ඔබ අලුහම් නිසා පීඩා විඳින්නෙක්ද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙනි. සම මතුපිට ඇති ‘ඊස්ට්‘ (Yeast) කාණ්ඩයට අයත් 'Malassezia' නම් දිලීර වර්ගය අලුහම්වලට හේතු වේ.

ඕනෑම කෙනකුගේ සම මතුපිට බැක්ටීරියා , දිලීර ක්‍රියාකාරිත්වයක් පවතී. මෙයද රෝම කූප, ස්නේහ ග්‍රන්ථි (තෙල් නිෂ්පාදනය කෙරෙන ග්‍රන්ථි මේ නමින් හැඳින්වේ). ආශ්‍රිතව ඕනෑම කෙනකුගේ මෙකී දිලීර විශේෂය පවතී. එසේ නම් මෙය රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වන්නේ කෙසේදැයි යන්න දැන් බලමු.

පාරිසරික සාධක සහ ශරීරයේ අභ්‍යන්තරයේ රෝම කූප සහ ස්නේහ ග්‍රන්ථි ආශ්‍රිතව ඇති 'Malassezia' දිලීරවල අසමතුලිතතාවක් ඇති වුව හොත් අලුහම් තත්ත්වය වර්ධනය වේ. මෙය අපට ලොකු හානියක් ගෙනදෙන තත්ත්වයක් නොවන බව මුලින්ම කිව යුතුය.

සමෙහි අලුහම් ඇති වීමට වයස් සීමාවක් බල නොපායි. කුඩා දරුවාගේ සිට තරුණ තරුණියන් අතරත් වැඩිහිටි, වයෝවෘද්ධ පුද්ගලයන් අතරත් සාමාන්‍ය තත්ත්වයකි. මේවා සමේ වර්ණයට වඩා පැහැයෙන් අඩු ලප විශේෂයකි. ලා පාට හෝ දුඹුරු වැනි තද පැහැයකින් වුවද දැකිය හැකියි. බෙල්ල, පිට, මුඛය, කිහිලි ආශ්‍රිතව අලුහම් පැතිරීම වැඩියි.

අලුහම මතුපිට ඇඟිල්ල තබා පිරිමැද්ද විට ඒ මතුපිට පිටි වගේ සුදු පැහැ සිහින් කොරල සහිත ස්වාභාවයක් දැකිය හැකියි.

මේවා සිරුරේ එක් ලපයකින් පටන් ගැණුනද ටික කාලයක් ගත වෙද්දී සිරුර පුරාම පැතිරී යා හැකියි. ඇතමකුට මෙම ලප නිසා කැසීම් තත්ත්වයක්ද ඇති විය හැකියි.

මෙය බෝ නොවන රෝගයක් ලෙස හඳුනා ගෙන ඇත. එසේම ඝර්ම කලාපීය රටවල වෙසෙන ජනයා අතරද සුලබව දැකිය හැකියි.

දහදිය පිට වීම වැඩි, උෂ්ණ අධික පරිසරයක විසීම, කය වෙහෙසන රැකියාවක නිරත වීම, කාය වර්ධන ක්‍රීඩාවල නියුතු වූවන් අඳින ඇඳුම් විශේෂයටත්, වැඩිවියට පත් වීමේදී සහ ගර්භනී සමයේදී සිදුවන හෝමෝන වෙනස් වීමත් සමඟත් අලුහම් තත්ත්වය හට ගත හැකියි.

තවද සිරුරට පහසු නොවන හිර ගතියෙන් යුත් ඇඳුම් අඳින අය අතරද, වර්තමානයේදී නම් නිතරම මුව ආවරණය පැළැඳ සිටීම නිසා දහදිය රැඳීම වැඩිවීම නිසා මුඛය වටේද අලුහම් ඇති විය හැකියි.

එමෙන්ම සම මතුපිට තෙල් ආලේපනය කරන පුද්ගලයන් අතරත් බිළිඳුන්ගේ ඇහි බැම සහ ඇහි පිහාටු අවටත්, පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගේ මුහුණ ආශ්‍රිතවත් අලුහම් තත්ත්වය හට ගැනේ. හතිය, ඇදුම වැනි රෝගවලට ප්‍රතිකාර ලබන දරුවන් ඉන්හේලරය භාවිත කරන නිසාවෙන් මුඛය වටේට සුදු ලප වශයෙන් අලුහම් ඇති වේ.

ඒ වගේම සමෙහි ඇති වන ඕනෑම ලා පැහැති ලපයක් අලුහමක් ලෙස හැඳින්වීමට නුපුළුවන. එය වෙනත් චර්ම රෝගී තත්ත්වයක් විය හැකියි. එබැවින් රෝග නිශ්චයේ නිවැරැදිතාව අත්‍යවශ්‍ය කරුණකි. මතු ඇති තත්ත්වය අලුහම්ද යන්න සැක හැර දැන ගැනීම සඳහා ලපය මතුපිට ඇගිල්ලෙන් පිරිමැද බැලිය හැකියි. එවිට පිටි මෙන් සුදු පැහැති සිහින් කොරල වැනි ස්වාභාවයක් මතු වී නම් එය අලුහම් රෝගයයි. මෙම ලප මතුපිට සංවේදනවල කිසිඳු වෙනසක් නැත.

සම මතුපිට ඇති වන ලපවල ඉහත වෙනස්කම් ඔබේ නිරීක්ෂණයට හසු නොවුණේ නම් සැක සහිත බවක් ඇත් නම් හොඳම විසඳුම චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු කරා යොමු වීමයි.

සුදු කබර රෝගයේ සහ ලාදුරු රෝගවල මුල් අවස්ථාවේදී සම මතුපිට වර්ණයෙන් අඩු ලප තත්ත්වයක් දැකිය හැකියි. මෙයින් ලාදුරු රෝගයේදී මතුවන ලා පැහැ ලප මතුපිට සංවේදනය නොදැනීම විශේෂ ලක්ෂණයයි. ඒ අනුව වඩා වැදගත් වන්නේ රෝග නිශ්චය තමන් විසින් සිදු කර ගැනීමටත් වඩා පළපුරුදු වෛද්‍යවරයකුගෙන් අපදෙස් ලබා ගැනීමයි.

අලුහම් සඳහා ප්‍රතිකාර කිරීමේදී කුමන ප්‍රතිකාර ක්‍රමය සුදුසුද යන්න තීරණය කරන සාධක ඇත. අලුහම් සිරුර පුරා පැතිරී ඇති ප්‍රමාණය නිශ්චය කිරීමෙන් අනතුරු ප්‍රතිකාර නියම කෙරේ. ඒ අනුව රෝගී තත්ත්වය පවතින්නේ මුල් අවස්ථාවේදී නම් ප්‍රති දිලීර අඩංගු ආලේපන වර්ග දිනකට දෙවරක් ගැල්වීමට නියම කෙරේ. අලුහම් සිරුර පුරාම පැතිරී ඇත්නම් ක්‍රීම් වර්ග ආලේපනය ප්‍රායෝගික නොවන නිසා ප්‍රති දිලීර අඩංගු ෂැම්පු වර්ග නිර්දේශ කෙරේ. මෙම විශේෂිත ෂැම්පු සිරුරේ ගල්වා විනාඩි 10ක් තිබෙන්නට හැර සොදා හැරිය යුතුය. මෙය දවසක් හැර දවසක් කිරීම ප්‍රමාණවත්ය. තවද ප්‍රති දිලීර අඩංගු පෙති සහ කරල් වර්ගද රෝග තත්ත්වයේ වර්ධනය සහ හට ගත් කාලසීමාව මත නියම කරයි.

ඖෂධ සහ ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගැනීම මගින් රෝගය සුව වුවද අලුහම් ඇති කරන දිලීරය ස්වාභාවයෙන්ම සිරුරේ පවතින නිසා ශාරීරික හෝ පාරිසරික සාධකවල වෙනස් වීමක් , ප්‍රතිශක්තියේ වෙනසක් මත යළි යළිත් හටගත හැකියි.

නිසි ප්‍රතිකාරවලින් ඉනික්බිති සිරුරේ හට ගැණුනු අලුහම් ලප ඉවත් වීමට යම් කාලයක් ගත වේ. ප්‍රතිකාර ගත්තද ලප තවමත් මැකී නොපැවතීම නිසා ලෙඩේ සුව වී නැතැයි කෙනෙකුට සිතිය හැක්කේ එනිසයි.

* අලුහම් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝ නොවුණද තම පවුලේ සාමාජිකයකුට ඇත්නම් වෙනම තුවායක්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, පොරෝනා වැනි දෑ ඔහුගේ භාවිතයට වෙනම වෙන් කොට තැබීම සුදුසුයි. ඔහුගේ පරිහරණයට වෙන් කළ දෑ හවුලේ භාවිත කිරීමෙන් වලකින්න. පොදුවේ සියලුම දෙනා භාවිත කරන දේවල් හොඳින් සෝදා මනාව වියළා පරිහරණයට ගත හැකියි.

* කාය වර්ධන අංශයේ නියුතු වූවකු නම් තමා අඳින පළඳින විශේෂිත ඇඳුම් කට්ටල දිනපතාම පාහේ මනාව සෝදා වියළා ගත යුතුයි. එසේම දහදිය රැඳුණ ඇඳුම බොහෝ වේලාවක් හැඳ නොසිටිය යුතු අතර ක්‍රීඩා කටයුතුවලින් පසු වෙනත් පිරිසුදු ඇඳුමක් මාරු කර ගත යුතුයි.

* තෙත පිටින් ඇඳුම් ඇඳීමේදීද අලුහම් ඇති වීමේ අවදානම වැඩි අතර අඳින පළඳින දෑ හොඳින් වියැළීම අත්‍යවශ්‍ය බව අපට පසක් කර දේ.

අලුහම් හානිදායී තත්ත්වයක් නොවන නිසාම ඇතැම්හු නිසි වෛද්‍ය උපදෙස් පසෙකලා හිතුමතයට බෙහෙත් ගැනීම, ආලේප ගැල්වීම සිදු කරති. මෙහි ප්‍රතිවිපාකය නම් ප්‍රති දිලීර නාශක සමඟ Steroid අඩංගු ආලේපනයක් ගැල් වුවහොත් රෝගය සුව නොවී තවත් රෝගය පැතිරීමට ඇති හැකියාවයි. එබැවින් මෙය පහසුවෙන් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර මත සුවකළ හැකි රෝගයකි. සිරුර පුරාම පැතිරී යාමෙන් සමට අවලස්සනක් එකතු කරන නිසා එකී කරුණ ගැනද සියලුම දෙනාගේ අවධානය යොමු විය යුතුය.

-සටහන- මාධවී ධර්මරත්න