ටොයෝටා සමාගම වෙනුවෙන් එහි වටිනාකම් දාම අංශයේ ප්‍රධානී නාඔටකා ටකේඩා, සාමාන්‍යාධිකාරී (නව වාහන විකුණුම්) රවී ඕපාත, කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල සහ සභාපති මසාකි කවබතා යන මහත්වරුන් සමග සෙලාන් බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) අසිරි අභයරත්න, ලීසිං අංශ ප්‍රධානී නලින් සමරතුංග, ප්‍රධාන කළමනාකරු (අලෙවි) නලින් සමරතුංග, ප්‍රධාන කළමනාකරු (අලෙවි) නලින් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ලීසිං) තක්ෂිල දිසානායක සහ කළමනාකාරිනී (ලීසිං) නිලක්ෂි පතිරණ යන මහත්ම මහත්මීන්


සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පෞද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සමාගම වෙතින් මගී සහ වාණිජ රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පහසුකම් පිරිනැමීම මෙහි අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම අනුමත කිරීමේ ක්‍රියාවලියක් සමගින් තරගකාරී මූල්‍ය විසඳුම් හිමිවනු ඇත.
මෙය මූල්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව සතු විශේෂඥ දැනුම සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථවාහන ක්ෂේත්‍රය තුළ ටොයෝටා ලංකා සමාගම සතු දීර්ඝකාලීන පළපුරුද්ද එක්තැන් කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකිය. මෙය ටොයෝටා රථවාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට සුබ ආරංචියක් වනු නිසැකය.
මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වසර 7 ක් දක්වා වූ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමා, තරගකාරී පොලී අනුපාත සහ කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් සහිතව සෙලාන් ලීසිං පහසුකම් ලබාගත හැකි වේ. මෙම කඩිනම් ක්‍රියාවලිය යටතේ, නිසි සුදුසුකම් සපුරාලන ගනුදෙනුකරුවන්ට පැය 24 ක් ඇතුළත ලීසිං පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති අතර, එමගින් ගැනුම්කරුවන්ට වඩාත් පහසු, කාර්යක්ෂම සහ තෘප්තිමත් ලීසිං සේවා අත්දැකීමක් හිමිවනු ඇත. 
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමග විශ්වාසදායක මගී සහ වාණිජ ප්‍රවාහන පහසුකම් සඳහා ඇති ඉල්ලු‍ම අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ පුද්ගලයන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ප්‍රවාහන විසඳුම් අවශ්‍ය වී තිබේ. මෙම හවුල්කාරීත්වය හරහා එම අවශ්‍යතා සපුරාලීමට හැකිවනු ඇතැයි සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.
මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යුජීන් සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. “Toyota Lanka සමග ඇති කරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට වඩාත් හොඳින් ගැළපෙන කාර්යක්ෂම මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා අප දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොයෝටා ලංකා සමාගමේ මගී සහ වාණිජ රථවාහන මිලදී ගැනීම සඳහා මෙලෙස නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමා සහ කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් සහිත ආකර්ෂණීය ලීසිං පහසුකම් හිමිවීම මගින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රාශියක් හිමි වේවි.”
ලීසිං පහසුකම් සඳහා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාම ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ උපදෙස් හා සහාය නොමිලේ ලබාදීමට සෙලාන් බැංකුවේ ලීසිං විශේෂඥයෝ සූදානමින් සිටිති. එමෙන්ම සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලයෙන් ගනුදෙනුකරුවන්ට අයැදුම් කිරීමේ ක්‍රියා පටිපාටි, ලිපිලේඛන කටයුතු සහ අනුමැතිය හිමිවීමෙන් පසු ක්‍රියාවලිය සඳහා උපරිම සහාය හිමිවන නිසා ඔවුන්ට මූලික විමසීමේ සිට ලීසිං ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම දක්වා කිසිදු බාධාවකින් තොර කාර්යක්ෂම සේවාවක් හිමි වේ.
මේ සම්බන්ධයෙන් ටොයෝටා ලංකා (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා මෙසේ අදහස් දැක්වීය. “ටොයෝටා ලංකා සමාගමේ දැක්ම වන ‘Mobility for All’ යන්න මගින් නිරූපණය වන අරුත යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහයක් වශයෙන් මෙලෙස සෙලාන් බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා.”