ගර්භනී සමය කාන්තාවකට ආශිර්වාදයක් සේම ජීවිතයේ තවත් ආතතිකාරී පැතිකඩකි. දරුවකු කුසෙහි දරා සිටින ඇය ශාරීරික වශයෙන්ද විවිධ වෙනස්වීම්වලට බඳුන් වේ. යුවළකට ලැබෙන පළමු දරුවා නම් අත්දැකීම් මඳභාවය, අනවශ්‍ය බිය, වෙනස් වටපිටාව, අලුත් නෑදෑයන් වැනි සමාජයීය හේතු නිසාද ඇයගේ ආතතිය තවත් වර්ධනය විය හැකියි. ඒත් ගර්භනී මවක් තම මානසික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගැනීම හේතු ගණනාවක් නිසාම වැදගත් වේ. මවගේ ඇවතුම් පැවතුම් ඇයට පමණක් නොව තම කුසහොත් දරුවාගේ නීරෝගී වර්ධනයටද බලපෑම් ඇති කරයි.

මව කේන්තියෙන් හෝ දුකින් සිටිනා විට ඇයගේ ශරීරයේ ශ්‍රාවය වන ඇඩ්‍ර්නැලින් සහ කෝට්සෝල් යන හෝමෝන වැඩිපුර රුධිරයේ සංසරණය වීමට පටන් ගැනේ. මේවා දරුගැබේ වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරවයි. එබැවින් ගර්භනී වකවානුව විශේෂයෙන්ම මවකගේ සුවදායී මානසික සමතුලිතතාව පවත්වා ගත යුතුම අවදියකි. එසේම මව නිරෝගී මනසකින් යුතු වීම පවුලේ සෙසු දරුවන්ගේ සේම පවුලේ සාමාජිකයන්ගේත් මානසික සුවතාවට ප්‍රබල රුකුලකි.

මවක් නිතරම කේන්තියෙන් සහ දුකින් සිටින විට ඇයගේ ඇවතුම් පැවතුම් ස්වාභාවයෙන්ම වෙනස් වේ. දරුවන්ට තරවටු කිරීමට, සැමියා නොරිස්සීමට, තම යුතුකම් පැහැර හැරීමට පටන් ගැනේ. ඒත් මානසික සුවතාවෙන් යුත් මවක් පවුලේ සෙසු අයගේ ජිවිතද පහසු කරන අතර අන් සාමාජිකයන්ගේ මානසික සුවය රැක දීමට අත්වැලක් මෙන් ක්‍රියාත්මකද වේ.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ ගර්භනී මව මනසින් ව්‍යාකූල වීම සියදිවි නසා ගැනීමේ සිට නූපන් බිළිඳාගේ ජීවිත තර්ජනයටද හේතුවක් වීමයි.

ගර්භනී සමයේ ඇති වන මානසික රෝග

ගැබිණි සමයේදී ඇති වන මානසික රෝග ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. පළමු කාණ්ඩය වන්නේ ගර්භනී මුල් කාලයේදී එනම් පූර්ව ප්‍රසව අවදියේදී ඇති වන මානසික රෝගයි. මෙවන් තත්ත්ව දරු පිළිසිඳ ගැනීමේ මුල් මාස 03 ඇතුළතදී වගේම දරුවා බිහි වීමට ආසන්න මාස 03 දී වුවද සුලබව දැකිය හැකි තත්ත්වයකි. එමෙන්ම අපේක්ෂිත නොවන දරු පිළිසිඳ ගැනීමකදී මෙන්ම ප්‍රථම දරු පිළිසිඳ ගැනීමේදී වුවද ඇති විය හැකි තත්ත්වයකි. එවගේම මුල් මාස 03 තුළදී කාංසාව, විෂාද තත්ත්වය සුලබව ඇති වන අතර අවසාන මාස තුනේදී දරුවාගේ බිහිවීම ගැන මවගේ හිත අනවශ්‍ය බියකින් පසුවීම සිදුවිය හැකිය. එය අනවශ්‍ය තත්ත්වයක් වන අතර ගර්භනී සමයේ ඇති වන මානසික අවපීඩනය, විශාදය තත්ත්වය නිතරම දක්නට ලැබේ.

මෙවන් තත්ත්ව ගර්භනී නොවන කාලයේදී යමකු මානසික රෝගයකින් පීඩා විඳ එම ප්‍රතිකාර නතර කළ අවස්ථාවලදී වැඩිපුර හට ගැනේ. මෙහිදී අප සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ ප්‍රතිකාර නොකළ විශාදය තත්ත්වය දරු ගැබට සේම දරු ප්‍රසූතියටත් අහිතකර ලෙස බලපාන බවයි.

එවන් මවුවරුන්ට නොමේරූ දරු උපත් ඇති වීමට වැඩි සම්භාවිතාවක් ඇති අතර දරු උපතින් අනතුරුවද දරුවාට විවිධ වූ සංකූලතා ඇති කරවයි. විශාදයේ රෝග ලක්ෂණ වන්නේ නිතරම දුක්මුසු මුහුණින් යුතු වීම, සිරුරේ අප්‍රාණිකත්වය, පෙරදී සතුටු දැණුනු දේවල්වලින් දැන් සතුටක් නොදැනීම, නිතරම තමන් දුර්වල බව සිතට දැනීම, වැඩ කටයුතු කිරීමේදී සිත එකඟත්වයක නොපැවතීම,අනාගතය ගැන අසුබවාදී සිතුවිලි පැන නැඟීමෙන් එය තමාගේ දියුණුවට අවාසි වීම, මානසික අවපීඩනය අධික වූ අවස්ථාවලදී ජීවිතය නැති කර ගැනීමට පවා සිතෙන අවස්ථා ඇතිවේ.

දෙවැන්න දරුවා බිහි වූ අවස්ථාවේ සිට දරුවාට අවුරුද්දක් ගත වන තුරු ඇති වන මානසික අසනීප social phobia නමින් හැඳින්වේ.

දරු පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වා ඇති වන මානසික පීඩනයට ප්‍රතිකාර

ගර්භණී කාන්තාවක් යම් මානසික රෝගයකින් පීඩා විඳී නම් ඒ බව තමා ප්‍රතිකාර ගන්නා මනෝ වෛද්‍යවරයා හරහා සායන වෙත යොමු විය යුතුයි. එවිට දරු ගැබට හානි නොවන එහෙත් මානසික රෝගය උත්සන්න නොවන ඖෂධමය ප්‍රතිකානෙර්දේශ කෙරේ. එම ඖෂධ අඛණ්ඩවම ගර්භන කාලය පුරාවටම භාවිත කළ යුතු වේ. මේ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලාදාරිනියගේ සහායද ඔබට ලැබෙනු ඇත.

එසේම දරු පිළිසිඳ ගැනීමෙන් පසු මානසික අසනීපවලට ගොදුරු වන කාන්තාවන්ද ඔවුන්ට දැනෙන සිතිවිලි සහ පීඩාවන් නොසඟවා පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනියට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරියාට දැනුම් දිය යුතුයි. ඒ හරහා ඔබට ප්‍රදේශයේ මනෝ වෛද්‍ය ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාව ලබා ගත හැකියි. එහිදී විශාදය වැනි රෝගීන්ට දරු ගැබට හානි නොවන ඖෂධ ලබා දේ. මෙම ඖෂධද අඛණ්ඩවම ලබා ගත යුතුයි. එපමණක් නොව මනෝ චිකිත්සක ප්‍රතිකාර හෙවත් රෝගියා සමඟ කතා බස් කර නියම කරන ප්‍රතිකාර පවා අමතරව නිර්දේශ කෙරේ.

මුල් කාලයේ සිට ප්‍රතිකාර ලබා ගත්තද කවරකු හෝ ගර්භනී සමයේදී ප්‍රතිකාර ලබා ගැනීම නතර කළ හොත් විශාදය නැවතත් ඉතාම දරුණු ලෙස හට ගැනීමට ඉඩකඩ ඇත. මෙහිදී අප මතක තබා ගත යුතු විශේෂිතම කාරණාව වන්නේ විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ ගර්භණී සමයෙදී ලබා දෙන ඖෂධවලින් කුසෙහි සිටින දරුවාට හානියක් නොවන බවයි.. එහෙත් ප්‍රතිකාර ලබා නොගත හොත් විශාදය වැනි තත්ත්ව උත්සන්න වී දෙදෙනාටම ඇතිවන හැනිය ඉතාම දරුණු වේ.

මානසික අසනීප වැළඳීමේ අවදානම් සාධක

ඒ සඳහා හේතු ගණනාවක්ම බලපෑ හැකිය. ඒ අතුරින් දරු පිළිසිඳ ගැනීමට ප්‍රථමයෙන් මානසික ව්‍යාධි තිබී ප්‍රතිකාර අත්හැර දැමූ කාන්තාවන්ට අවදානම වැඩි වේ. තවද දරුවන් සිව් දෙනකුට වඩා ප්‍රසූත කළ කාන්තාවන්, තම ස්වාමි පුරුෂයාගේ සහ පවුලේ අනෙක් ඥාතීන්ගේ අවදානය ගිලිහී ගිය පිරිස්, කුඩා හෝ තරුණ කාලයේදී ශාරීරික අපයෝජනයට ලක් වූ කාන්තාවන් මෙන්ම දරිද්‍රතාව, සමාජ පීඩනයෙන් පෙළෙන පාර්ශ්ව ආදියට මෙවැනි මානසික ව්‍යාධි වැළඳමට අවකාස ඇත.

තවද මද සරු භාවයෙන් පෙළෙන කාන්තාවන්, එකම දරුවෙක්වත් නොලැබුණු වැඩි වසර ගණනාවක් සිට එයම අපේක්ෂාවෙන් විවාහ ජීවිතය ගත කළ කාන්තාවන් මානසික අවපීඩනයෙන් හෙවත් විශාදයෙන් පෙළීමේ වැඩි සම්භාවිතාවෙන් යුතු බවට සොයා ගෙන ඇත.

දරු ප්‍රසූතියකට පසු වැළඳෙන මානසික රෝග මොනවාද?

දරුවකු බිහි කරන මොහොත මවට දැඩි මානසික සහ ශාරීරික ආතතිකාරී අවස්ථාවකි. පසු ප්‍රසව අවදියේදී ඇති වන මානසික රෝග ප්‍රධාන වශයෙන් වර්ග 03කි. ඒවා නම්

01)  සුළු මානසික අසමතුලිතතාවන්

02)  පසු ප්‍රසව සයිකෝසියාව

03)  පසු ප්‍රසව විශාදය වේ.

සුළු මානසික අසමතුලිතතාව සහ ප්‍රතිකාර

දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන් වැඩි දෙනකුට දක්නට ලැබෙන ඉතා සුලබ තත්ත්වයකි. සෑම මවුවරුන් දහයකගෙන්ම හය දෙනකුට මෙම තත්ත්වය දක්නට ඇත. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ඉතා සුළු දෙයටත් කේන්ති යාම, සුළු කරුණක් වුවද කඳුළු සලමින් හැඩීම, දුක් සහිත සිතිවිලි දැනීම ප්‍රකාශ කිරීම, සිතිවිලි සියල්ල අවුල් වුණාක් මෙන් දැනෙන්ට පටන් ගැනීම පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් තුන්වන සහ හතරවන දිනවලදී මෙම තත්ත්වය හට ගැනේ. එසේම මේ තත්ත්වය ප්‍රථම දරු ප්‍රසූතියට මුහුණ දුන් කාන්තාවන් අතර හට ගැනේ. ඒ අතරින් දරු ප්‍රසූතිය ගැන දැඩි බියකින් සහ විශාද රෝග ලක්ෂණ පෙන්නුම් කළ අයට මේ අවදානම දැඩිය.

මෙම තත්ත්වයට කිසිඳු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන අතර දරු ප්‍රසූතියෙන් දින කිහිපයක් ගත වූ විට ඉබේටම සුව වී යා හැකියි. තවද සුවදායක නින්දක්, මවට පවුලේ අයගෙන් ලැබෙන ආදරය රැකවරණය මැද ඇයගේ ආතතිකාරී තත්ත්වය තේරුම් ගැනීම මතම තත්ත්වය මඟ හැරී යා හැකිය.

දරු ප්‍රසූතියේදී මවගේ ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන සාන්ද්‍රණවල ශීඝ්‍ර අඩු වැඩි වීමක් පෙන්නුම් කරයි. මානසික අසමතුලිතතාවට හේතුව ලෙස ශරීරයේ සිදුවන මෙම හොමෝනවල සාන්ද්‍රණ වෙනස දැක්විය හැකියි.

පසු ප්‍රසව සයිකෝසියාව

මෙය පසු ප්‍රසව අවදියේදී වැළඳිය හැකි තරමක් දරුණු වර්ගයේ මානසික රෝගයකි. සාමාන්‍යයෙන් සෑම දරු උපත් 1000කටම එකක් හෝ දෙකක් පමණ මවුවරුන් ගොදුරු වන තත්ත්වයකි. සාමාන්‍ය වහර අනුව ‘වැදූ ගෙයි සන්නිය‘ යන නමින්ද හැඳින්වේ. මෙම තත්ත්වය වැඩිපුරම දැකිය හැකි වන්නේ පළමු දරු උපත සිදු කළ සහ ගර්භනී වීමට ප්‍රථම ‘බයිපෝලර්‘ නම් මානසික අසනීප පැවැති රෝගී මවුවරු අතරයි. තවද මෙම රෝගී තත්ත්වයට තම පවුලේ සාමාජිකයකු ගොදුරුව ඇත්නම් සෙසු සාමාජිකයන්ටද වැළඳීමේ සම්භාවිතාවක් පවතී.

රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් දරු උපතෙන් දින දෙකක් තුනක් අතර කාලයකට පසු ආරම්භ වෙන අතර එය දරු උපතින් මුල් සති එක දෙක දක්වා කාලය තෙක් විහිදිය හැකියි. එකවරම වේගයෙන් කතා කිරීම, ඉක්මන් කේන්තිය, තමාට විශේෂ බලයක් හෝ වරමක් ලැබෙන බව පැවසීම, අවදානම් සහගත කාර්යයවලට පෙළඹීම, නින්දට ඇති අවශ්‍යතාව අඩු බව මෙන්ම වැඩ කිහිපයක් එකවර ඉටු කිරීමට පටන් ගැනිමත් සුලබ ලක්ෂණ වේ.

තවද දරුවා ගැන සැක පහළ කිරීම, දරුවා විකෘතිවී ඇතැයි සිතීම, තම ස්වාමියා ගැන මෙන්ම ඥාතීන් ගැනත් සැක පහළ කිරීම දැකිය හැකියි. ඉහත රෝග ලක්ෂණ උත්සන්න වූ විට තම දරුවා කෙරෙහි ඇති සැලකිල්ල සේම රැකබලා ගැනීමත් අතපසු කර දමයි. තවද තම පවිත්‍රතාව පවත්වා ගැනීමටවත් උනන්දු නොවේ. මෙය තවත් උත්සන්න වූ විට තමන්ගේ ජීවිතයට මෙන්ම දරුවාගේ ජීවිතයටද හානි සිදු කරයි.

පසු ප්‍රසව විශාදය මවුවරු අතර සුලබ ඇයි?

විශාදයේ රෝග ලක්ෂණ වන නිතරම දුකක් දැනීම, ශරීරයේ පණ මදි බව, සැම විටම සතුට අඩු බව මවුවරු සායනවලදී ප්‍රකාශ කරන සුලබ තොරතුරු වේ. තමාගේ ඉදිරිය ගැන අඳුරු සහගත බව, සියල්ලම අවුල් වී පවතී යැයි දැනීම, තම ජීවිතය හානි කර ගැනීමට මෙන්ම දරුවාගේ ජීවිතයටද හානි කිරීමට සිතීම සුලබව වාර්තා වේ. මොවුන්ගේ නින්දද අඩු වශයෙන් ලැබෙන අතර ආහාර ගැනීමේ රුචිකත්වයද පහළ මට්ටමක පවතී. මෙම තත්ත්වය මවුවරුන්ගෙන් සියයට පහකට පමණ දරු ප්‍රසූතිය සිදු වී මුල් මාස 03 ඇතුළත දැනෙන්නට පටන් ගැනේ.

ලිපියේ ඉහතින් සඳහන් කළ පරිදි පසු ප්‍රසව මානසික රෝග මනා ලෙස වෛද්‍ය ප්‍රතිකාරවලින් සුව කළ හැකියි.

ඒසඳහා මෙවන් රෝග ලක්ෂණ පෙන්වන මවුවරුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහා යොමු කිරීම වැදගත්වේ. සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයකු විසින් මෙවැනි රෝගීහු පරීක්ෂා කෙරේ. මෙවන් රෝගී මවුවරුන් දරුවන් සිටියදීම වුවද බලා ගන්නා විශේෂ ප්‍රතිකාර ඒකක අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පිහිටුවා ඇත.

මෙහිදී ලබා දෙන ඖෂධ බහුතරයකින්ම දරුවාට මවුකිරි ලබා දීමේදී ගැටලු ඇති නොවේ

මෙවැනි මවුවරුන්හට පලදායි ප්‍රතිකාරයක් ලෙස විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමයද ලබා දේ. එනම් රෝගියා නිර්වින්දනය කොට ඉතා කුඩා විදුලි දහරාවක් රෝගියාගේ මොළය හරහා යැවීම සිදු කරයි. මෙය රෝගීන් ඉතා ඉක්මනින් සුවය ලබන ප්‍රතිකාර ක්‍රමයක්ද වේ.

මවගේ මානසික සෞඛ්‍යය දරුවාගේ සෞඛ්‍යයට බලපාන අයුරු

අලුත උපන් බිළිඳකු හා සමීපව සිටින එකම පුද්ගලයා මවයි. එවන් මවක් විෂාදය හෝ පසු ප්‍රසව මානසික ව්‍යාධියකින් පෙළෙන විට දරුවාගේ මොළයේ වර්ධනයට මෙන්ම ශාරීරික සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපාන බව ඉතාම පැහැදිලි කරුණකි. පර්යේෂණ මගින් සනාථ කොට ඇති පරිදි මෙවන් මවුවරුනගේ දරුවන්ද පසු කාලීනව මානසික රෝගවලට ගොදුරුවන අතර බුද්ධි වර්ධනයෙන්ද අඩාල වේ. මෙවන් දරුවන් චර්යාමය වශයෙන්ද බොහෝ අසාමාන්‍යතා පෙන්නුම් කරන අතර මවගේ මානසික සෞඛ්‍යය ඉතා යහපත්ව තබා ගැනීම වැදගත්ම කාරණය වේ.

-සටහන- මාධවී ධර්මරත්න