Visa ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Scale Up 2.0” ජාතික SME සමුළුව 2026 සඳහා අනුග්‍රහය දක්වමින්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා සිය සහයෝගය තහවුරු කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට, තාක්ෂණය හරහා තම ව්‍යාපාර පුළුල් කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ සමග සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්විණි.

“Connected. Competitive. Ready to Grow” යන තේමාව යටතේ පැවැති “Scale Up 2.0” සමුළුවේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව වෙළෙඳපොළ අවස්ථා වෙත ප්‍රවේශ වීමට, ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට සහ තරගකාරීත්වය වැඩිදියුණු කරමින් තිරසාර වර්ධනය කරා ගමන් කිරීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන නව වෙළෙඳපොළ අවස්ථා දිනාගැනීම, අගය දාම හා එක්වීම, ප්‍රමිතිකරණය, ආයෝජන ලබාගැනීමේ සූදානම, ව්‍යාපාර පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙහි  Platinum Partner ලෙස “Scale Up 2.0” සමුළුවට සහාය වූ Visa ආයතනය වෙනුවෙන් අදහස් දැක්වූ Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ මහත්මිය කියා සිටියේ, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය සඳහා ඩිජිටල් පරිවර්තනය සහ සුරක්ෂිත ගෙවීම් යටිතල පහසුකම් තීරණාත්මක සාධක වන බවයි. ව්‍යාපාරවලට නව අවස්ථා විවෘත කරමින්, දේශීය හා ගෝලීය වෙළෙඳපොළ සමග සම්බන්ධ වීමට මෙම පහසුකම් වැදගත් පදනමක් සපයන බවද ඇය පෙන්වා දුන්නාය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත්ම පදනමක් වන අතර, රටේ ව්‍යාපාරික පරිසරයේ නවෝත්පාදන සහ වර්ධනය සඳහා ඔවුන් විශාල දායකත්වයක් ලබා දෙයි. වර්තමානයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයන් ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින්, නව වෙළෙඳපොළ අවස්ථා සොයමින් සහ තම ව්‍යාපාර ගෝලීය මට්ටමට ගෙන යාම සඳහා සූදානම් වෙමින් සිටී. මෙම ගමනේදී ඩිජිටල් ගෙවීම්, තාක්ෂණික විසඳුම්, දැනුම සහ සබඳතා ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් සපයයි. ඇය වැඩිදුරටත් කියා සිටියේ Visa හි අපගේ අරමුණ වන්නේ නව්‍ය විසඳුම් සහ සහයෝගීතා හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වඩාත් විශ්වාසයෙන් යුතුව වර්ධනය වීමට අවශ්‍ය ශක්තිය ලබාදීම බවයි.

අවන්ති කොළඹගේ මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අනාගතය නිර්මාණය කිරීමේදී ඩිජිටල් සේවා, සරල ව්‍යාපාරික විසඳුම්, පහසු මූල්‍ය ප්‍රවේශ සහ විශ්වාසනීය ගෝලීය ගෙවීම් හැකියාවන් කෙරෙහි පවතින ඉල්ලු‍ම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා එකිනෙකට වෙනස් වන බැවින්, ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘති සහ වර්ධන අරමුණුවලට ගැළපෙන පරිදි සකස් කළ විසඳුම් ලබා දීම මෙම ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා තීරණාත්මක වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

SME ව්‍යාපාරවලට අවශ්‍ය වන්නේ තනි විසඳුම්වලට සීමා වූ සේවා නොව, ඔවුන්ගේ වර්ධනයට දිගුකාලීනව සහාය වන හවුල්කාරීත්ව බව අවන්ති කොළඹගේ මහත්මිය සඳහන් කළාය. 

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට වඩාත් ශක්තිමත් මාවතක් නිර්මාණය ‘Scale Up 2.0’ හි මූලික අරමුණ බවයි. ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර වඩාත් විශ්වාසයෙන් යුතුව ව්‍යාප්ත කිරීමට සහ ගෝලීය තරගකාරීත්වයට සූදානම් වීමට වෙළෙඳපොළ, මූල්‍ය, තාක්ෂණික සහ උපායමාර්ගික සම්පත් වෙත ප්‍රවේශය අවශ්‍යයි. ලංකා වාණිජ මණ්ඩලය ලෙස, මෙම සියලු‍ පාර්ශ්ව එකට සම්බන්ධ කරමින් SMEs වෙත අවශ්‍ය දැනුම, සබඳතා සහ ව්‍යාපාරික අවස්ථා ලබාදීමට අප කටයුතු කරනවා” යනුවෙන් ඔහු සඳහන් කළේය.