ශරීරයේ යම් කොටසකට තුවාලයක් සිදුවූ විට අපට දැනෙන අප්‍රසන්න, අසහනකාරී හැඟීම වේදනාව යනුවෙන් හැඳින්විය හැකියි. වේදනාවේ තරම තීරණය වන්නේ තුවාලයේ ප්‍රමාණය, එය සිදුවූ ආකාරය සහ පුද්ගලයාගේ මනෝභාවය මත වේ. වේදනාව ප්‍රධාන වශයෙන් කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස කොටස් දෙකකට බෙදේ. කෙටි කාලීන වේදනාව ඉතා තියුණු අතර ශල්‍යකර්මයකින්, අස්ථි බිඳීමකින්, පිළිස්සුම් තුවාලයකින් අනතුරුව ඇතිවන තීව්‍ර වේදනාව මේ ගණයට අයත් වේ.

නිදන්ගත වේදනාව නොඑසේනම් දීර්ඝ කාලීනව පවතින වේදනාව ලෙස හඳුන් වන්නේ මාස 06කට වඩා වැඩි කාලයක් රඳා පවතින වේදනාවයි. මෙවන් වේදනාවක් තුවාලය සුව වී කාලයක් ඉක්මව ගියද දිගු කලක් පුරාවටම පැවතිය හැකියි. සමහර අවස්ථාවලදී ඇතැම් පුද්ගලයන්ට මෙම දිගුකාලීනව පවතින වේදනාවන් කිසිඳු කායික රෝගයකින් තොරවද පවතී. කිසිඳු ශාරීරික අසාමාන්‍යතාවක් රහිතව පවතින ඔලුවේ කැක්කුම, ආතරයිටිස් හෙවත් හන්දිපත් රුදාව, පිළිකාමය තත්ත්ව, ස්නායු තෙරපීම නිසා ඇතිවන වේදනාව,කොන්දේ කැක්කුම යන තත්ත්ව ඇතුළත් වේ. මෙම නිදන්ගත වේදනාව නිසා ඇතිවන සංකූලතාවන් ලෙස කෑම අරුචිය, එදිනෙදා කාර්යය කිරීමේදී ඇතිවන ශාරීරික අප්‍රාණිකත්වය, ඇවිදීමට නොහැකිභාවය සහ මස්පිඩුවල තද ගතිය ඇති විය හැකියි.

මෙහි තවත් දරුණු සංකූලතාවක් වන්නේ මානසික අවපීඩනය හෙවත් විශාදය , සුළු දෙයකට පවා කේන්ති යාම, කාන්සාව සේම නැවතත් තමාට මෙවන් දෙයක් ඇති වේයැයි පවතින අනියත බිය වැනි තත්ත්ව මතු විය හැකියි. මෙම ලක්ෂණ නිසා මෙවන් පුද්ගලයන් කිසිදු පලදායී කාර්යයක නිරත වීම දිගු කාලීනව පමා කිරීම පවා දැකිය හැකියි. දිගුකල් පවතින වේදනාවන් සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිකාර ක්‍රම දෙකක් හඳුන්වා දී ඇත. ඉන් එකක් වන්නේ ඖෂධමය සහ ශාරීරික ප්‍රතිකාරයි. ඒ සඳහා වේදනා නාශකමය ඖෂධමය ප්‍රතිකාර ගණනාවක් භාවිත වේ. ඒ අතුරට පෙති වර්ග මෙන්ම අධෝරක්ත කිරණ හෙවත් UV කිරණ , එන්නත් ප්‍රතිකාර පවා තිබේ. නිදන්ගත වේදනාවන් සඳහා ප්‍රතිකාර කිරීමේ සායනයක් කොළඹ ජාතික රෝහලේද පැවැත්වෙන අතර රෝගීන්ට ඒ සඳහා සහභාගී විය හැකියි.

වේදනා සමනය වීම උදෙසා දිගු කාලයක් පුරාවට ඖෂධ ලබා ගැනීමද නොකළ යුත්තකි. විශේෂයෙන් NSAID ගණයේ ඖෂධ දිගු කාලයක් භාවිත කිරීමෙන් ඔබගේ වකුගඩුවල මනා ක්‍රියාකාරීත්වයට හානි ගෙන දිය හැකියි. එබැවින් කවර හෝ රෝගියකු දිගු කාලීන වේදනාවකින් පෙළෙන්නේ නම් මනෝ චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වීම වඩා වැදගත් වේ.

1)  දිගු කාලීන ශාරීරික වේදනාවලට ඇති මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය ප්‍රධාන පියවර කිහිපයකින් යුතු වේ.

දිගු කල් අල්ලා පවතින වේදනා පිළිබඳ සහ ඒවා ඇති වන ආකාරය ගැන රෝගියාට මූලික අවබෝධයක් ලබා දීම.

මෙහිදී වේදනාව රෝගියාගේ ශරීරයට මෙන්ම මනසටද බලපා ඇති ආකාරය ගැන විමසීමක් කෙරේ. එය ප්‍රධානකොට ඔහුගේ ක්‍රියාකාරකම්වලට, සිතිවිලිවලට, හැඟීම්වලට බලපා ඇති ආකාරය විමසා බැලේ. වේදනාව හේතුවෙන් මෙවන් අයගේ ක්‍රියාකාරී මට්ටමද අඩු වන අතර කිසිඳු කාර්යයක නිරත නොවීමද වේදනාව වැඩියෙන් දැනීමට හේතු වේ. සමාජයීය ඇසුර පවා අඩු කරන අතර කාර්යයවල නියැළීම ප්‍රතික්ශේප කරමින් දවසම අනලස්ව ගෙවා දැමීමට ප්‍රියතාවක් දක්වයි. මෙය එම පුද්ගලයාගේ මාංශ පේශිවල ශක්තිමත්භාවය අඩු වීමටත් තරබාරුව වැඩි වීමටත්,මුළු සිරුරම දුර්වල වීමටත් එකසේ බලපානු ලැබේ.

මේ අනුව මෙබඳු රෝගීන් මනෝ චිකිත්සක ක්‍රම භාවිත කර ඉලක්ක ලෙස සපුරා ගන්නේ

වේදනාව නිසා ඔවුන්ගේ ජීවිතයට දැනෙන බලපෑම අඩු කර ගැනීම, වේදනාව සමග සටන් කිරීමට දිරි ලැබීම, ඖෂධ භාවිතයෙන් තොරව වේදනා සමනය කර ගැනීම ආදියයි.

වේදනාව පැහැදිලි කරන වෛද්‍ය විද්‍යාත්මක න්‍යාය

සමහර පුද්ගලයන්ට දරුණු තුවාල සුව වූ පසුවද වේදනාවක් දැනිය හැකියි. එකම තුවාලය ඇති පුද්ගලයන් දෙදෙනකුට දැනෙන වේදනාව වුවද ප්‍රමාණ දෙකක් විය හැකියි. මින් පැහැදිලි වන්නේ වේදනාව එයට හේතු වන තුවාලයේ තරම මත පමණක් රඳා නොපවතින බවයි. එය සංවේදනය කරන පුද්ගලයාගේ මනසේ ස්වාභාවය සහ පාරිසරික සාධකද ප්‍රබලව වේදනා සංවේදනයට බලපාන බව ඉතා පැහැදිලිය. මෙය වෛද්‍ය විද්‍යාවේදී Gate Control Theory Of Pain ලෙස හැඳින්වේ. එනම් තුවාලය සිදුවූ ස්ථානයේ සිට අපගේ මොළය තෙක් සංඥා ලෙස ගමන් කිරීම සමහර සාධකවලින් වැඩි කරන අතර ඇතැම් සාධක මගින් අඩු කරවයි. මෙසේ වීමට බොහෝ විට හේතු වන්නේ මත් ද්‍රව්‍ය භාවිතය, මස්පිඩුවල ඇති දුර්වලභාවය, වේදනාව ගැන විනා වෙනත් කිසිවකට අවධානය යොමු නොකිරීම, වේදනාව පාලනය කිරීම ගැන විශ්වාසයක් නැති වීම, මානසික අවපීඩනය, භය, තරහව ,අධික ක්‍රියාකාරීත්වය සේම පෝෂ්‍යදායී ආහාර වේලක් නොගැනීම, සාමාන්‍ය සහ රාජකාරී ජීවිතය සමබරව පවත්වා ගත නොහැකි වීම ,පවුලේ සෙසු අයගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවීම ආදී හේතු බලපෑ හැකියි.

ඒ වගේම වේදනාව අසාමාන්‍ය ලෙස අඩුවෙන් දැනීමට හේතු වන්නේ වේදනා නාශක ඖෂධ, වෙනත් රසවත් දෙයකට අවධානය යොමු කර සිටීම, තමාට වේදනාව පාලනය කළ හැකියැයි දැඩි විශ්වාසය, මානසික ස්ථාවරභාවය, සිතිවිලිවලින් සැහැල්ලු භාවය, සන්සුන් සහ ධනාත්මක සිතිවිලි රටාවයි. සමාන්‍ය ජීවිතය සේම රාජකාරී ජීවිතයද සැහැල්ලුව මෙන්ම සමබරව පවත්වා ගැනීම, අන් අයගෙන් ලැබෙන ධෛර්යයවත් කිරීමද හේතු ලෙස දැක්විය හැකියි.

2) ශරීරය සැහැල්ලු කරන ව්‍යායාම්, ස්වසන ව්‍යායාම් මෙන්ම ශරීරයේ මස්පිඩු එකින් එක සැහැල්ලු කරන ව්‍යායාම් සිදු කිරීම.

මෙය ප්‍රධාන ක්‍රම 03ක් යටතේ විස්තර කළ හැකියි. ඒවා නම් ගැඹුරු ස්වසන ව්‍යායාම්, ක්‍රමානුකූලව මාංශපේශි ලිහිල් කිරීම සහ දෘශ්‍ය නිරූපණයයි. පළමුවැන්න ආනාපාන සති භාවනාවට බෙහෙවින් සමානකමක් දක්වන අතර දෙවැන්න මාංශපේශීන් ක්‍රමානුකූලව ඉහිල් කිරීමේ ව්‍යායාමයයි. වේදනාවෙන් සිටින පුද්ගලයකුගේ මසුපිඩු තදවීම ස්වාභාවික දෙයකි. මේනිසා ඔවුන්ගේ සන්ධිවල චලන පරාස අඩුවේ. මෙහිදී නිදන්ගත වේදනාව නිසා තදවන මාංශපේශි හඳුනා ගැනීමත් ඒවායෙහි තද ගතිය වැඩිවීමට ප්‍රථම ඒවා සැහැල්ලු කිරීමට රෝගියා පුරුදු පුහුණු කිරීම සිදුවේ.

තුන්වැනි සැහැල්ලු ව්‍යායාමය වන්නේ හිත සුවපත් කරන පරිසරයක මතකයට නැගෙන සිතුවිලි මනසින් ස්මරණය කරමින් ශරීරය සැහැල්ලු කර ගැනීමයි.

3)  වේදනාව සම්බන්ධ අප සතුව පවතින සෘණාත්මක සිතිවිලි හඳුනා ගැනීම සහ ඒවා නිවැරැදි කරගෙන වේදනාව ගැන අප සිතන ආකාරය වෙනස් කිරීම

4)  ආතති කළමණාකරණය සහ කේන්තිය පාලනය කර ගැනීම

5)  කාල පරාසවලට බෙදා ගනිමින් තම එදිනෙදා ජීවිතයේ කාර්යය සිදු කර ගැනීම.

මෙහි සරල මූළ ධර්මය වන්නේ කාලය පදනම් කර ගනිමින් කෙටි විවේක ගනිමින් තම සුපුරුදු කාර්යයවල නිරත වීමයි.

6)  සුවදායී නින්දක් ලබා ගැනීම.

මෙයාකාරයට දිගුකාලීනව පවත්නා වේදනාව මනෝ චිකිත්සක ක්‍රම භාවිතයෙන් වේදනා නාශක ඖෂ වලට සීමා නොවී අපට පාලනය හෝ අඩු කර ගැනීම පහසුවෙන් සිදු කර ගත හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න