කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී සියයට 8ක අගයක් ගෙන තිබූ බව මහ බැංකුව පවසයි. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව මහ බැංකුව මෙම කරුණු සඳහන් කර සිටියි. ඒ අනුව මෙය අගෝස්තුවේදී පැවැති සියයට 8ක උද්ධමන අගය හා සැසඳීමේදී නොවෙනස්ව පැවතී තිබේ. 

කෙසේ වෙතත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය අගෝස්තු වාර්තා වූ සියයට 8.5 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 8.7 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව සැප්තැම්බර් සියයට 7.7 හි නොවෙනස්ව පැවතී තිබේ. 

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2026 අගෝස්තු වාර්තා වූ සියයට 5.1 හි සිට 2026 සැප්තැම්බර් සියයට 5.4ක් දක්වා ඉහළ යාම සිදු විය. 

ඒ අනුව 2026 තෙවැනි කාර්තුව සඳහා වාර්තා වූ කාර්තුමය සාමාන්‍ය මතුපිට උද්ධමනය, මහ බැංකුවේ උද්ධමන පුරෝකථන සමග අනුකූල වූ බවත් මහ බැකුව පවසයි. 

‍කෙසේ වෙතත් 2026 සැප්තැම්බර් මාසයේ මුදල් ප්‍රතිපත්ති වාරයේදී පැවැති උද්ධමන පුරෝකථනවලට අනුව, මතුපිට උද්ධමනය 2027 පළමු කාර්තුව දක්වා කාලය තුළ ඉහළ තනි ඉලක්කමක මට්ටමේ පවතිනු ඇතැයි සඳහන්ව තිබේ.