තරග විභාග සඳහා සූදානම් වීම යනු අත්‍යවශ්‍ය තොරතුරු පමණක් සංවිධානාත්මකව මතකයේ ගබඩා කර තැබීම සහ ඒවා නැවත පිළිතුරු පත්‍රයක් සඳහා සුදුසු ලෙස නැවත මතක් කර ගැනීමට හැකි වීමයි.

මතකය යන්න වෛද්‍ය විද්‍යාත්මක අර්ථ නිරූපණය

මොළයේ තොරතුරු ගබඩා කරන සහ නැවත තොරතුරු ක්‍රමානුකූලව එළියට ලබා ගැනීමේ ක්‍රියාවලියකි. මෙය අපගේ අධ්‍යාපනය සහ චින්තනයට බලපාන තීරණාත්මක සාධකයකි. මතකය සම්බන්ධ තොරතුරු ගබඩා වීමේ ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් මොළය අභ්‍යන්තරයේදී සිදුවේ.

මෙවන් මතක සිතක නිර්මාණය වීම පියවර තුනකින් පැහැදිලි කළ හැකියි.

පළමු පියවර

තොරතුරු මොළයේ ගබඩා කර ගත හැකි තත්ත්වයකට පරිවර්තනය වීමයි. මෙය Registration නමින් හැඳින්වේ.

දෙවන පියවර

මෙම තොරතුරු මොළයේ ස්නායු තන්තු ආධාරයෙන් ගබඩා වීමයි. එය Retention වේ.

තෙවැනි පියවර

මෙකී තොරතුරු අවශ්‍ය අවස්ථාවලදී පුද්ගලයා විසින් නැවත වතාවක් ස්මරණය කිරීමයි. මෙම පියවර Rememberiyo නම් වෙයි.

මෙම පියවර ත්‍රය සරල උදාහරණයකින් පැහැදිලි කරමු. අපට මුල්වරට යම් පුද්ගලයකු මුණ ගැසුණහොත් ඔහුගේ නම මුලින්ම මොළය හඳුනා ගෙන ලියාපදිංචි කර ගනී. ඒ Registration පියවරයි. ඊළඟට එය මොළයේ තන්තු අතර තැම්පත් වීම හෙවත් Retention වේ. මෙය පුද්ගලයාගේ රෑපයට අදාලව සිදු වේ. යම් කලකට පසු නැවත එම පුද්ගලයා අප ඉදිරියට පැමිණි විට අදාල පුද්ගල නාමය අප මනසේ රූපයට අනුබද්ධව තැම්පත් වී ඇති නිසා එය ස්වභාවිකව ස්මරණය වී පුද්ගල නාමයෙන් ආමන්ත්‍රණය කිරීම සිදුවේ.

මතකය, මොළයේ කවර කොටස්වල ගබඩා වේද?

මෙම කාර්යය සඳහා ප්‍රධාන වශයෙන් මොළයේ කොටස් 04ක් සම්බන්ධ වේ. ඒවා ‘හිපෝකැම්පස් ‘ ( Hippocampus ) සහ Amygdala ලෙස හඳුන්වන මිනිස් මොළයේ කොටස් 02 ඇතුළත් ලිම්බික් සිස්ටම් ( Lymbic system ) නම් පද්ධතියයි. අනෙක් කොටස් 03 නම් තැලමසය

( Thalamus ) ඉදිරිපස කන්ඩිකාව ලෙස හඳුන්වන කොටස සහ මෙම කොටස් අතර ඇති සම්බන්ධීකරණ ස්නායු තන්තුයි. මෙම කොටස් අතුරින් හිපෝකැම්පස් යන මොළයේ අභ්‍යන්තරව පිහිටි කොටස දිගුකාලීන මතකය ගබඩා කරන කොටසයි.

මතකයේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණය

මතකය ප්‍රධාන වශයෙන් කොටස් 03කි. ඒවා සංවේදන සම්බන්ධ මතකය, කෙටි කාලීන මතකය සහ දිගු කාලීන මතකයයි.

සංවේදන මතකය

මෙහි මතකය රඳා පවතින්නේ තත්පර 02ට වඩා අඩු කාලයකුයි. මේ සඳහා අපට දිනපතා අපගේ සංවේදී ඉන්ද්‍රියන්වලින් ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශ යනාදියට අයත් සංඥා ඇතුළත් වේ. මේවා ගැන අප දැඩි අවධානයක් යොමු කළ හොත් එම මතක අපගේ මොළයේ තැම්පත් වීම සිදු වේ. නැතිනම් එම සංවේදන තත්පර කිහිපයකින් පසුව මොළයෙන් ඉවත් වේ.

කෙටි කාලීන මතකය

මෙවන් මතකයක් අපගේ මොළයෙහි තැම්පත් වන්නේ තත්පර 30ක් වැනි කෙටි කාලයකි. ප්‍රාථමික මතකය නොඑසේනම් ක්‍රියාකාරී මතකය ලෙස හඳුන්වන්නේද මෙයයි. යමෙකු පැවසූ දුරකතන අංකයක් මතකයේ තබා ගැනීම මීට උදාහරණයකි. මෙම තොරතුරු නැවත නැවතත් මෙනෙහි කළහොත් මෙම මතකය තත්පර 30 සිට විනාඩි කිහිපයක් දක්වා දිගු කාලයක් පවත්වා ගැනීමට හැකියි. මෙවන් මතකයක ධාරිතාව එක් වරකට වචන 05 සිට 9 තෙක් විහිදේ.

දීර්ඝ කාලීන මතකය

මෙය දින, මාස සහ වර්ෂ ගණනාවක් සහ සමහරවිට ජීවිත කාලය පුරා පවතින මතකය මෙම ඛාණ්ඩයට ඇතුළත් වේ. මෙවන් මතකයක ධාරිතාව අසීමිතයි. එය කෙටි කාලීන මතකය මෙන් වචන කිහිපයකට සීමා නොවේ. මතකය නිවැරැදිව භාවිත කළහොත් අපට අති විශාල තොරතුරු ප්‍රමාණයක් දීර්ඝ කාලයක් පුරා රඳවා තබා ගත හැකියි. භාෂා සම්බන්ධ මතකය, විභාග ආදිය මතකයට වැදගත් වන්නේ මෙම ඛාණ්ඩයේදීයි. විශ්වාස පද්ධතීන්, ආගමික දැනුම,

ආකල්ප, ලෝකය පිළිබඳව අවබෝධය ආදී බොහෝ දීර්ඝ කාලීනව අප සතුව පවතින මතකය දැනුම නිර්මාණය වන්නේ දිගු කාලීන මතකය ඇසුරෙනුයි. දීර්ඝ කාලින මතකයට තොරතුරු ඇතුළත් වන්නේ කෙටි කාලීන මතකය ඇසුරෙනුයි.

මතකය සදාකාලිකද?

මතකයෙහි ස්වාභාවය වන්නේ එය කාලයක් සමග නිරන්තරයෙන් ක්ෂය වීමට, නැති වීමට භාජනය වීමයි. ලෝකයේ බොහෝ දෑ මෙන් මතකයත් අපේ මනසින් කාලයත් සමග ක්ෂය වීමට පටන් ගනී. මෙසේ මතකය ක්ෂය වීමට හේතුවක් වන්නේ එය නැවත වැවතත් ස්මරණය නොකිරීමයි. අනෙක් හේතුව නම් දිනපතා මනසට අලුත් තොරතුරු එකතු වීමයි. එබැවින් අපේ මනසේ පෙර තැම්පත් කළ මතක ක්ෂය වීමකට ලක්වේ. මෙසේ ක්ෂය නොවී පවත්වා ගත හැකි එකම ක්‍රමය වන්නේ එය නැවත නැවතත් ස්මරණය කිරීමයි.

විභාගයට නිවැරැදි සූදානම

ඉහත සඳහන් කළ පරිදි සංකල්ප සහ මිනිස් මොළයේ මතකය ගබඩා වීමට අදාල මූලධර්ම මෙහිදී භාවිත කළ හැකිය. ගුරුවරයා ඉගැන්වූ විෂය කොටස් එදිනෙදා අධ්‍යයනය කර මතකය අලුත් කර ගැනීම කරන්න. එම කරුණු දින 07ක් ඉක්ම ගියත් නැවතත් සාරාංශයක් මෙනෙහි කරන්න. මෙයාකාරයෙන් පැය 24ක්, දින 07ක් සහ දින 30ක් අවසානයේදීත් මෙනෙහි කර බලන්න. පාඩමට සම්බන්ධ මතකය විශිෂ්ට ලෙස වර්ධනය වී ඇතැයි ඔබටම හැඟේ. මේ අනුව කෙටි කාලීනව දිගු කාලයක් පුහුණු වීම හෙවත් දිනපතා පැයක් හෝ දෙකක් අතර කාලයක් එදිනෙදා පාඩම් කළ දෑ නැවත පුනරීක්ෂණය කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ.

මතකය හා සම්බන්ධ අනෙක් වැදගත්ම කාරණාව වන්නේ යමක් තේරුම් ගෙන අවබෝධයෙන් විෂය කරුණු මෙනෙහි කිරීමෙන් එය මතකයට යාමේ මතකයේ රඳා සිටීමේ සම්භාවිතාව අවබෝධයෙන් තොරවඑය වනපොත් කිරීමට යාමට වඩා පලදායී වන බවයි. ඒ වගේම සවන් දීම, ලිවීම, නැවත කියවීම, රූප සටහන් ගොඩ නගා ගැනීම යන ක්‍රමද ඉතා පලදායී වේ.

ඒවගේම කාල සටහනකට අනුව පාඩම් කිරීමට පටන් ගැනීමද යෝග්‍ය වේ. පාඩම් කිරීමට මෙන්ම විවේක ගැනීමටද වේලාවක් වෙන් කර ගන්න. විවේකයේදී සියුම් සංගීතයට කන් දීම හෝ භාවනාවකට යොමු වීම මගින් මනස වඩාත් සුවපත් කර ගැනීමට හැකි වනු ඇත. විභාග භීතිකාවෙන් තොරව නිරවුල් මනසින් ඔබට සාර්ථකව විභාගයට පිළිතුරු සැපයිය හැකිය.

-සටහන- මාධවී ධර්මරත්න