IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආර්ථිකයට සිදුවන හානි වැළැක්වීමට පියවර ගන්න

රටේ දේශපාලන අනාගතයට දෙසැම්බර් 07 වැනිදා තීරණාත්මක දවසක් බවට පත්වෙන ලකුණු හැම අතින්ම පහළ වෙමින් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව එදිනට ලැබෙනු ඇතැයි යන විශ්වාසය එයට හේතුවයි. දැනට පෙනෙන්නට තිබෙන්නේ ඒ වනතුරු රටේ පවතින අස්ථාවර බව සහ අවිනිශ්චිත තත්ත්වය එලෙසම පවතිනු ඇති බවය. 

රටක කටයුතු එක තැන නවතින වටපිටාවක ඒ රටේ ආර්ථිකයට සිදුවිය හැකි විනාශය සුළුපටු නැත. ඒ බව අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ එදිනෙදා සිදුවන කටයුතු දෙස විපරම් කිරීමෙන් සොයාගත හැකිය. පසුගිය සති කිහිපය තිස්සේම ආර්ථික දේහයේ විවිධ අංශ මේ සම්බන්ධයෙන් කරුණු රාශියක් පෙන්වා දී තිබූ බව අපට දකින්නට ලැබිණි. විශේෂයෙන්ම විදෙස් රටවල් සමඟ ඍජුව සම්බන්ධ වෙමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් සිටී. දේශපාලනඥයන් දිනකට මාධ්‍ය සාකච්ඡා දුසිම් ගණනින් තැබුවත් මේ අර්බුදය හමුවේ රටේ ආර්ථිකය මුහුණ දී සිටින සැබෑ තත්ත්වයට පැහැදිලි විසඳුමක් ලැබෙන බවක් අහලකවත් පෙනෙන්නට නැත. 

ආර්ථිකය මේ වනවිට මුහුණ දී සිටින තත්ත්වය හෙළි කිරීමට අලුතින්ම ඉදිරිපත්ව සිටින්නෝ භාණ්ඩ සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ප්‍රධානියෝය. රබර් නිෂ්පාදන සහ අපනයන ව්‍යාපාරිකයන්ගේ සංගමයත් විවිධ කාර්ය මෙහෙයුම් සංගමයත් පසුගියදා කෙටි නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබුණේ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යන ඍණාත්මක ප්‍රචාරය රටේ අපනයන ක්ෂේත්‍රයේ පැවැත්මට සහ වර්ධනයට බරපතළ ලෙස හානි පමුණුවනු ඇති බවය. එකී ඍණාත්මක ප්‍රතිචාර ගෝලීය ගැනුම්කරුවන්, නිපැයුම්කරුවන්, නැව් සමාගම් සහ ආයෝජකයන් ආපසු හරවා යවනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති. 

මේ ව්‍යාපාරික ප්‍රජාව ප්‍රකාශ කරන්නේ ස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්ති අපේක්ෂා කරන අතරම ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් වන ශ්‍රී ලංකාව යනු නීතියේ පාලනයට යටත් රජයක් විසින් පාලනය කරනු ලබන රටක් වශයෙන් ලෝකයට “සිග්නල්” එකක් ලබාදිය යුතු බවය. මේ අතර සංචාරක කර්මාන්තයට සිදුවෙමින් පවතින්නේ බරපතළ පසුබෑමකි. සංචාරක හෝටල් ව්‍යාපාරිකයන් විසින් ප්‍රකාශ කර ඇත්තේ වසරේ තමන්ගේ ව්‍යාපාරයට වඩාත්ම වාසිදායක කාලවකවානුව වන නොවැම්බර් මාසයේ සිට ඉදිරි මාස කිහිපය තුළ කාමර වෙන් කරවා ගැනීම් බොහොමයක් මේ වනවිට අවලංගු කර ඇති බවය. ඒ සමඟ එකිනෙක බැඳුණු ප්‍රතික්‍රියා ගණනාවකි. එම කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍රවලින් යැපෙන සාමාන්‍ය පවුල් සංඛ්‍යාව දහස් ගණනකි. ඒ සියල්ලන්ගේම ආදායම් තත්ත්වය සංචාරකයන්ගේ නොපැමිණීම හරහා පල්ලම් බසී. සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කර ගැනීමේ පියවරක් වශයෙන් විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එතෙර ශ්‍රී ලංකා තානාපතිවරුන් දැනුවත් කරමින් ගතයුතු පියවර ද පෙන්වා දී තිබූ බව මාධ්‍යවල පළවිය. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය අවිනිශ්චිත බව ලොවේ සෙසු රටවල් තුළ මුල් බැසගත් ප්‍රවෘත්තියක් බවට පත්ව තිබියදී එසේ නොවන බව තර්කානුකූලව පෙන්වා දීමකින් තොරව මේ ගැටලුව විසඳිය නොහැක. එවැනි පැලැස්තර විසඳුම් ප්‍රායෝගික නොවන බවද පෙන්වා දෙමු. 

මේ එක් පැත්තකි. අනෙක් පැත්තෙන් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. මේ වනවිට ඩොලරය රුපියල් 180 ද පසුකර කඩා වැටෙමින් තිබේ. මේ කඩාවැටීමේ ප්‍රතිඵල ලැබෙන විට එහි බලපෑම වඩාත්ම දැනෙනු ඇත්තේ සාමාන්‍ය මහජනතාවගේ පොකැට්ටුවටය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකුටත් රුපියල මහ ලොකු ප්‍රශ්නයක් නොවන බව අපි දනිමු. එහෙත් පොදු මහජනතාව එසේ නොවේ. ජනවාරියේ තමන්ගේ අතට පඩිය ලැබේද යන්න ගැන පවා ඔවුන් තුළ සැක පහළ වෙමින් පවතී. මෙවැනි අවිනිශ්චිත බවක් දීර්ඝ කාලයක් පැවතීම රටකට කිසිසේත්ම හිතකර නැති බව ජනතාව අතරේ කතාබහට ලක්වෙමින් තිබෙන්නේ ද එවැනි කරුණු හේතුවෙනි. එහෙත් රට කරවන පාර්ලිමේන්තුව තුළ සිටින පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු නම් තමන්ගේ ආත්මාභිමානය රටේ යහපැවැත්මට වඩා වටිනා බව පෙන්නුම් කරමින් සිටිති. එය ඉතාම කනගාටුදායක තත්ත්වයකි. 

දැන් පාර්ලිමේන්තුව තුළින් අපට දැකගත හැකි වී තිබෙන්නේ දේශපාලන පක්ෂ අතර තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ සටනක් මිස රට ස්ථාවර කරගැනීමට සටන් කිරීමක් නොවේ. අර්බුදය ඇරැඹුණු දා සිටම විවිධ මුහණුවරින් එකිනෙකාට චෝදනා කර ගැනීම් දකින්නට ලැබිණි. එයින් තමන්ට තබා රටට ද යහපතක් සිදු නොවන බව බලවතුන්ට නොතේරීම රටේ ආර්ථිකය මහත් විනාශයක් කරා යොමු කරමින් තිබෙන බව අපට පෙනෙන යථාර්ථයයි. තමන්ගේ පෞද්ගලික බල පොරය පසෙකට දමා රට ගැන සිතන තැනකට මේ දේශපාලන නායකයන් පැමිණෙන තුරු ජනතාවට කළ හැක්කේ රටේත් ආර්ථිකයේත් යහපත වෙනුවෙන් දෙවියන්ගේ පිහිට පැතීම පමණි.



අදහස් (0)

ආර්ථිකයට සිදුවන හානි වැළැක්වීමට පියවර ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site