‍ෂාකාරීව කටයුතු කරන්න ඕනෑ  නිසා අනෙක් ඇදුරන් දෙදෙනා මන්ත්‍ර ජප කරමින් දුම්මල කීරි ගහමින් අයිල සකසමින් සිටියා. කළුමහත්තයාත් ආවේශයෙන් වාගේ මට කියනවා, උඹ  මට අභියෝග කළා. එහෙම කළේ මගේ හැටි දන්නෙ නැතිවද? උඹ කොපමණ යක්කු මෙල්ල කළත් මිනිරන්වළේ මහසෝනා එළවන්න උඹට බැහැ. මාත් ඉතින් බය නැතිව කීවා උඹට තියා මහසෝනෝ උඹේ මහ එකාටවත් මම බය නැහැ. පුළුවන් දෙයක් කරා පං කියලා. මෙහෙම කියන කොට අනෙක් ඇදුරන් දෙන්නත් අවට සිටි පිරිසත් බියෙන් තැතිගෙන හිටියේ. මට ඇබිත්තකවත් බියක් දැනුනේ නැහැ. මෙවැනි තීරණාත්මක අවස්ථාවක ජප කරන්න තිබෙන ප්‍රබලම මන්ත්‍ර දැහැනක් ජප කරලා කළුමහත්තයාගේ ඇඟට දුම්මල කීරක් ගැහුවා විතරයි. කළුමහත්තයාගේ තිබුණු සැර පරුස බව ටිකක් අඩු වුණා. මාත් මහා හයියෙන් කීවා මිනිරන්වළට අධිපති මහසෝන් යක්ෂයෝ. අපේ කළුමහත්තයාගේ ශරීරයෙන් පිටවෙලා යනවද? කියලා. එවිට කළුමහත්තයා කියනවා මා යන්නම් මට මිනිස් බිල්ලක් ඕනෑ කියලා. මාත් කීවා එකට දහයක් දෙන්නම් සිදු වුණු සිද්ධියත්  කියන්නම් කියලා. ඒ පාර කළුමහත්තයා කියනවා මං එදා මිනිරන්වළට දුවගෙන යනවිට අරලිය ගහේ කොළ තිබුණේ නැහැ. හැම අත්තකම මල් පිපිලා තිබුණා. මං අරලිය ගහ ළඟට යන කොට සුදු ඇඳගත් මිනිසකු හිටියා. එයත් මට  කතා කළා. අරලිය මල් මල්ලක්ම කඩා දෙන්නම් මාගේ ළඟට එන්න කියලා. මාත් හිතුවේ මේ කියන්නේ ඇත්තක් කියලයි. මාත් ටිකෙන් ටික ළඟට යන විට අර මිනිස් රුව උස වැඩිවෙනවා. ටික වේලාවකින් බලනවිට අඩි 50කටත් වැඩිය උසට පෙනුණා. ඒ රුව මගේ ඔළුවට අත තියන්න හැදුවා. විතරයි මට සිහි නැති වුණා.
මේ වන විට අපේ වැඩ කොටසෙන් භාගයක් විතර සාර්ථක බව දැනුණා. අවසානයේ මහසෝන් පිළිරුවට වත්පිළිවෙත් කරමින් දුම්මල අල්ලමින් අප තුන්දෙනාම මන්ත්‍ර ජප කළා. ටිකෙන් ටික කළුමහත්තයාට පියවි සිහිය පැමිණෙමින් තිබුණා. මං ඊළඟට කළුමහත්තයාගේ හිසට තියලා  ‘ඒ බොල මහසෝන් යක්ෂයෝ දැන්වත් උඹ අයේ කළුමහත්තයා අතහැරලා යනවාද?’ කියලා ඇහුවා.

එහෙම යන්න බැහැ. මට පොරොන්දු වුණු මිනිස් බිලි ඕනෑ කියලා කළුමහත්තයාට වැහී තිබුණු මහසෝන් දිෂ්ටිය කීවා. හරි හරි දෙන්නම්. මිනිරන්වළ ළඟට ගියාම කියලා මං කීවා. එහෙනම් යමං. හැබැයි උඹ විතරක් එන්න ඕනෑ’ කියලා කීවාම මං ඇහුවා. ‘උඹට මිනිස් බිල්ල එපාද’ කියලා. වෙන බිලී මට ඕන නැහැ. ‘උඹ තමයි මගේ බිල්ල’ කියලා කළුමහත්තයා මාගේ ඇඟට පැන්නා. ඊගහ මගේ ආරක්ෂාවට තියෙන නිසා මාත් බය වුණේ නැහැ. අන්තිමේදී කළුමහත්තයාත් රැගෙන අප මිනිරන් වළ ළඟට ගියා. එකපාරටම අපි අරන් ගිය කුකුළා උදුරා ගත් කළුමහත්තයා උගේ බෙල්ල කඩලා ලේ උරා බීවා. ටික වේලාවක් ‘හොර හොර’ ගගා ඉඳලා සිහි නැති වුණා. ඉන් පස්සේ ජීවන් කර තිබුණු කහ දියර ටිකක් කළුමහත්තයාගේ මුණට ඉස්සා විතරයි. නින්දෙන් නැගිටපු කෙනකු වගේ කළුමහත්තයා නැගිට්ටා. මහසෝන් දිෂ්ටිය කළුමහත්තයාගේ ශරීරයෙන් ඉවත් වුණා. කොපමණ චණ්ඩියකු වුණත් යක්‍ෂ, ප්‍රේත, භූත, දිෂ්ටිවලින් බේරෙන්න බැහැ. මේ දේවල් අනාදිමත් කාලයක සිට පවතිනවා යැයිද සේදිරිස් ගුරුන්නාන්සේ කීය.
මෙහි සඳහන් නම් ගම් මානඃකල්පිතය.



අදහස් (0)

අබරන් සීයාගේ මිනී වළ උඩ කළු මහත්තයාට සිහි නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site