
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රතිපත්තිය, කර්මාන්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මෙම වසරේදී
වත්මන් රජය අද ගන්නා පියවරවල ප්‍රතිඵල ලැබෙන්නේ 2035 දී බව පවසයි
IDB, NEDA සහ SED එකතු කර ITIA නමින් නව අධිකාරියක්
කර්මාන්ත අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් 1,800 සතු ධාරිතාව අනාගතයට ප්‍රමාණවත් නැහැ
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ සංවර්ධනය මූලික කරගත් ක්‍රමෝපායික කරුණු 11කින් සමන්විත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳව ක්‍රියාරාමුවක් ලබන මාර්තුවේදී එළිදැක්වීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
පසුගියදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ (AMCHAM Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.
“දැවැන්ත සැලසුමක් යටතේ අපි ඉදිරිපත් කරන මේ ක්‍රමෝපායික සැලසුම අපි ලබන මාර්තුවේදී එළිදක්වනවා. එය මූලික කරුණු 11 කින් සමන්විත වෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රතිපත්තිය, කර්මාන්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වගේම අපනයන උපායමාර්ගයත් වසර තුළ එළි දක්වනවා.’’
එසේම තවත් වසර 5ක් සියල්ලන්ගේම උපරිම දායකත්වය ලබාදී කටයුතු කළොත් මේ සියලුම ආර්ථික ගැටලුවලින් ගොඩ එන්න රටට හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. “මහබැංකු අධිපතිවරයා වුණත් කියලා තියෙනවා අපිට ඉදිරියට ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 3.5 ක ණයක්. ඒක මහලොකු දෙයක් නෙමෙයි. මොකද අපි ගිය අවුරුද්දේදීත් ඩොලර් බිලියන 3.9ක් ගෙව්වා.“
මේ අතර රටෙහි ඇතැම් ජනතාව රජය කරන කටයුත්තක් නොමැති බව පවසන නමුත්, සැබෑ ලෙසම රජය සිදුකරන කටයුතුවල ප්‍රතිඵලය ලැබෙන්නේ වසර 2035 දී බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
“ඔව් ඇත්ත තමයි. තවම කිසිම දෙයක් පේන්නේ නෑ. මේ ආණ්ඩුව තිබුණොත් අද කරන දේවල ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ වසර 2035 දී. දකුණු කොරියාවට වසර 30ක් ගත වුණු වැඩේ, සමහර රටවලට අවුරුදු 20ක් ගත වුණු වැඩේ, අපෙන් අවුරුද්දෙන් බලාපොරොත්තු වෙනවා. ඒක ලේසි නැහැ.“
ඒ අනුව අමාත්‍යාංශය ලෙස මේ වනවිට දැවැන්ත ආයතනික ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කරමින් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. ඒ අනුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB), ව්‍යවසායකත්ව සංවර්ධන මණ්ඩලය (NEDA) සහ කුඩා ව්‍යාපාර සංවර්ධන ඒකකය (SED) යන ආයතන ඒකාබද්ධ කර කාර්මික පරිවර්තන සහ නවීකරණ අධිකාරියක් (ITIA – Industrial Transformation and Innovation Authority) ක්‍රියාත්මක කරන බවත්, එම අධිකාරිය 2027 වසරේ සිට ස්ථාපිත කරන බවත් මෙහිදී සඳහන් විය.
“තවමත් රට තුළ කාර්මික පරිවර්තනයක් සිදු වෙලා නැහැ. රට තුළ කර්මාන්ත තිබුණත්, ඒවා පරිවර්තනය වෙලා නැහැ. ව්‍යවසායකත්ව පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා නැත්තෙත් මෙම කරුණු නිසා. ඒ නිසා අපේ අවධානය මේ වෙත යොමුවෙනවා.“
මේ අතර අද වනවිට සිය අමාත්‍යාංශය සතුව සංවර්ධන නිලධාරීන් 1,800 කට අධික පිරිසක් සිටින බවත්, එහෙත් ඔවුන්ගේ ධාරිතාව මේ සඳහා ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
“ඒ වගේම අපි අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ කටයුතු පහසු කරමින් පළාත් නවය පුරාම ඉතාමත් සරල ක්‍රමයකින් එම ව්‍යාපාර ආරම්භ කිරීමේ අවස්ථාව අපි ලබා දෙනවා. ඒ හරහා එක ෆෝරමයක් පමණක් පුරවලා තනි පුද්ගලයෙකු හෝ හවුල්කාරීත්වයක් යටතේ සීමාසහිත පෞද්ගලික සමාගම් ආරම්භ කරලා පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා.“ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අද වනවිට රට තුළ ක්ෂුද්‍ර ව්‍යාපාර ලක්ෂ 10ක් පමණ තිබෙන බවත්, සුළු පරිමාණ ව්‍යාපාර පිළිබඳ සංඛ්‍යාවක් නොදන්නා බවත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10,000ක් පමණ තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අතරතුරදීම රට ආරම්භක සමාගම් (Startups) වෙත වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව සඳහන් කළ ඔහු එම ව්‍යාපාර යනු වැඩි ලාභයක් අත්කරගත හැකි ක්ෂේත්‍රයක් බවද පෙන්වා දුන්නේය. ඒ අනුව රට ගමන් කළ යුත්තේ ඒ දිශාවේ බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd