මෙය 2030 මූල්‍ය වර්ෂයේ දැක්ම යටතට අයත් බවත් පවසයි  


භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී ඉදිරි වසර හතරක කාලය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට වැඩි ආයෝජනයකට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.  

2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන 2025-26 වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වමින් එහි සමූහ ප්‍රධාන විධායක නිලදාරී අශීස් චන්ද්‍රා මහතා මේ බව අනාවරණය කර තිබේ.   

“හේමාස් 2027 මූල්‍ය වර්ෂය වෙත එළැඹෙමින් වර්ධනය සඳහා සූදානම් වෙනවා. ඉදිරි වසර හතර තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට වැඩි ආයෝජනයකට අපි සැරසෙනවා.“  

මෙම ආයෝජන සමාගමෙහි 2030 මූල්‍ය වර්ෂය සඳහා වන දැක්ම සඳහා වන දිගුකාලීන සැලැසුමට අයත් බවත් ඔහු පවසයි. මේ වනවිට ඒ පිළිබඳ අවසන් තීරණ ගනිමින් සිටින බවත්, උපායමාර්ගික ප්‍රමුඛතා දෙකක් යටතේ ඒවා සිදු කරන බවත් ඔහු සඳහන් කරයි.

“මින් පළමුවැන්න ජාත්‍යන්තරකරණයයි. මේ හරහා තනි වෙළෙඳපොළක් මත යැපීම අවම කරගැනීමට හැකි වේවි. අද වනවිට සමූහයේ ජාත්‍යන්තර ආදායම සමස්තයෙන් සියයට 3ක් පමණ වෙනවා. 2027 මූල්‍ය වර්ෂයේදී සිදු කරන අත්පත් කරගැනීමත් සමගින් එය සියයට 10ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. දෙවැන්න වන්නේ  අපගේ මූලික කළඹට අනුපූරක වන සහ ශක්තිමත් කරන අදාළ කාණ්ඩවලට සැලසුම්ව ව්‍යාප්ත වීමෙන් යාබද ප්‍රදේශ හරහා වර්ධනය වීමයි.“ 
හේමාස් සමූහය 2027 මූල්‍ය වර්ෂයේදී සැලසුම් කර ඇති මෙම අත්පත් කරගැනීම යටතේ කෙන්යානු ලිපිද්‍රව්‍ය නිෂ්පදන සමාගමක් අත්පත් කරගැනීමට සැලසුම් කර ඇති අතර, එය ආසියාවෙන් පිටතට හේමාස් සමූහය යොමුවන පළමු අවස්ථාව බවත් එහි සභාපති අජිත් ප්‍රනාන්දු මහතාද පවසා සිටියි. 
 “ මෙම ආයෝජනයත් සමගින් නැගෙනහිර අප්‍රිකාවට ප්‍රවේශ වීමට අවස්ථාව හිමි වෙනවා. ශක්තිමත් දේශීය වේදිකාවක් සහ පාරිභෝගික නිෂ්පාදන කාණ්ඩ හරහා පුළුල් කලාපීය ව්‍යාප්තිය සඳහා මෙය අවස්ථාව උදා කරනවා.“