• 2026 මේ දක්වා TEU  574,196ක් - වාර්ෂික ධාරිතාව මිලියන දෙකකට නැංවීමට පුළුල් ආයෝජන

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) 2025 වසරේ සිට මේ දක්වා බහාලු‍ම් ඒකක 1,002,232ක් මෙහෙයවමින් මිලියනයේ කඩඉම පසුකර තිබේ. 2025 වසරේදී නව ජැටි දොඹකර මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව වරායේ බහාලු‍ම් අංශය ලබාගත් වේගවත් වර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකේ.

වරාය 2025 වසරේදී TEU  428,036ක් මෙහෙයවා ඇති අතර, 2026 වසරේ මේ දක්වා මෙහෙයවූ ප්‍රමාණය TEU  574,196කි. ඒ අනුව වසර දෙකේ සමස්ත බහාලු‍ම් ප්‍රමාණය TEU  1,002,232ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කඩඉම, හම්බන්තොට වරායේ බහාලු‍ම් මෙහෙයුම්හි වේගවත් වර්ධනය මෙන්ම, සේවා හැකියාව පිළිබඳ ඉහළ යමින් පවතින පාරිභෝගික විශ්වාසයට සාක්ෂියක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG)  සඳහන් කරයි.

HIPG ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා පැවසුවේ, කලාපීය සහ ජාත්‍යන්තර වෙළෙඳාමට බහාලු‍ම් සේවා සපයන තරගකාරී වරායක් ලෙස HIP  ලබාගෙන යන ප්‍රගතිය මෙයින් පැහැදිලි වන බවය. “TEU  මිලියනයේ සීමාව පසුකිරීම අප වරායට ඉතා වැදගත් ජයග්‍රහණයක්. එය අපගේ පාරිභෝගිකයන් වරාය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කරන ප්‍රබල සලකුණක්. නාවික සමාගම් සමග සමීපව කටයුතු කිරීම, විශ්වාසනීය මෙහෙයුම් සහ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම අපගේ වර්ධනයට හේතු වුණා. ඉදිරි වර්ධනයට සූදානම් වීම සඳහා දොඹකර හා අනෙකුත් උපකරණ, නැංගුරම් පොළ, බහාලු‍ම් අංගණ, ශීතකරණ බහාලු‍ම් පහසුකම් සහ විශාල නෞකා හැසිරවීමේ පහසුකම් ඇතුළු සමස්ත මෙහෙයුම් පද්ධතියම පුළුල් කිරීමට දැන් අපි ආයෝජනය කරනවා,” ඔහු තවදුරටත් පැවසීය.

HIP හි බහාලු‍ම් අංශයේ ප්‍රධාන පාරිභෝගිකයා වන MSC  සමාගම වරායේ බහාලු‍ම් මෙහෙයුම් වර්ධනයට විශාල ලෙස දායක වී ඇත. එම සහයෝගීතාව මගින් 2026 වසරේදී මෙහෙයුම් වාර්තා කිහිපයක් සාක්ෂාත් කර ගැනීමට වරාය සමත් විය. අප්‍රේල් මාසයේදී වරායට පැමිණි MSC Marie Leslie නෞකාවේ බහාලු‍ම් මෙහෙයුම් 7,968ක් සිදුකර තිබූ අතර, එය TEU  13,260කට සමාන විය. මෙතෙක් එක් නෞකාවක් වෙනුවෙන් HIP වාර්තා කළ ඉහළම මෙහෙයුම් ප්‍රමාණය වන මෙය, මාර්තු මාසයේදී MSC Ilenia සහ MSC Ruby තැබූ වාර්තා අභිබවා ගියේය.

ජූනි මාසයේදී HIP සිය ඉතිහාසයේ ඉහළම මාසික බහාලු‍ම් ප්‍රමාණය වාර්තා කරමින් TEU 80,325ක් මෙහෙයවා තිබේ. ප්‍රධාන වෙළෙඳ මාර්ගවල අවිනිශ්චිත තත්වයක් පැවති සමයක ලැබූ මෙම ප්‍රතිඵලය වරායේ සූදානම, ධාරිතාව සහ නාවික සමාගම් සමඟ කළ සැලසුම්ගත වැඩපිළිවෙළ පෙන්නුම් කරන බවHIP පවසයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 108ක පුළුල් ආයෝජනයේ ප්‍රධාන කොටසක් ලෙස නව ජැටි දොඹකර හයක් සහ රබර් ටයර් ගැන්ට්‍රි දොඹකර 16ක් වරායට එක් කිරීමට නියමිතය. එම උපකරණ 2027 පෙබරවාරි මස අවසානය වන විට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. නව උපකරණ භාවිතයට ගැනීමෙන් නෞකාව සහ ගොඩබිම අතර බහාලු‍ම් හුවමාරු කිරීමේ හැකියාව මෙන්ම අංගණයේ මෙහෙයුම් ධාරිතාවද ඉහළ යනු ඇත.

මීට අමතරව තවත් මීටර් 1,300ක නැංගුරම් පොළක් බහාලු‍ම් මෙහෙයුම් සඳහා භාවිතයට ගැනීමට නියමිත අතර, ඒ සමගHIP හි සමස්ත බහාලු‍ම් නැංගුරම් පොළ දිග කිලෝමීටර් දෙකකට ආසන්න වේ. ඉහළ යන බහාලු‍ම් ප්‍රමාණයට අවශ්‍ය ඉඩ සැපයීම සඳහා වරායේ බහාලු‍ම් අංගණයද සියයට 30කින් පුළුල් කිරීමට සැලසුම් යොදා තිබේ.