• මේ සංචාරක ව්‍යාපෘතිවලින් සැලසෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ, ප්‍රදේශවලට සහ පරිසරයට ඇතිවිය හැකි බලපෑම්, ප්‍රායෝගික ගැටලු‍, අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමේ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

මුහුදුබඩට පමණක් සීමාවී තිබූ ගාලු‍ දිසාවේ සංචාරක කර්මාන්තය මුහුදුබඩින් ඔබ්බට හෙවත්, ගොඩබිම දෙසට ගෙන යාමේ නවමු ව්‍යාපෘති හතරක් ක්‍රියාවට නැංවීමට පියවර ගැනේ.

මේ නවමු ව්‍යාපෘති හතර ක්‍රියාවට නැංවීමේ අරමුණින් යෝජිත සංචාරක ව්‍යාපෘති හතර පිළිබඳ රාජ්‍ය යන්ත්‍රණය දැනුම්වත්  කිරීමේ වැඩසටහනක් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්‍ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතාගේ සංකල්පයකට අනුව මේ යෝජිත සංචාරක ව්‍යාපෘති හතර හඳුනාගෙන තිබේ.

කොට්ටව තේ පර්යේෂණ ආයතනය කේන්ද්‍ර කරගත් තේ සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය, කුඹුක් සෙවණ ඡායාරූපකරණ හා එළිමහන් විවාහ උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය සහ පෞද්ගලික ආයෝජනයක් මත ඉදිවීමට නියමිත උඩුගමFLYING CLOUD  දීර්ඝතම සිප්ලයින් ව්‍යාපෘතිය සහ කිරින්දලාහේන වැව ආශ්‍රිත බහුකාර්ය හා පරිසර සංචාරක ව්‍යාපෘතිය මේ නවමු සංචාරය ව්‍යාපෘති හතරය.

මේ සංචාරක ව්‍යාපෘතිවලින් ප්‍රදේශවාසීන්ට සැලසෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ, ප්‍රදේශවලට සහ පරිසරයට ඇතිවිය හැකි බලපෑම්, ප්‍රායෝගික ගැටලු‍ සහ අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමේ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මේ දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක්වූ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති ජයාන් ගොඩකන්ද මහතා කියා සිටියේ, සෑම සංකල්පයක්ම සංචාරක ක්ෂේත්‍රය අතීතයේ සිට වර්තමානය දක්වා පැමිණි ගමන, වර්තමාන තත්වය සහ අපගේ ඉදිරි ඉලක්ක යන සියල්ල අවබෝධ කරගනිමින් සිදු කළ යුතු බවයි.

වර්තමානයේ ප්‍රබලතම ගැටලු‍වක් බවට පත්ව ඇති අවිධිමත් සංචාරක ක්ෂේත්‍රය විධිමත් කිරීමේ ක්‍රියාවලිය මේ නව ව්‍යාපෘති නිසා අනාගතයේ දැඩි බලපෑමක් සිදු නොවීමට නම් නිවැරදි සැලසුම්කරණයක අවශ්‍යතාව බව  විශේෂයෙන් ගොඩකන්ද මහතා පෙන්වා දුන්නේය.

ප්‍රජාව මූලිකවූත්, ප්‍රජාවට ආර්ථික අවස්ථා ගලා යන්නා වූත් සංචාරක ස්ථාන හා ක්‍රියාකාරකම් සංවර්ධනය කරමින් අත්දැකීම් පාදක කරගත් සංචාරක ආර්ථිකයක් ගොඩනැගීම අරමුණ විය යුතු බවද මෙහිදී ගොඩකන්ද මහතා පැවසීය. 

නව ව්‍යාපෘති සඳහා ස්ථාන හඳුනාගැනීමේදීත්, සියලු‍ පාර්ශවවල කාර්යභාරය හඳුනාගෙන සංවර්ධනය කිරීමේදී මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සහයෝගය ලබා දීමට රුහුණු සංචාරක කාර්යාංශයට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.