• මේ හරහා සංචාරකයන් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදු කරන ගෙවීම් නිරීක්ෂණය කෙරේ 
  • සංචාරකයන්ගේ වැඩි අවධානය සහිත ප්‍රදේශ හඳුනාගැනීමත් අරමුණක් 

භානුක අමරසිංහ


ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ වියදම් කිරීමේ රටාව හඳුනාගැනිම සහ වියදම් කරන සැබෑ මුදල පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ‘හීට් මැප්ස්’ ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිට මහතා පවසයි. 

දැනට මාස කිහිපයකට පෙරාතුව ආරම්භ කර ඇති මෙම ක්‍රමය හරහා බොහෝ තොරතුරු රැස්ව තිබෙන බවත්, මේ වනවිට ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කරයි. 

 “මේ හීට් මැප්ස් ක්‍රමය හරහා අපි Wechat, UPI වගේ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද හරහා සංචාරකයන් සිදු කරන ගෙවීම් පිළිබඳව දත්ත රැස් කරගන්නවා. ලංකාපේ වේදිකාව ඒ සඳහා අපිට පහසුකම් සලනවා. විශේෂයෙන්ම ඉන්දියානු සංචාරකයන් වැඩි වශයෙන් UPI පහසුකමත්, චීන ජාතිකයන් Wechat පහසුකමත් යොදා ගන්නවා. මීට අමතරව වීසා සහ මාස්ටර්කාඩ් හරහා සිදු කරන ගෙවීම් පවා මෙහිදී නිරීක්ෂණය කරනවා. ඒ වගේම මේ ගෙවීම්වල දියුණුව පවා අපි බලනවා. මීට කලින් මේ වගේ ක්‍රමවේදයක් තිබුණේ නෑ.” 

එසේම මෙම හීට් මැප්ස් ක්‍රමවෙදය හරහා සංචාරකයන් කණ්ඩායම් වශයෙන් සිදු කරන ගමන් බිමන් පිළිබඳ දත්තද රැස් කරගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය. 

 “සංචාරකයන් භාවිත කරන රෝමිං පහසුකම්, සිම් කාඩ් හරහා ජංගම දුරකතන කුලු‍ණුවලින් ලැබෙන දත්තවලින් මේ සංචාරකයන්ගේ වැඩි අවධානයක් තියෙන්නේ මොන පැතිවලටද කියලා සොයලා බලනවා. මෙතැනදී කිසිම පෞද්ගලිකත්වයකට හානි නොකර, සංචාරකයන්ගේ කණ්ඩායම් වශයෙන් වගේම ජාතීන් වශයෙන් මේ තොරතුරු රැස් කරනවා.” 

මේ හරහා සංචාරකයන්ගේ වියදම් කිරීමේ රටාව පිළිබඳව හඳුනාගැනීමට අවස්ථාව හිමි වන බවත් සභාපතිවරයා පැවසීය. දැනට ලැබී ඇති දත්ත අනුව පවා ඉහළ වියදම් කිරීමේ හැකියාවක් සහිත සංචාරකයන් ලංකාවට පැමිණෙන බවට තොරතුරු පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.