සියලුම දෙනා ලස්සනට සිටීමට කැමැතියි. ඒ උදෙසා බොහෝ අවධානයක් අපේ සමට හිමිවේ.ලස්සනට පෙනෙන්නට සම නිරෝගී විය යුතුයි.

සම අපිරිසුදු වීමෙන් වයිරස්, බැක්ටීරියා, දිලීර වැනි ක්ෂුද්‍ර ජීවීන් මඟින් සම ආසාදනය වී විවිධ චර්ම රෝග ඇති වීම පවා සිදුවේ. එබඳු රෝගී තත්ත්වයක් වන ඉන්නන් ගැන අද වැඩිදුර තොරතුරු දැන ගනිමු. 

ඉන්නන්ගේ හට ගැනීම

වයිරස් ආසාදනයක් නිසා සමෙහි ඇති වන රෝගී තත්ත්වයකි. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව සමෙහි හට ගැනෙන ඕනෑම කලු පැහැති කුඩා ඝන වීමක්, අධිවර්ධන තත්ත්වයක් ඉන්නන් වශයෙන් හැඳින්වීම නිවැරැදි නොවේ. වෛද්‍ය විද්‍යාවේදී එබඳු ගැටිති ඉන්නන් ලෙස පිළි නොගැනේ. ' Human Papilloma Virus' හෙවත් HPV  වයිරසය නිසා සමේ ඉන්නන් හට ගැනේ. මෙම HPV වයිරසය මඟින් අපිචර්මීය  සෛල ආසාදනය වීම නිසා ඉන්නන් තත්ත්වය ඇති වේ.

DPN සහ ඉන්නන්

චර්ම රෝග සායනවලදී රෝගීන් බො⁣හොමයක්ම ඉන්නන් වශයෙන් හඳුන් වන්නේ මුහුණේ හෝ  බෙල්ලේ    හට ගැනුණු කලු හෝ දුඹුරු පැහැති සමෙහි ඇති වන නෙරීමක්, ලපයක් හෝ    ගැටිත්තක්  වේ.  ඒත් මේ තත්ත්වය HPV වයිරසය ආසාදනයෙන් හට ගැනුණු  ඉන්නන් රෝගය  නොවේ. අප මෙය හඳුන්වන්නේ DPN තත්ත්වය යනුවෙනි. ⁣ඉන්නන් සහ DPN යනු පැහැදිලිවම රෝගී තත්ත්ව දෙකකි. 

DPN තත්ත්වය ඇති වන්නේ අධිකව ඉර අව්වට නිරාවරණය වීම, වයස්ගත වීම, ස්ථුලතාව , අධික සීනි සහ පිෂ්ඨය  සහිත ආහාර අනුභවය, ජානගත නැඹුරුතාව වැනි හේතුද බලපෑ හැකියි. තවද DPN තත්ත්වය කෙනකුගෙන් තවත් කෙනකුට සම්ප්‍රේශනය  නොවන අතර නැවත නැවතත් සිරුරේ වර්ධනය විය හැකියි. 

තවද කාන්තාවන් බොහොමයක් දෙනා රූපලාවන්‍යාගාරවලට ගොස් ඉවත් කර ගනු ලබන්නේද DPN තත්ත්වය නිසා සමෙහි හට ගත් ගැටිති විශේෂයයි.

ඒ වගේම බෙල්ලේත්, කිහිලිවලත් හට ගන්නා Skin Tags නම් තත්ත්වයක්ද දක්නට ලැබේ. DPN තත්ත්වය සේම Skin Tags යන ද්විත්වයම වයිරස් ආසාදනයෙන් හට ⁣නොගනී.

ප්‍රතිශක්තිය දුර්වල අයටත් ඉන්නන් ඇතිවේ

ඕනෑම වයසක පසුවන පුද්ගලයකුට ඉන්නන් ඇති විය හැකි නමුදු සුලබව මේ තත්ත්වය දැකිය හැකි වන්නේ පෙර පාසල් වියේ පසුවන දරුවන් සහ පාසල් දරුවන් අතරයි. 

ඊට අමතරව ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සම්බන්ධ කුමන හෝ අසනීපයක් හෝ මොනයම් හෝ රෝගී තත්ත්වයක් නිසාවෙන් ප්‍රතිශක්තිකරණය දුර්වල ඕනෑම වයසක පසුවන්නකුට ඉන්නන් හට ගත හැකිය. 

ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන් ලෙස දියවැඩියාව වැනි නිදන්ගත රෝගී තත්ත්ව ආදියෙන් පෙළෙන්නන්, වකුගඩු ,ඇටමිදුළු වැනි අවයව බද්ධ කළ රෝගීන් , ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ දිගුකාලීනව භාවිත කරන රෝගීන්,පිළිකා තත්ත්ව සහිත රෝගීන් හඳුන්වා දීමට හැකියි.

තවද රක්තයා රෝගය  වැනි වියළි සමක්   සහිත  දරුවන්ටද, Atopic Dermatitis නම් චර්ම රෝගයෙන් හම දුර්වල වූ රෝගීන්ගේද ඉන්නන් තත්ත්වය දැකිය හැකි වේ. 

ඉන්නෝ බෝ වෙනවාද ?

HPV වයිරසය ශරීරගත විය හැකි ක්‍රම කිහිපයකි. සම මතුපිට තුවාලයක්, පැලීමක් හෝ ඉරි තැලීමක් වැනි කුමනාකාරයකින් වයිරසය සමට ඇතුළු වේ. ඉන්නන් හට ගැනෙන්නේ වයිරස් ආසාදනය වීමෙන්  නිසා එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට මේ තත්ත්වය බෝ වී⁣මේ හැකියාවක් පවතී. එසේ වන්නේ දිගුකාලීන සෘජු ස්පර්ශය නිසයි. ඉන්නො ඇති පුද්ගලයකු එක් වරක් ස්පර්ශ කළ පමණින් වයිරසය වෙනත් පුද්ගලයකුට ඇතුළු නොවන බැවින් අනියත බියක් උපදවා නොගත යුතුයි. 

එසේම පිහිනුම් තටාක මඟින්, සපත්තු වැනි දෑ හුවමාරු කොට පැළැඳීමෙන් ඉන්නන් බෝ වීම, පැතිරීම සිදු වේ.  

ඒ වගේම ජානගත රෝගී තත්ත්වයක් ලෙස ඉතාම කලාතුරකින් ඉන්නන් ඇතිවිය හැකිය.

එසේම මෙම තත්ත්වය සිරුරේ පැතිරිය හැකි තවත් ක්‍රම පවතී. කෙනකුගේ අත්වල ඇඟිලි මත ඉන්නන් සිටීනම් නිතරම නියපොතු සැපීමට ඇබ්බැහිව ඇතිනම් නියපොත්තේ යට කොටසේද ඉන්නන් අලුතින් වර්ධනය විය හැකියි.

ඇඟිලි මත ඉන්නන් ඇති කුඩා දරුවන් නිතරම නාසය ඇතුළත ස්පර්ශ කරන විටත් මස් දල්ලක් ආකාරයට ඉන්නන් නාසය තුළද පැතිරීමට පුළුවනි. එසේම නිතරම ඇස් ස්පර්ශ කිරීම, ඇස් කැසීම නිසා ඇස් පිහාටු මත හා හමේ යම් සීරීමක්  ඇති වුවහොත්  එම සීරීම දිගේද ඉන්නන් වර්ධනය වීමට පටන් ගනී. 

ඉන්නන් හට ගන්නා ස්ථාන

බහුල වශයෙන් දෙ අතේ ඇඟිලිවලත්, දණහිස්,වැලමිට , කකුල්වල යටි පතුලේ දැකිය හැකියි. යටි පතුල්වල ගල් තැලුමක් මෙන් මිලිමීටරයක් වගේ සමෙහි කුඩා ඝන වීමක් ආකාරයට ඉන්නා  වර්ධනය වේ. 

ඉන්නන්ගේ වර්ධනය

කවර රෝගී තත්ත්වයක් වුවද සිරුරේ කෙතරම් දුරට වර්ධනය වනවාද යන්න නිශ්චය කළ හැකි වන්නේ ප්‍රතිශක්තිකරණය මතයි. එය මෙකී තත්ත්වයටත් පොදුයි. සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති කුඩා දරුවකුට වුවද මේ තත්ත්වය ඇති වුවත් කාලයත් සමඟ ඉන්නා ඉබේම හැළී යාමට පුළුවනි. ඒ සිරුර තුළින්ම ප්‍රතිශක්තිය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේත් නැත්නම් ප්‍රතිශක්තිය හීන පුද්ගලයන් අතර නම් ඉන්නන් තව තවත් වර්ධනය විය හැකිය. 

ඉන්නන් වර්ග

ඉන්නන් වැළඳෙන සිරුරේ ස්ථාන අනුව වර්ගීකරණය කළ හැකියි.ඒ සම ආශ්‍රිතව ඇති වන ඉන්නන් සහ ලිංගාශ්‍රිතව ඇති වන ඉන්නන් වශයෙනි. 

සම ආශ්‍රිතව ඇති වන ඉන්නන්

Common Warts

අත්වල ඇඟිලි මත සහ පාදවල මතුපිට, දණහිසේ  සහ වැලමිටේ     දකින ඉන්නන් වර්ගයයි. මෙය සුලබව දැකිය හැකි තත්ත්වයකි. සමෙහි ඇති වන ගල්මලක් වැනි පෘෂ්ඨයක් ඇති ඝන වීමක් වශයෙන් දැකිය හැකියි.

Plantar Warts

පාදවල යටි පතුලේ ගල් තැලුමක ස්වාභාවයට හා සමානව දකින ඉන්නන් විශේෂයයි. ගල් තැලුමක ස්වාභාවය ගත්තද මෙය ගල් තැලුමක් නොවේ. 

perigungual Warts

නියපොතු ආශ්‍රිතව හට ගන්නා ඉන්නන් විශේෂයකි.

Flat / Plane Warts

පැතලි ඉන්නන් විශේෂය මේ නමින් හැඳින්වේ. සාමාන්‍යයෙන් මුහුණුවල හට ගන්නා සියුම්, මතුපිට පෘෂ්ඨය ඝන වීමක් නැති පැතලි හැඩයෙන් යුත් , ඉතා සුමුදු ඉන්නන් වර්ගයයි. මෙම විශේෂය රැවුල කපන විට කැපුම් ප්‍රදේශයේ වුවද පැතිරීමට හැකියාවක් ඇත. 

ලිංගාශ්‍රිතව ඇති වන ඉන්නන්

Genital Warts

ලිංගාශ්‍රිතව සම්ප්‍රේශනය වීමෙන් ඇති වන රෝගී  තත්ත්වයකි. අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ බහු ලිංගික ඇසුරු නිසාද බෝ වීමට පුලුවනි. මෙම HPV වයිරස් විශේෂය නිසා කාන්තාවන්ට ගැබ් ගෙල පිළිකා රෝගී තත්ත්වයට අවදානමක් පවතී. 

ප්‍රතිකාර ක්‍රම

ඉන්නන්ට ප්‍රතිකාර කිරීමට පෙරාතුව නිවැරැදි රෝග විනිශ්චය අත්‍යවශ්‍ය වේ. ඉන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍යමද යන්න පරීක්ෂා කර බැලිය යුතුවේ. මන්ද සමහර විශේෂ ස්වාභාවයෙන්ම හැළී යාමට හැකි නිසා ඒවාට ප්‍රතිකාර අවැසි නොවේ. එසේම සමහර පිළිකා තත්ත්වද මෙයාකාරයට සම මත වර්ධනය විය හැකි බැවින් රෝගී තත්ත්වය නිවැරැදිව තහවුරු කර ගැනීම සුදුසු වේ. 

ආලේපන  වර්ග යොදා ගැනීම

සැලිසිල්ක් අම්ලය අඩංගු ආලේපන භාවිත කෙරේ.

ද්‍රව නයිට්‍රජන් මඟින් ඉන්නන් පිළිස්සීමේ ප්‍රතිකාරය

මෙම ප්‍රතිකාරය රජයේ රෝහල්වලදී සිදු කර ගත හැකියි. ඉන්නන් පිළිස්සීම යනුවෙන් ව්‍යවහාර වුණද ද්‍රව නයිට්‍රජන් උපයෝගී කර ගනිමින් ඉන්නා විනාශ කර දැමීම සිදු වේ. 

සාමාන්‍යයෙන් ද්‍රව නයිට්‍රජන් ප්‍රතිකාරය එක් වතාවක් කළ පමණින් ඉන්නන් හැළී නොයයි. ඉන්නා වර්ධනය වී ඇති ප්‍රමාණය මත ප්‍රතිකාරය සති දෙකෙන් දෙකට හෝ මාසයක්, මාස දෙකක් හෝ ප්‍රතිකාරය සිදු කළ යුතුවේ. ඉහත ප්‍රතිකාර මඟින් ඉන්නන් සිරුරේ හට ගත් තැන්වලින් ඉවත් කෙරුණද නැවත වතාවක් වයිරසය ආසාදනය වුවහොත් ඉන්නන් මතු විය හැකියි. 

විද්‍යුත් තාපය මඟින් ඉන්නන් පිළිස්සීමේ ප්‍රතිකාරය

මෙහිදී වයිරසය අඩංගු සෛල ඉවත් කිරීම සිදු කෙරේ.

ලේසර් ප්‍රතිකාරය

මෙයද රජයේ රෝහල්වලදී සිදු කර ගත හැකිය.

වලක්වා ගැනීමේ ක්‍රම

මූලික වශයෙන්ම ශාරීරික පිරිසුදුකම රැක ගැනීම වැදගත් වේ. දිනපතා ස්නානය කිරීම ඉතා වැදගත්ය. 

සම වියැළීමට ඉඩ නොදී සමෙහි තෙතමනය රැක ගැනීම.

ඒ උදෙසා දිනපතා හොඳින් පිරිසුදු ජලය පානය කිරීම සේම නිසි පෝෂණයෙන් යුත්  ආහාර අනුභව කිරීම, ගුණවත් සේම නැවුම් පලතුරු වර්ග අනුභවය දැක්විය හැකියි. 
නියපොතු සැපීමේ පුරුද්දෙන් බැහැර වීමත් කළ යුතුයි. 

තමා පුද්ගලිකව පරිහරණය කරන දෑ තුවාය, සපත්තු වැනි දේවල් අනෙක් පුද්ගලයන් සමඟ හුවමාරු කර ගැනීමෙන් වැළකීම ආදාය සඳහන් කළ හැකියි.  

තවද ඉන්නන් ඇති ප්‍රදේශ ස්පර්ශයෙන් පසු දෑත් සබන් ගා හොඳින් සේදීමද කළ යුතු වේ.

මෙවැනි දෑ කරන්න එපා

චර්ම රෝග සායනවලට පැමිණෙන බොහෝ දෙනා DPN තත්ත්වය නිසා හට ගන්නා ගැටිතිවලටත් , ඉන්නන් සඳහාත් කෙස් ගස් ගැට ගැසීමට, බුලත් විට කෑමට යොදා ගන්නා හුණු පවා  ආලේප කරති. එමෙන්ම සමහරු ඉන්නන් අතින් කඩා දැමීම, රේසර් සහ බ්ලේඩ්තල යොදා කපා දැමීම වැනි දෑද සිදු කරති. මේවැනි දෑ මගින් සමට විය හැකි හානිය කොතෙක්ද? 

DPN තත්ත්වය රූපලාවන්‍ය ගැටලුවක් මිස ප්‍රතිකාර අවශ්‍යම තත්ත්වයක් නොවේ. ඉහත දේවල්  ඔබත්  සිදු කරන්නේ නම් වැලකිය යුතුයි. මන්ද සංවේදී අවයවයක් වන සමට මෙවැනි දෑ අහිතකර විය හැකියි. ඒ වගේම රෝහල්වලින් පරිභාහිර නිසි පුහුණුවක් නොලද පුද්ගලයන්ගෙන් ප්‍රතිකාර ගැනීමේදී පවා හොඳින් සිතා බලන්න.  පිළිස්සීමේදී සම මත කැළැලක්, සමට හානි ගෙනදිය හැකියි. 

තවද සමාජ මාධ්‍ය ජාලාවලට අනුගතව නිසි අවබෝධයක් රහිතව චර්ම රෝග සඳහා නිවසේදී ප්‍රතිකාර කිරීම බෙහෙවින් අනතුරුදායක විය හැකියි. එබැවින් චර්ම රෝගයකදී තත්ත්වය නිසියාකාරව පරීක්ෂා නොකොට අත්බෙහෙත් කිරීමෙන් වළකින්න. ඒ සඳහා පළපුරුදු  චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකුගේ උපදෙස් හෝ ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනයට යොමු විය හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න