මේ දවස්වල උෂ්ණත්වය ඉහළයි. ඒ නිසාම දහදිය පිටවීමත් වැඩියි. සෑම වසරකම මාර්තු සහ අප්‍රේල් මාසවල අපේ රටට හිරු මුදුන් වන කාලයයි. එබැවින් අන් කවරදාටත් වඩා මාර්තු, අප්‍රේල් මාසවලදී අධික උෂ්ණත්වයක් දැනෙන අතර දහදිය දැමීමද වැඩි වශයෙන් සිදු වේ. මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය නිසාවෙන් කුඩා දරුවන් වැඩි වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවක්ද පවතී.

විශේෂයෙන් කුඩා දරුවන්ට දඩිය බිබිලි දැමීම, දද වැනි සමේ රෝග හට ගැනීම ඇරැඹේ. තවද කුඩා ළමයින්ට අධික උෂ්ණත්ව තත්ත්වයට ඔරොත්තු දීම දුෂ්කර නිසාවෙන් ඔවුන් වැඩි හරියක්ම විජලනයට ගොදුරු වීමේ හැකියාවක්ද පවතී. එබැවින් මේ දිනවලදී දරුවන් හට වඩ වඩාත් පිරිසුදු ජලය පානය කිරීමට ලබා දීම මෙන්ම ඔවුන්ව ඒසඳහා උනන්දු කරවීමත් යෝග්‍යදායී වේ.

උෂ්ණත්වය වැඩි වීමේ හේතුවෙන් මේ දිනවලදී වරින් වර කුඩා දරුවන් අතර පහත රෝගී ලක්ෂණද දැකිය හැකි වේ.

1)  හිසරුදාව

2)  ඇඟපත කැක්කුම

3)  සිරුරට වෙනදාට වඩා දැඩි වෙහෙසකර ගතියක් දැනීම

4)  නිදිමත ගතිය හා උදාසීනත්වයක් දැනීම

ඉහත ලක්ෂණ බොහොමයක්ම මෙවන් කාලවලදී සුලබව දැකිය හැකිය.

එසේම එළැඹෙන සිංහල අලුත් අවුරුදු කාලය නිමිත්තෙන්ද රට පුරා අවුරුදු උත්සව වැඩි වශයෙන් සංවිධානය වීම දක්නට ලැබේ. එහීදී මැරතන් තරග සඳහා ඉදිරිපත් වන ධාවකයන්ද මේ කාලයේදී බොහෝ සෙයින්ම සැලකිලිමත් වීම ඉතා අවැසිය. දැඩි උෂ්ණත්වය හමුවේ නිසි ජල පරිමාවෙන් ඔබේ සිරුර අපොහොසත් නම් තාප කම්පන තත්ත්වය ‘ Heat Stroke ‘ ඇති වීමේ අවදානමක් පවතී. එබැවින් දිවීමේ තරග සඳහා ඉදිරිපත් වන්නන් මේ අවදියේදී වැඩිපුර ජල පරිමාවක් සේම ශාරීරික නිරෝගීතාව කෙරෙහිද වඩාත් අවධානයෙන් පසුවීම ඉතාම වැදගත්ය. සෑම වසරකම දිවීමේ තරගවලදී සිදුවන පුද්ගල මරණ බොහෝවිටම තාප කම්පන තත්ත්වය නිසා සිදුවූ ඒවාය. එනිසා උෂ්ණත්වය ඉහළ යාම යන කාරණය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද පොදුවූවක් වන බැවින් සියලු දෙනාම ඒ පිළිබඳව දැනුම්වත් වීම අවශ්‍ය කෙරේ.

පාසල් යන ඔබේ දරුවාට පාසල් කාලය ඇතුළතදී පානය කිරීමට මෙම වකවානුවේදී අවම වශයෙන් වතුර බෝතල් දෙකක්වත් යැවීම සුදුසුය. එමගින් දරුවා කය වෙහෙසා කෙතරම් ක්‍රියාකාරකම්වල නියැළුණද සිරුරට අවශ්‍ය පරිදි ජලය ලැබෙන බැවින් විජලන තත්ත්වයට ගොදුරු නොවේ.

එසේම මේ දිනවලදී කුඩා දරුවන් වුවද දිනකට දෙවරක් උදේ සහ දහවල් වන පරිදි නෑවීමද ඉතාම සුදුසු වේ. එහිදී උදෑසන විනාඩි 20ක් සහ දහවල් නෑවීමේදී විනාඩි 20ක කාලයක් දරුවා වතුරේ තබා තැබීමත් සිදු කළ හැකියි. එහෙත් අපේ රටේ ඇතැම් දෙනා දවසට 02වරක් තබා කුඩා ළමයින්ව දිනපතා නෑවීමටත් දක්වන්නේ දැඩි බියකි. උණුසුම අධිකව දැනෙන මෙවන් කාලයකදී එවන් අනවශ්‍ය බියක් ඇති කර නොගෙන කටයුතු කිරීම අවශ්‍ය වේ. අපේ රට තවමත් මෙවන් මිත්‍යා මත විශ්වාස කළද විදෙස් රටවල දරුවෝ රාත්‍රී කාලයේදී පවා ස්නානය කරති. ලෙඩ නොවී සිටීමට පිරිසුදුකමද ප්‍රධාන හේතු කාරකයකි.

අධික රස්නයට ඔරොත්තු දෙන පරිදි පිරිසුදු සරල ඇඳුම් භාවිතයද ඉතාම සුදුසය. දහදිය උරා ගන්නා කපු ඇඳුම් භාවිතයට හුරු වන්න. පාසල් පද්ධතිය තුළ වුවත් දරුවන්ගේ ක්‍රියාශීලීත්වය මෙවන් වකවානුවලදී කඩා නොවැටී පවත්වා ගෙන යාම උදෙසා නිල ඇඳුමට හානියක් නොවන පරිදි සරල ඇඳුම් භාවිතයකට දරුවන්ව හුරු කළ හැකියි.

විදෙස් රටවල උෂ්ණත්වය අධික කාලවලදී පාසල් පද්ධතියට ‘ summer suit ‘ සංකල්පය පැමිණෙන්නේද දරුවන්ගේ නිරෝගිතාව රැක ගැනීම උදෙසාය.

ඔබ රස්නය අධික දහවල් කාලයේදී හිරු එළියට නිරාවරණය වනවා නම් කුඩයක් හෝ හිස් වැසුමක්, අව් කණ්ණාඩියක් පැළැඳීමටත්, පීඩාකාරී හිරු එළියෙන් සම සුරකින ආලේපන වර්ගයක් භාවිත කිරීමටත් අමතක නොකරන්න.

එබැවින් වෙනදාට වඩා පිරිසුදු ජලය වැඩිපුර පානය කිරීමත්, දිනපතා දෙවරක් ස්නානය කිරීමත්, සරල කපු ඇඳුම් භාවිතයට හුරුවීම සේම දියර ජාති පානය කිරීමත් දෛනික පුරුදු බවට පත් කොට ගන්න. පෙර පරිදිම ඔබගේ දෛනික ජීවිතයට අනුගත වෙමින් පෝෂණීය සමබල ආහාර වේලක් ගැනීමටත් අමතක නොකරන්න.

-සටහන- මාධවී ධර්මරත්න